’’දෝනි’’ බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන එයි

ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝශයකට ලක් වූ ‘’දෝනි’’ නැමති බහුදින ධීවර යාත්‍රාව, ධීවරයින් හත් (07) දෙනෙකුද සමග නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (29) කටයුතු කළේය.

මෙම බහුදින ධීවර යාත්‍රාව කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් පාලනයෙන් ගිලිහී ගොස් ඇති අතර ඒ බව නාවික හමුදාවට දැනුම් දීමෙන් පසු ගාල්ල, දක්ෂිණ නාවික හමුදා කදවුරට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ වෙරළබඩ මුර යාත්‍රාවක් යොදා බහුදින යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කල බව නාවික හමුදාව කියයි.

මේ දිනවල මුහුදේ පවතින රළු ස්වාභාවයද නොතකමින් මහත් පරිශ්‍රමයක් යොදා ගොඩබිම සිට මුහුදු සැතපුම් හතක (07) පමණ දුරකින් තිබූ ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාව, ධීවරයින් 07 දෙනාද සමග ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කල බව ගාල්ල දක්ෂිණ නාවික හමුදා කදවුරේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙරට මුහුදු සීමාව තුළ ධීවර යාත්‍රාවක් අනතුරකට හෝ ආපදාවකට ලක් වූ අවස්ථාවලදී ඔවුන් බේරා ගැනීමට හා අවශ්‍ය සහන සැලසීමට නාවික හමුදාව කටයුතු කරන බවත් දකුණු නාවික ආඥාපති රියර් අද්මිරාල් කස්සප පොල් මහතාගේ මෙහෙයවීම මත ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාව හා එහි ධීවරයින් බේරා ගැනීමේ කටයුතු සිදුකරන ලද බවත් දක්ෂිණ නාවික හමුදා කදවුරේ එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙන ඒමට අදාල ඡායාරූප කිහිපයක් ඉහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *