අපට අහිමිකළ රටක් බැබළිය හැකි නායකයා

අවාසනාවන්ත ලලිත් නොව මේ රටය // මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති

නිදහසින් පසු දශක දෙක තුනක් ඉක්මගිය පසු ප්‍රබුද්ධ නායකයන්ගේ අඩුව නිරන්තරයෙන්ම අපේ මාතෘභූමියට දැනුණි. ස්වාර්ථය වෙනුවට පරාර්ථය ප්‍රාර්ථනා කරන උගත්, වියත් නායකයන් කවදත් රටකට උවමනාය. මීට වසර 25කට පමණ පෙර අප අතරින් අකාලයේ සමුගත් ලලිත් ඇතුලත්මුදලි

මැතිතුමා යනු රටකට කලාතුරකින් පහල වුණ උගත්, වියත්, ප්‍රබුද්ධ දේශපාලනඥයෙක්, න ායකයෙක් විය.

තිඹිරිගෙයි සිටම දේශපාලනයේ ගැලී සිටි පවුලක ජන්ම ලාබය ලබන ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ඒ ඔස්සේ ස්වකීය දේශපාලන ප්‍රතිභාව මනාකොට ඔප්නංවා ගත්තේය. මෙරට බිහි වූ වඩාත්ම ඉදිරිගාමී අධ්‍යාපන අමාත්‍යවරයා වන්නට පසු කලෙක සමත් වන්නේ ඔහු ලද අධ්‍යාපනයේ විසල් පරාසයයි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හදාරණ ඔහු උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගන්නේ ලොව අද්විතීය සරසවිය වන ඔක්ස්ෆර්ඩ් සරසවිය ය.

ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිල්ප හදාරණ අවදියේ එතුමාණන්ගේ දයාබර පියාණන් අභාවප්‍රාප්ත වූ අතර ඉන් ඔබ්බට අධ්‍යාපන කටයුතු සඳහා එතුමන්ට ශිෂ්‍යත්වයක් ලබා දෙන්නට කටයුතු කළේ දිවංගත එස්.ඩබ්ලියු.ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ය. ‘හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙන‘ ඥානය බණ්ඩාරනායක ශ්‍රීමතානන්ට මනාකොට පිහිටා තිබිණි. කිසියම් දිනෙක ‘ලලිත් මෙරට අගමැතිවන‘ බව එතුමා ස්වකීය අමාත්‍ය මණ්ඩලයට පවා කියා තිබිණි.

සත්‍ය වශයෙන්ම අකාලයේ ඝාතනය නොවූවා නම් මෙරට ඉහළම නායකත්වය කරා ඒකාන්තවම යන්නට ඔහුට ඉඩ තිබිණි.

ඔහු කිසිදිනෙක ‘අසමත් වූයේ ‘ නැත. තමාට පැවරෙන කාර්‍යය ඔහු නොපිරිහෙලා ඉටු කළේය. එහි අංශු මාත්‍රයක හෝ දොසක් තබන්නට දෙයක් ඉතිරි කළේ නැත. සිය දේශපාලන ජීවිතයේ තමන් වෙත ලැබුණු සියලු අමාත්‍යාංශවල ලලිත් නොමැකෙන සටහන් තැබීය.

අදාළ අමාත්‍යාංශයේ සියලු විෂයන් ගැන මුල, මැද, අග, මනාව නිරීක්ෂණය කරමින් ඔහු රාජකාරි ආරම්භ කළේ ඒ සියලු විෂයයන් ගැන විශේෂඥ දැනුම් සම්භාරයක් සහිතවය. එනිසා කිසිවකුට ලලිත්ගේ ඥානයට සහ දැනුමට අභියෝග කළ නොහැකි විය. “මා ළඟ මහා සංකල්ප නැහැ. ඇත්තේ පුංචි අදහස්. ඒ අදහස් මිනිසුන්ගේ අදහස් එක්ක එකතු වුණාම ඒ දෙක පෑහී අලුත් දෙයක් නිර්මාණය වෙනවා” ඔහු නිතර කීවේය. හෙතෙම ප්‍රායෝගික නායකයෙක් විය. ජන මතයට ඇහුම්කන්දෙන නායකයෙක් විය. කුඩා සංකල්පයකින් මහා නිර්මාණ බිහිවන බව ඔහු ඇදහූ දර්ශනය විය.

1989 පෙබරවාරි මාසේ 15 වැනිදා පැවැති මැතිවරණයෙන් මා පාර්ලිමේන්තුවට තේරී පත්වු අතර 1989 මාර්තු මස 09 වැනිදා මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නෙමි. එවකට පැවැති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළේ ලලිත් ඇතුළත්මුදලි මහතාය. එම පාර්ලිමේන්තුවේ කෘතහස්ථ නායකයෝ කිහිප දෙනෙක්ම සිටියහ. ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, රන්ජන් විජේරත්න වැනි ඇමැතිවරු ඒ අතර සිටියහ.

ඒ ඇමැතිවරුන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වඩා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ සමීපව ආශ්‍රය කළ අතර ලලිත් ඇතුලත්මුදලි මහතා ඉනුත් විශේෂ විය. ඔවුන්ගේ හරබර කතා සහ සංවාද නවක මන්ත්‍රීවරුන්ට ආදර්ශයක් විය.

මහපොළ ශිෂ්‍යාධාර ලබාදීම, අධ්‍යාපනයට ආධාර ලබාදීමේ ක්‍රියාවලිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටවූ වීම, ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම, යනාදී දහසකුත් එකක් මෙහෙවර ඒ මහතාගෙන් ජාතියට සිදුවිය. ඒ සියල්ල අතීතයක් පමණක් නොවන අතර ඒ සියල්ලම වර්තමානයටත් අනාගතයටත් ‘තුන්කල් දකින‘මෙහෙවර වෙයි. ඒ නිසා ඔහු අමරණීය නායකයෙකි. සිංගප්පූරුවේ අගමැතිවරයාව සිටි ලී ක්වාං යූ මහතා කිහිපවිටක්ම ඇතුලත්මුදලි මහතාගෙන් ඉල්ලා සිටියේ එරට පුරවැසිකම ලබාගෙන සිංගප්පූරුවට සේවය ලබා දෙන ලෙසය.

එහෙත් මේ උදාර නායකයා තමන් උපන් මාතෲභූමියට සේවය කිරීම අන් සියල්ලට වඩා උතුම් කොට සැලසීය. කෙසේ වෙතත් ඔහුගෙන් උපරිම සේවය ගන්නට මේ රට සමත් වූවාද යන්න හරියටම තක්සේරු කළ නොහැක. අකාලයේ ජාතියට අහිමි වූයේ රටක් බැබලිය හැකි නායකයෙක් ය. රටේ නායකත්වයට පත් නොවීම ගැන අවාසනාවන්ත ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතාණන් නොව, අවාසනාවන්ත ඔහුගේ සේවය ලබන්නට අවස්ථාව නොලද මේ රටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *