ලෝක කම්කරු දිනයේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැයි දිනය සමරනු ලැබුවේ, 1927 වසරේදීය

තම වැඩමුරය පැය 8කට සීමාකරන්නැයි, ඉල්ලමින් 1886 මැයි මස 01වැනදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට එක්විය. කුඩා කණ්ඩායමකින් ආරම්භ වූ වැඩවර්ජනයට තෙවන දිනය වන විට එක්ව සිටි කම්කරුවන් පිරිස 65,000 ඉක්ම වීය. වැඩවර්ජනයේ තීරණාත්මක දිනය වුයේ, 1886 මැයි මස 03 වැනිදාය.

එදින සේව්‍ය මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩවර්ජනයට එල්ල කළ ප්‍රහාරයෙන් කම්කරුවෝ සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වුහ. ඊට විරෝධය පළ කරමින් යළිත් මැයි මස 4වැනදා කම්කරුවන් පිරිසක් හේමාර්කට් චතුරශ්‍රයට එක් විය.

එදින පොලිස් හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර එහිදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු මිය ගියේය. ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වුයේ, පොලිස් නිලධාරීන් 6දෙනෙකුට ජීවිත අහිමි කරමිනි.

ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරිණ. ඔස්කා නිබේට වසර15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුහ.

පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.

ඒ අතර ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැයි දිනය සමරනු ලැබුවේ, 1927 වසරේදීය. එය පැවැත්වුණේ මෙරට කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙනි. කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් වු ලංකා ඉතිහාසයේ ප්‍රථම මැයි රැළිය පැවැත්වුයේ, 1933 වසරේදීය.‍ 1956 වසරේ මැයි දින සැමරුමේදි මැයි 1 වැනිදා මෙරට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *