නාවික හමුදා මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 12 සොයාගනී

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

නාවික හමුදාව සහ හම්බන්තොට දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව හම්බන්තොට, කොහොලන්කල ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 12 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන පුද්ගලයෙකි. සැකකරු අද (11) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සැකකරු, හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ යතුරු පැදිය හා හෙරොයින් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දොලොස් දහස් දෙසිය හැටක් (12260) තිබූ බවත් නාවුක හමුදාව කියයි. රටේ පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජවාරම් මැඩපැවැත්වීම සඳහා නිරන්තරයෙන් මෙහෙයුම් සිදු කරමින් සිටීන බවත් එහිදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකරු හා හෙරොයින් තොගය අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් නාවුක හමුදාවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඒ අනුව ඊයේ (10) හම්බන්තොට, කොහොලන්කල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සෝදිසි මෙහෙයුම් දියත්කල බවත් එහිදී මාර්ගයේ ගමන් ගත් සැක සහිත යතුරු පැදිය නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එම යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා සතුව තිබී හෙරොයින් ගෑම් 12260 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.

හම්බන්තොට පොලීසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *