මුතු රාජ වෙළ ගොඩකිරීමට සුදානම්

ශ්‍රී ලංකාවේ ඉතා ම වැදගත් තෙත් බිම් පද්ධතියක්

මුතුරාජවෙළ අක්කර 400 ක තෙත් බිම් ගොඩ කිරීමට  ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අවසර ලබා දී ඇතියි, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ  සජීව චාමිකර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ඉතා ම වැදගත් තෙත් බිම් පද්ධතියක් වන මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක භූමි ප්‍රදේශයක් ගොඩ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබේ. අජිත් පණ්ඩිතරත්න මහතාගේ හිමිකාරීත්වයෙන් යුතු මෙම සමාගම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්, සහකාර කොමසාරිස් එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ සහයෝගය හා මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා ගොවිජන සේවා කොමසාරිස් වරයාගේ අනුමැතිය ලබා ගෙන ඇත.

ඒ අනුව වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 165ඒ තුඩුව – බෝපිටිය හා 166ඒ කුංජවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහ ි ව්‍යාප්තව ඇති අභය භූමියට අයත් පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින තෙත් බිම් ගොඩ කිරීම සඳහා පර්චසයකට රුපියල් පන්සියය බැගින් පර්චස් 65102 ක් සඳහා රුපියල් 3,25,51000 ක මුදලක් මෙම සමාගමෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත ගෙවා තිබේ. මේ සියල්ල සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස ය.

මුතුරාජවෙළ ලංකාවේ විශාලත ම වෙරළාශ්‍රිත ලවණ වගුරු බිමයි. කැළණි ගගේ සිට මීගමුව කලපුව දක්වා විහිදී ඇති මෙහි බටහිර මායිම මුහුදු තීරය වන අතර නැගෙනහිර මායිම මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයයි. නාගරික හා කාර්මික ප්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්ත ව ඇති මෙම තෙත් බිම වගුරු පරිසර හා කඩොලාන පරිසර වලින් සමන්විත වේ. අතීතයේ සශ්‍රීක කුඹුරු යායක් ලෙස ප්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙළ නම් වූ බව ජනශැති වල සඳහන් වේ.

ඕලන්ද යුගයේ දී කැළණි ගගේ සිට භාණ්ඩ ප්‍රවාහනය සඳහා මීගමුව – කොළඹ මාර්ගයට සමාන්තර ව මීගමු කලපුව දක්වා මුතුරාජවෙළ වෙල් යාය හරහා ඇළ මාර්ගයක් සකස් කර ඇත. එය ඕලන්ද ඇළ ලෙස හැදින්වේ. පසුව ඉංග්‍රීසීන් විසින් භාණ්ඩ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා කැළණි ගගේ සිට මුහුදු වෙරළට සමාන්තරව මුතුරාජවෙළ වෙල් යාය හරහා මීගමුව කලපුව දක්වාත් එතැන් සිට පුත්තලම දක්වාත් හැමිල්ටන් ඇළ සකසන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලවණ ජලය මුතුරාජවෙළට ගලා ඒම සිදු වීම නිසා වී වගාවට නුසුදුසු තත්ත්වයක් උද්ගතවී ගොවිතැන අභාවයට පත් වී ඇත. වඩදිය අවස්ථාවේ දී ලවණ ජලය ගලා ඒම පාලනය කිරීම සඳහා හැමිල්ටන් ඇළ හා ඕලන්ද ඇළ යා කරමින් දොරටු සහිත කුඩා ඇළ මාර්ග 20 කට අදික ප්‍රමාණයක් සකස් කළ ද ඉන් ප්‍රතිඵලයක් ලැබී නැත. මේ නිසා මෙම තෙත් බිම් පද්ධතිය ලවණ වගුරු පද්ධතියක් බවට ක්‍රමයෙන් පරිවර්ථනය වී ඇත.

මේ හේතුව නිසා බොහෝ දෙනෙකු හෙක්ටයාර 3068 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති මුතුරාජවෙළ වගුරු බිම වැඩකට නොමැති හිස් භූමියක් ලෙස සලකයි. සමහරුන් මෙම ප්‍රදේශය ගොඩ කර නිවාස යෝජනාක්‍රම ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සැකසූහ. තවත් සමහරු කර්මාන්තපුරයක් බවට පරිවර්තනය

කිරීමට ව්‍යාපෘති වාර්තා සකස් කළහ. 1965 වසරේ දී පැවති රජයේ සැලැසුම වූයේ මුතුරාජවෙළ තෙත් බිම ගොඩ කර කොළඹ පැල්පත්වාසීන් මේ ප්‍රදේශයේ පදිංචි කිරීමට ය.

නමුත් පරිසරය පිළිබඳ ව අවබෝධයක් ඇති සුළු පිරිසකගේ මඟපෙන්වීම යටතේ මෙම තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කර ගෙන එය තිරසර ලෙස භාවිතයට ගත යුතු ආකාරය පිළිබඳ ව සැලැසුම් සකස් කෙරිනි.1991 වසරේ දී මහ කොළඹ ආර්ථික කොමිසම මඟින් සකස් කළ මෙම සැලැසුමට 1992 වසරේ දී රජයේ අනුමැතියට යටත් ව ක්‍රියාත්මක කිරීමේ අවකාශය හිමි විය. මෙය මුතුරාජවෙළ හා මීගමුව කලපු මහ සැලැසුම නම් වේ. 1994 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරියේ, තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් මුතුරාජවෙළ හා මීගමුව කලපුව සඳහා සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුමක් ද සකස් කෙරිනි.

මෙම සැලැසුම් වලට අනුව මුතුරාජවෙළ කොටස් තුනකට වෙන් කරන ලදී. එනම් කොළඹ ආශ්‍රිත දැඩි නාගරික සීමාවේ පිහිටි තෙත් බිම් ප්‍රදේශය උප කාර්මික කලාපය ලෙසත්, මීගමුව කලපුව ආශ්‍රිත ව පිහිටි කොටස මුතුරාජවෙළ අභය භූමිය ලෙසත්, ඒ අතර කොටස ස්වාරක්ෂක කලාපය හෙවත් ප්‍රේරක කලාපය ලෙසත් වෙන් කෙරිනි. ස්වාරක්ෂක කලාපය වෙන් කිරීමේ අරමුණ වූයේ උප කාර්මික කලාපය හා අභය භූමිය අතර ඝට්ටනයන් අවම කිරීමට ය.

මෙම සැලැසුමට අනුව යෝජනා කෙරුණු අභය භූමිය ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුනේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව යි. මේ පනතේ 2(2) උප වගන්තයිට අනුව 1996 ඔක්තෝම්බර් මස 31 වන දින අංක 947/13දරන අති විශෙෂ ගැසට් පත්‍රයට අනුව තෙත් බිමේ හෙක්ටයාර 1028.62 කක භූමි ප්‍රදේශයක් මුතුරාජවෙළ අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කෙරිනි.

මීට අමතර ව ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24ඈ උප වගන්ති වලට අනුව මුතරුාජවෙළ ස්වාරක්ෂක කලාපය ලෙස වෙන් කළ තෙත් බිම් ප්‍රදේශය ලංකාවේ ප්‍රථම පරිසර ආරක්ෂණ ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කෙරිනි. ඒ 2006 ඔක්තෝම්බර් මස 13 වන දින අංක 1466/26 දරන ගැසට් නිවේදනය මඟිනි. මෙම ගැසට් නිවේදනයෙන් ස්වාරක්ෂක කලාපයේ තෙත් බිම් හෙක්ටයාර 206.678 ක් මුතුරාජවෙළ පරිසර ආරක්ෂණ ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය සඳහා සැලැසුම් සකස් කිරීමට ප්‍රථම 1989 වසරේ දී සකස් කෙරුනු ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත් බිම් 41 අතුරෙන් එකක් ලෙස ද මෙම වගුරු බිම නම් කෙරිනි. එපමණක් නොව මෙය ලංකාවේ ප්‍රමුඛ තෙත් බිම් පද්ධති 12 න් එකක් ලෙස ද හඳුනාගෙන තිබේ.

හෙක්ටයාර 3164 ක් වන මීගමුව කලපුව හා සම්බන්ධ මුතුරාජවෙළ තෙත් බිම මේ ආකාරයට ආරක්ෂා කිරීමට හේතුව මෙහි පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකමයි. නාගරික ප්‍රදේශ ගණනාවක් ඇතුළු ව විශාල ප්‍රදේශයක් ගංවතුර උවදුරින් ආරක්ෂා කරමින් වැසි ජලයේ අතිරික්තය රඳා සිටීම, අවට ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වාගෙන යාම,වැසි ජලයේ රොන්මඩ ආදිය තැන්පත් කර ගෙන ජලය පිරිසිදු තත්ත්වයට පත් කිරීමට අමතර ව නාගරික ප්‍රදේශයේ අධික කාබන්ඩයොක්සයිඞ් මට්ටම යාමනය කිරීම, පරිසර උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම ආදී ප්‍රයෝජන රාශියක් මෙම තෙත් බිමෙන් ඉටු වේ.

සමස්ත මුතුරාජවෙළ ප්‍රදේශය තෙත් බිම් සංකීර්ණයක් ලෙස හැදින්විය හැකි ය. ඊට හේතුව මුතුරාජවෙළ වගුරු බිම, මීගමුව කලපුව, ඕලන්ද ඇළ, හැමිල්ටන් ඇළ හා මුතුරාජවෙළ වගුරු බිම තුළින් ගලා ගොස් මීගමුව කලපුව හා එක් වන දඬුගම් ඔය ඇතුළු තෙත් බිම් වර්ග ගණනාවකින් මෙය සමන්විත ය. මේ නිසා

ම මෙම තෙත් බිම් පද්ධතිය නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන සාගර මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂ වල ප්‍රධාන බෝවීමේ ප්‍රදේශයකි. මේ නිසා මීගමුව කලපුවේ මත්ස්‍ය විශේෂ වල පැවැත්ම මෙන්ම සුළු පන්න ධීවරයින්ගේ පැවැත්ම ද රදා ඇත්තේ මෙම තෙත් බිම් පද්ධතිය මත ය.

දැනට සිදු කර ඇති අධ්‍යයන වලට අනුව ජෛව විද්‍යාත්මක ව ඉතා වටිනා තෙත් බිම් පරිසරයක් වන මෙහි විවිධ පරිසර පද්ධති රාශියක් දැක ගත හැකි ය. එනම් කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදිය ජලය සහිත ඇළ මාර්ග,තෘණ භූමි, පදුරු වනාන්තර, ගංගාශ්‍රීත වනාන්තර ඒ අතර වේ. මීට අමතර ව වසරේ විවිධ කාල වල දී ලවණ ජලයෙන් පිරී යාම නිසා විශේෂිත පරිසර පද්ධති නිර්මාණය වී ඇත. මෙම විවිධ වූ පරිසර පද්ධති වලට අනුවර්තනය වූ ජීවී විශේෂ ගණනාවක් මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියේ ජීවත් වේ.

මෙම විවිධ වූ පරිසර පද්ධති වල ශාක කුල 66 කට අයත් ශාක විශේෂ 194 ක් වාර්තා වේ. අති විශාල සත්ත්ව ප්‍රජාවකට වාසස්ථාන සපයන මේ තෙත් බිමේ සිදු කර ඇති අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ සමනළුන්, බත්කූරන්, මත්ස්‍යයින්, උභයජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ 7 ට අයත් විශේෂ 449 ක් පමණ වාර්තා වී ඇති බව ය. ඉන් විශේෂ 27 ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වේ. පක්ෂීන්ගේ සුවිශේෂී ගොදුරු බිමක් හා ලැගුම් පොළක් වන මුතුරාජවෙළ තෙත් බිමේ නේවාසික පක්ෂි විශේෂ 86 ක් පමණ ජීවත් වන අතර සංක්‍රමණික පක්ෂි විශේෂ 43 ක් පමණ වාර්තා වී තිබේ. විශේෂයෙන් බටහිර සංක්‍රමණික මාර්ගයෙන් ලංකාවට පැමිණෙන පක්ෂි විශේෂ බහුල ව මෙම තෙත් බිමෙන් වාර්තා වේ. දුර්ලභ සංක්‍රමණික පක්ෂීන් වන දම් සිළුටු දෑතුඩුවා (ඨකදිහ ෂඉසි), දම් පිළිහුඩුවා (ඊක්ජන

– ජ්චචැා ඡමරචකැ ණසබටසෙියැර) හා පළගැටි හම්බු කුරුල්ලා (ඡ්කක්ි`ි ඨර්ියදචචැර උ්රඉකැර) වැනි පක්ෂීන් මෙහි වාර්තා වී තිබීම සුවිශේෂත්වයකි.

මුතුරාජවෙළ තෙත් බිමෙහි වාර්තා වන සත්ත්ව විශේෂ වල විවිධත්වය සත්ත්ව කාණ්ඩය විශේෂ ගණන ආවේණික විශේෂ ගණන සමනළුන් 67 1 බත්කූරන් 34 8 මත්ස්‍යයින් 133 4 උභයජීවීන් 15 5 උරගයින් 37 5 පක්ෂීන් 129 2 ක්ෂීරපායීන්  34 2එකතුව 449 26

මෙවන් වටිනා තෙත් බිම් පද්ධතියක් ආර්ථික හා දේශපාලන බලය හිමි පුද්ගලයකුට තම හිතුමනාපය පරිදි විනාශ කිරීමට කිසිදු අවස්ථාවක ඉඩදිය යුතු නැත. රුපියල් මිලියන දහස් ගණනක් වැය කර මුතුරාජවෙළ සංරක්ෂණ සැලැසුම් සකස් කර වසර ගණනාවක් ආරක්ෂා කළ භූමියක් ව්‍යාපාරිකයකුට අවශ්‍ය පරිදි විනාශ කිරීමට අවස්ථාව ලබා දී බලා සිටීමට රජයට හෝ කිසිදු සිවිල් පුරවැසියෙකුට අයිතියක් නැත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහ ි27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසර ආරක්‍ෂා කර සුරක්‍ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම

යුතුකම වන බව සඳහන් වේ. මේ නිසා සෑම රාජ්‍ය නිලධාරියෙක් ම, සිවිල් පුරවැසියෙක් ම මේ සම්පත් ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම බැදී සිටී.

එපමණක් නොව 1971 වසරේ දී ඉරානයේ රැම්සාර් නුවර දී සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ රැම්සාර් ප්‍රඥප්තියට 1990ඔක්තොබ්ර් මස 15 වන දින ප්‍රවිශඨ් වූ රටක් වශයෙන් මෙන් ම හෙක්ටයාර 1,98,172 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ ජාත්‍යන්තරව පිළිගත් රැම්සාර් තෙත් බිම් 6 ක් හිමි රටක් වශයෙන් තෙත් බිම් ආරක්ෂා කිරීමට අප ජාත්‍යන්තරව ද බැදී සිටී.

පසුගිය පෙබරවාරි 2 වනදාට යෙදී තිබුණු ජාත්‍යන්තර තෙත් බිම් දිනයේ තේමාව වූයේ “තිරසර නාගරික අනාගතයක් උදෙසා තෙත් බිම්” (උැඑක්බා දෙර ් ිමිඒසබ්ඉකැ මරඉ්බ මෙඑමරු) යන්නයි. නමුත් නාගරික කලාප බොහොමයක් මධ්‍යයේ පිහිටි සුවිශේෂී තෙත් බිම් පද්ධතියක් විනාශ කිරීමට ජාත්‍යන්තර තෙත් බිම් දිනය සැමරීමෙන් මසක් ඉක්ම යාමට ප්‍රථම රාජ්‍ය ආයතන විසින් ම අවසර ලබා දීම කණගාටුවට කරුණකි.

අජිත් පණ්ඩිතරත්න මහතාගේ හා එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ බලපෑම මත ගොවිජන සේවා කොමසාරිස් තුමා විසින් ගොඩකිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින මුතුරාජවෙළ අභය භූමියට අයත් ඉඩම් ය. එය සම්පූර්ණයෙන් ම නීති විරෝධී ක්‍රියාවකි. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තයිට අනුව ප්‍රකාශිත අභය භූමියක වනජීවීන්ගේ පැවැත්මට හෝ පරිසර පද්ධතියේ පැවැත්මට බලපෑම් වන ක්‍රියාවක නිරත වීම 7(1)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී වේ.

පනතේ10(ඈ) උප වගන්තියට අනුව අභය භූමියක හානිකර ක්‍රියාවක නිරත වන පුද්ගලයකු වරදකරුවකු කරණු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. එම වැරදි වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි සංඤ්ය වරදක් වේ.

එපමණක් නොව සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 4 කට නැතහොත් අක්කර 10 කට වැඩි තෙත් බිම් ප්‍රදේශ ගොඩ කිරීමට ප්‍රථමයෙන් හා මෙම උප වගන්තිය යටතේ ම ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් තොර ව කිසිදු රාජ්‍ය ආයතනයකට අභය භූමියකට අයත් ඉඩම් සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට අවසර ලබාදිය නොහැකි ය.

මීට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප්‍රකාශිත 2000ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත 2000 අංක 01 දරන ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව ඉඩම් හා තෙත් බිම් ගොඩ කිරීමට ප්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතු ය.

මේ අනුව පෙනී යන්නේ ගොවිජන සේවා කොමසාරිස් තුමා විසින් වන සත්තව් හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන පනත් තුන ම උල්ලංඝනය කරමින්

මුතුරාජවෙළ අභය භූමියේ අක්කර 406 ක් ගොඩ කර නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව ය. මීට එරෙහිව වගකිවයුතු සියලු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.

මෙවර ජනාධිපතිවරණයේ දී මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සොබාදහම රැකගැනීම කොටසෙහි සඳහන් වන්නේ සංවේදී පරිසර පද්ධති රැක ගැනීම සඳහා තරාතිරම නොබලා සියලු පරිසර නීත ික්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවයි. එපමණක් නොව සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බවත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බැවින් තොරව ක්‍රියාත්මක කරන බවත් සඳහන් කර ඇත. විශේෂයෙන් සඳහන් වන්නේ සංවර්ධන වැඩසටහන් වල සංකල්පිත අවදියේ දීම පරිසර බලපෑම් ඇඟයීම් ක්‍රියාවලිය අනිවාර්ය කරන බව ය.

මේ ආකාරයෙන් ජනතාව සමඟ සම්මුතිගත වූ ජනාධිපතිතුමන් හා වත්මන් රජය ක්‍රියාත්මක අදියරේ දී මේ සියල්ල උල්ලංඝනය කරමින් සිටී. මුතුරාජවෙළ අභය භූමිය වැනි ඉතා ම සංවේදී තෙත් බිම් පරිසර පද්ධතියක් ආරක්ෂා කිරීම වෙනුවට ඒවා විනාශ කිරීමටත් පරිසර බලපෑම් ඇඟයීම් ක්‍රියාවලියෙන් තොරව මහ පරිමාණයෙන් අභය භූමියක් තුළ තෙත් බිම් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතීන් ලබා දීමටත් රාජ්‍ය ආයතන මේ වන විටත් කටයුතු කර තිබීම කනගාටුවට කරුණකි. මින් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කරමින් යහපාලනයේ සංකල්ප දේශපාලන බලය හා ආර්ථික බලය හිමි පුද්ගලයින් ඉදිරියේ කිසිදු තැකීමකින් තොරව රාජ්‍ය නිලධාරීන් විසින් කටයුත ුකරන බව ය.

මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට දේශපාලකයන් හා නිලධාරීන් මින් පෙර ද අවස්ථා බොහොමයක කටයුතු කර ඇත. පසුගිය කාලයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීල් රූපසිංහ මහතා විසින් මුතුරාජවෙල තෙත්බිමේ විශාල භූමි ප්‍රදේශයක් ගොඩකර නිල්සිරිගම නමින් ගම්මානයක් බිහි කළේ ය. මෙහි අහිතකර ප්‍රතිඵල බුක්ති විඳින්නේ එහි වතම්න් පදිංචි ජනතාවයි. වර්ෂා කාලයේ දී ගොඩ කළ තෙත්බිම් මත ගොඩනැඟූ නිවාස දින ගණනාවක් ජලයෙන් යට වී පවතී. එම කාලයට වසංගත රෝග බෝවීම ප්‍රදේශයේ උග්‍ර මට්ටකට පත් වේ. දේශපාලනඥයින් ගේ අඥාන තීරණවල අහිතකර ප්‍රතිඵල අවසානයේ බුක්ති විඳින්නේ මෙහි පදිංචි වූ අහිංසක, අසරණ ජනතාව යි.

2003 වසරේ දී මෙවැනි ම ඉඩම් බෙදා දීමක් ප්‍රදේශයේ දේශපාලඥයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඕලිත ප්‍රේමතිරත්න මහතා විසින් සිදු කෙරින. ඔහු විසින් මුතුරාජවෙල තෙත්බිමේ කිදිගොඩ ප්‍රදේශයේ අක්කර 100 ක පමණ තෙත්බිම් ප්‍රමාණයක් ජනතාව අතර බෙදා දී විශාල මුදලක් උපයා ගත්තේ ය. එහෙත් සීමාසහිත පාරිසරික පදනම මඟින් ලබා ගත් අධිකරණ තීන්දුව මත පදිංචි වූ ජනතාවට සිදු වූයේ ටික දිනකින් ම ඉන් ඉවත් වී යාමට ය. දේශපාලකයින්ගේ ව්‍යාජ සැලැසුම් වලට මුලා වූ ජනතාවට වියදම් කළ මුදල ද අවසානයේ අහිමි විය.

2009 වසරේ දී හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ගේ සොහොයුරු ටෙනිසන් පෙරේරා මහතා විසින් මුතුරාජවෙල අභය භූමිය තුළ පිහිටි දඩුගම් ඔය මීගමුව කලපුව හා සම්බන්ධ වන මොය් ආශ්‍රිත ව පිහිටි අක්කර 10 ක් පමණ වන විශාල කඩොලාන දූපතේ අක්කර පහක මහ පරිමාණ හෝටලයක් ඉදිකිරීම සඳහා ක්‍රියාත්මක විය. ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියකින් ද සහයෝගය ලබා ගැණිනි. එහෙත් අපගේ මැදිහත්වීමෙන් එම හානිකර ව්‍යාපෘතිය නතර කිරීමට හැකියාව ලැබුණි.

2012 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ, නිල්සිරිගම ආශ්‍රිත ව පිහිටි තෙත්බිම් අක්කර 50 ක් වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ජේ.එම්.ඩී. රූබන් මහතා විසින් පර්චස් දහයේ ඉඩම් කුට්ටිවලට වෙන්කර විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කෙරිනි. ඒ සඳහා අනුග්‍රහය ලබා දුන්නේ එවකට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා විසිනි.

අභය භූමියේ පර්චස ්දහයක ඉඩම් කැබැල්ලක් වෙන්කර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අය කර එම භූමිය මැනීම් කර ඔප්පු සැකසීමට හා ශාක ඉවත් කර භූමිය සැකසීම සඳහා රුපියල් 40,000 ක පමණ මුදල ක් ලබාගන්නා ලදී. මේ ඉඩම් බෙදා දීමෙන් අනතුරු ව බෙදාදුන් තෙත්බිම්, අභය භූමියෙන් ඉවත් කර ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීමට ද යෝජනා වී තිබුණි. මෙම හානිකර ව්‍යාපෘතිය ද අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි විය.

මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියට සිදු කළ සමහර හානිකර ක්‍රියා අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි වුව ද සමහර නීති විරෝධී ක්‍රියා තව ම ඒ ආකාරයෙන් ම සිදු වෙමින් පවතී. ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දඩුගම ග්‍රාම නිලධාරි වසමේ බණ්ඩත්තරවෙළ ප්‍රදේශයේ මුතුරාජවෙළ අභය භූමිය තුළ තෙත් බිම් ගොඩ කරමින් මාර්ගයක් ඉදි කර තිබේ. දඩුගම් ඔයේ වම් ඉවුරේ සිට මීටර් දෙකක් තුනක් පමණ දුරින් තනා ඇති මෙම මාර්ගයේ පළල මීටර් 5ක් හා දිග කිලෝමීටර්1.2 ක් වේ. මෙම මාර්ගය ඉදිකර ඇත්තේ අභය භූමිය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් දෙකක් වන දැනට අතහැර දමා ඇති පොල් වත්තකට හා සත්ත්ව ගොවිපළකට ළඟාවීම සඳහා ය. මෙම ගොඩ කිරීම සිදු කළ පුද්ගලයන් ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ ද මුදල් ප්‍රතිපාදන වෙන් කර ගෙන මෙම මාර්ගය ඉදි කරන ලද්දේ නීති විරෝධී ලෙස ය. මෙම මාර්ගය ආසන්නයේ අභය භූමිය තුළ ගුරුගේ වත්ත ලෙස හැඳින්වෙන අක්කර 30ක තෙත් බිමක් ඇතුළු ව අක්කර 99ක භූමියක් වෙන් කර ගෙන සිටින ප්‍රදේශයේ ප්‍රබල පුද්ගලයෙකු විසින් එම ඉඩම එළිපෙහෙලි කිරීම් වල දැනට නිරත විය.

එපමණක් නොව ජා-ඇළ හා හැමිල්ටන් ඇළ අතර දැලතුර, තාරකුලිය ප්‍රදේශයේ අභය භූමියේ විශාල තෙත් බිම් ප්‍රදේශයක් ගොඩකර කන්ටේනර් බහාලුම් අංගනයක් ඉදි කර තිබේ. වල්ඞ් එක්ප්‍රස් සමාගම මගින් සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට අක්කර ගණනාවක තෙත් බිම් ගොඩ කර ඇති අතර ජා-ඇළ හා සම්බන්ධ කිරීමට නව ඇළ මාර්ගයක් ද අභය භූමිය තුළ සකස් කර තිබේ. මේ නීති විරෝධී ක්‍රියා තව ම පාලනය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන රාජ්‍ය නිලධාරීන් තම වගකීම නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බව ය. එවන් රාජ්‍ය ආයතන අපගේ මුදල් වලින් නඩත්තු කිරීමෙන් ඵලක් තිබේ ද යන්න ජනතාව තේරුම් ගත යුතු ය.

මේ අතරතුර මුතුරාජවෙළ තෙත් බිමේ ස්ථාන ගණනාවක විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මේ වන විට රාජ්‍ය ආයතන විසින් ම ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මෙම තෙත් බිමේ අක්කර 5 ක භූමියක් ගොඩ කර දිනකට කසළ මෙටි්‍රක්ටොන් 400 ක් බැහැරලන සනීපාරක්ෂණ කසළ රැඳවුමක් ස්ථාපිත කිරීමට 2017 අප්‍රේල් මස 25 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මීට අමතර ව මෙම තෙත් බිමේ අක්කර 10 ක භූමියක ඝන අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2016 අගෝස්තු මස 30 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

පසුගිය දින වල මීතොටමුල්ල කසළ රැඳවුම කඩා වැටීමත් සමඟ ම කොළඹ නාගරික බල ප්‍රදේශයෙන් එක් රැස් කරන කසළ රැඳවීම සඳහා භාවිතා කළේ ද මුතුරාජවෙළ තෙත් බිම ය. මේ සියල්ලෙන් ම පැහැදිලි

වන්නේ මුතුරාජවෙළ තෙත් බිම සංරක්ෂණය හා කළමනාකරණය සඳහා විශාල මුදලක් වැය කර සැලසුම් සකස් කළ ද ඒ සියල්ල අතහැර දමා කටයුතු කරන බව ය.

මෙවන් තත්ත්වයන් වර්ධනය කිරීමට 2018 අය වැය ප්‍රකාශනයේ දී 1958 අංක 01 දරන කුඹුරු පනත හා 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කර මෙවන් ක්‍රියා වලට ඉඩකඩ සැලසෙන පරිදි නීතිමය රාමුව සකස් කිරීමට ආණ්ඩුව විසින් යෝජනා කර ඇත. එපමණක් නොව ඌන උපයෝජිත කුඹුරු ඉඩම් නිවාස ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමට 2017 නොවැම්බර් මස 07 වන දින කැබිනට් මණඩ්ලය විසින් තීරණය කර තිබේ.

මින් සිදුවන්නේ රටේ වතම්න් හා අනාගත පරපුරේ යහපැවැත්ම මෙන්ම ආහාර සුරක්ෂිතතාවයට වැදගත් වන බිම් ප්‍රදේශ අවභාවිතයට පසුබිම සැකැසීමයි. මේ නිසා අප අවධාරණය කර සිටින්නේ රක්ෂිත භූමි හෝ කුඹුරු ඉඩම් ලෙස පැවති භූමි ප්‍රදේශ කිසිදු ආකාරයකින් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට අනුමැතිය ලබා නොදිය යුතු බව ය. එපමණක් නොව ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව හිමි වන අයුරින් අණ පනත් සංශෝධනය කිරීම ද වහා ම නතර කළ යුතු ය. අවසන් වශයෙන් අවධාරණය කරන්නේ මුතුරාජවෙළ අභය භූමිය ගොඩකර ගොඩනැගීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය වහා ම නතර කිරීමට පියවර ගෙන මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියේ රැකවරණය කඩිනමින් තහවුරු කරණ ලෙස ය. ඒ සඳහා 2006 වසරේ දී සකස් කරන ලද ජාතික තෙත් බිම් ප්‍රතිපත්තිය හා උපායමාර්ගික සැලැසුමට අනුව ක්‍රියාමාර්ග ගෙන තෙත් බිම් සංරක්ෂණයට අවශ්‍ය සෘජු නීති රීති හා පරිපාලන ව්‍යුහයක් සකස් කර ක්‍රියාවට නැංවිය යුතු ය. ඒමගින් සමාජ ආරක්ෂණය තහවුරු කළ යුතු ය. එසේ නොමැති ව නව ලිබරල් ආර්ථික සැලැසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයින්ට අවශ්‍ය පරිදි සියලු සමාජ ආරක්ෂණ අණ පනත් ජනතා විරෝධී ලෙස සංශෝධනය කර රටේ ජනතාවගේ ඉඩම් ඇතුළු ස්වාභාවික සම්පත් විවෘත ආර්ථික ක්‍රියාවලිය සඳහා යෙදවීම වහා ම නතර කළ යුතු ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *