ග්‍රාමසේවක පත්වීම් දේශපාලනයට යට වෙයි ද??

දෙමාපියන් හෝ භාරකරුවන් සමග පැමිණෙන ලෙස

රජයේ සේවය සදහා බදවා ගැනීමට නියමිත බවට විශ්වාස කල හැකි පිරිසක් හෙට (20) සවස 2.00 ට ස්වදේශ කටයුතු අමාත්‍ය, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් ඒ මහතාගේ ගාල්ල, උළුවිටිකේ පිහිටි සිය කාර්යාලයට කැදවා ඇත.

රජයේ සේවය සදහා බදවා ගැනීම සම්බන්ධවයි, යන ශීර්ෂය යටතේ යවන ලද ලිපියක් මගින් මෙම පිරිස කැදවා තිබේ. මොවුන්ට සිය දෙමාපියන් හෝ භාරකරුවන් සමග පැමිණෙන ලෙසද එම ලිපිය මගින් දැනුම් දී තිබේ. රාජ්‍ය සේවයට බදවාගන්නවුන් සදහා දේශපාලන බලපෑමක් කිරීමේ අරමුණින් මෙසේ කැදවන්නට ඇතැයි ඔවුන්ගේ දෙමාපියෝ ප්‍රකාශ කරති.

මෙය නීතිවිරෝධී කටයුත්තක් බව ප්‍රකාශ කරමින් අද (19) පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. මෙම ක්‍රියාව නතර කරන ලෙසද ඒ මහතා විසින් සිය ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

බිමල් රත්නායක මහතා සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසින් මෙසේ කැදවන්නට ඇත්තේ 2015 වර්ෂයේ ග්‍රාමනිලධාරි තනතුරු සදහා ලිඛිත විභාගයට පෙනී සිටි අය බවයි. ඔවුන් එම විභාගයට පෙනී සිට ඇත්තේ රුපියල් 500/- ක විභාග ගාස්තුවක්ද ගෙවීමෙන් බව පවසන මන්ත්‍රීවරයා විභාගය පවත්වා වසර 2 ½ ක කාලයක් ගත වී ඇතත් පුරප්පාඩු පිරවීමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බවද පවසයි.

දැනට රටේ ග්‍රාමනිලධාරී පුරප්පාඩු 2000 ක් පමණ තිබෙන බව පවසන බිමල් රත්නායක මහතා 180000 කට වඩා වැඩි පිරිසක් පෙනී සිටි තරග විභාගයකින් සමත් වූවන්ට මෙසේ දේශපාලන බලපෑම් කිරීම නීති විරෝධී බැවින් එය නතර කිරීමට කටයුතු කරන ලෙසද සිය ලිපිය මගින් ඒ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *