හිස කදින් වෙන්කළේ පලිය ගන්නලු // දකුණේ ඝාතන ත්‍රිකෝණයේ කථාව

රතිඥ්ඥයක් නිසා මහා ඝාතන වැලක් සිදු වෙයි ද

මාකදුරේ මධූෂ් හා කොස්ගොඩ සුජී නොදන්නා කෙනෙක් රටේ නැති තරම්ය. මාතර, සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත, මාකදුරේ මධූෂ්ය. කොස්ගොඩ, ජගමුණි සුජිත් ද සොයිසා, කොස්ගොඩ සුජීය. මොවුන් දෙදෙනා අද දකුණේ පාතාලයේ මහා කෙරුම්කාරයන් මෙන්ම පස මිතුරන්ය. මේ දෙපල අතර කලක පටන් පවතින ද්වන්ධ සටනේ ආසන්නතම රාත්‍රිය 2018 සැප්තැම්බර් 30 වන ඉරිදා උදා විය.

ඌරගස්මන්හන්දිය, රන්තොටුවිල ප්‍රදේශයේදී පසුගිය ඉරිදා (30) රාත්‍රී පුද්ගලයින් දෙදෙනකු වෙඩිතබා, කපා කොටා ඝාතනය කිරීමද මෙම ද්වන්ද සටනේම ප්‍රතිඵලයක් බව පොලීසිය කියයි. මෙම ඝාතනයන් දෙක එදින රාත්‍රී 7.30 ත් 8.00 ත් අතර සිදුව තිබෙන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ ඌරගස්මන්හන්දිය පොලිස් වසමේ ඉහළ මාලවල, රන්තොටුවිල පදිංචිව සිටි කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) සහ එම ලිපිනයේම පදිංචි තුෂයාහේවගේ සමන් සුරේෂ් (30) යන දෙදෙනාය. මොවුන් ඥාති සොහොයුරන්ය. චමිල දීපාල්, අවිවාහකයෙකු වන අතර ඝාතනය සිදුවන විට ඔහුගේ මව, පියා හා නැගණිය අසල්වැසි නිවසකට ගොස් තිබු අතර අසල්වැසි නිවසක වෙසෙන සමන් සුරේෂ්, චමිලගේ නිවසට පැමිණ ඉදිරිපස කුරුදු වාඩියේ කතාබහ කරමින් සිට ඇත. සමන් සුරේෂ්, මීට වසරකට පමණ පෙර විවාහ වූ අයෙකි. ඔවුන් දෙපලගේ කැදැල්ලට මේ වන විටත් තුන් වැන්නෙක් එක් වී නැත.

ඝාතනයන් සිදුකර ඇත්තේ ඝාතනයට ලක් වූ මාලවල, රන්තොටුවිල, චමිල දීපාල්ගේ නිවස ඉදිරිපිට ඇති කුරුදු වාඩියේදීය. ඒ වන විට සමන් සුරේෂ්ද චමිල සමග කතාබහ කරමින් සිට ඇත. ඝාතනය සදහා දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පැමිණෙන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි. ඝාතනයට ලක් වූ දෙදෙනාට වෙඩිපහර 25 ක් හෝ 30 ක් පමණ තබන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. සෑම දිශාවකටම පාහේ වෙඩි තබා තිබෙන බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් පතුරම් කොපු 26 ක් පොලිසීය විසින් සොයා ගෙන තිබේ. එම හිස් පතුරම් කොපු 26 ම පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් භාවිතා කරන ගිනිඅවි වලට යොදන ඒවාය. ඒ නිසාම මෙම ඝාතනයන් සදහා පොලිස් විශේෂ කාර්යය භාවිතා කරන ගිනිඅවි යොදාගෙන තිබෙන බව පොලීසියේ විශ්වාසයයි. හිස් පතුරම් කොපු විසිරී ඇති ආකාරය අනුව අවම වශයෙන් එම වර්ගයේ ගිනි අවි දෙකක් වත් භාවිතා කරන්නට ඇතැයිද පොලීසිය අනුමාන කරයි. වෙඩි වැදී චමිල හා සුරේෂ් බිම වැටුන පසු කඩු, මන්නා හා පිහි වලින් සිරුරු දෙක කපාකොටා දමන්නටද ඝාතකයෝ ක්‍රියා කර ඇත.

ඝාතනය කරන ලද සමන් සුරේෂ්ගේ හිස කදින් වෙන්කර රැගෙන ගොස් ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල  තබාගොස් ඇත. මෙය ඊට පෙර ඝාතනයකට එකට එක කිරීමක් ලෙසද දැන ගන්නට තිබේ. ඝාතකයින් චමිල දීපාල්ගේද හිස කදින් වෙන් කරන්නට උත්සාහ දරා ඇති අතර හිස වෙන් වෙන්නට ආසන්නව තිබියදී අදහස අතහැර ඝාතකයෝ පලාගොස් තිබෙන බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. චමිල දීපාල්ගේ හිස කදින් වෙන් වන්නට ඉතිරිව තිබී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ.

මෙම ඝාතනයන් වසර ගණනාවක් පුරා දෙපාර්ශවයක් අතර තිබෙන කෝන්තරයක් නිසා සිදුව තිබේ. මෙම දෙපාර්ශවය වර්තමානයේ නියෝජනය කරන්නේ කොස්ගොඩ සුජීගේ හා මාකදුරේ මධූෂ්ගේ කණ්ඩායම්ය. මෙම කෝන්තරය නිසා මෙම ඝාතනයන් දෙකත් ඇතුළුව මේ වන විට ඝාතනයන් 05 ක් සිදුව තිබේ. ඒ හතරට එකක් වශයෙනි.

කුඩා ඌරගහ, ඌරගහ ලිපිනයේ පදිංචි ඉන්දික මහේෂ් රණවීර (32) සහ මාලවල, රන්තොටුවිල පදිංචි තුෂයාහේවගේ සමන් සුරේෂ් (30) ඌරගස්මන්හන්දිය පොලිස් වසමේ කිලෝ මීටර් පහක, හයක දුරින් යුත් ආසන්න ගම් දෙකක පදිංචිකරුවන්ය. 2015 වර්ෂයට පෙර මොවුන් දෙදෙනා අතර මරා ගන්නා තරමේ වෛරයක් තිබුණේ නැත. 2015 අප්‍රේල් 16 දා දෙදෙනා එකිනෙක මුණ ගැසෙන්නේ ඌරගස්මන්හන්දිය, නුගුඩුමුල්ලේ පැවති සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය නැරඹීමට ගොස් සිටියදීය. එහිදී සමන් සුරේෂ් විසින් දල්වන ලද රතිඥ්ඥයක් ඉන්දික මහේෂ්ගේ දෙපා මුලට වැටෙන්නේ මහා කෝන්තරයකට මුල පුරමින්ය යන්න කිසිවෙකුත් එදා විශ්වාස කළේ නැත. එහිදී ඇති වූ කතාබහ බහින්බස් වීමක් දක්වා දුරදිග ගොස් එදිනට අවසන් වූයේ අළුයට ගිනි ඉතිරි කරමිනි.

දිනය 2015 නොවැම්බර් 03 දාය. ඉන්දික මහේෂ්ගේ කුඩා ඌරගහ, නිවසට වේගයෙන් සිය යතුරු පැදියෙන් පැමිණි ඔහුගේ ගෝලයන් දෙදෙනකුගේ මුවින් පිටවුණේ, ඉන්දික අයියේ අරුන් අපිට ගැහුවා යන්නයි. යමන් යන්න, කියමින් ඉන්දික සිය ගෝලයන් සමග පිටත් වූයේ දෙකින් එකක් කර ගැනීමේ අටියෙනි. මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක්ද ඉනේ සගවාගෙන සිද්ධිය වූ බව කියන ඉසව්වට යද්දී ඉදිරියට ආවේ පහර දුන් බව කියන දෙදෙනාය. වහා ක්‍රියාත්මක වූ ඉන්දිකගේ ගිනිඅවිය පත්තු වුණි. උෂාන් රන්දික නැමැති අයගේ කකුලට වෙඩි වැදී බිම වැටුණ පසු ලගටම පැමිණ හිසට වෙඩිතැබූ අතර එයින් උෂාන් ඝාතනයට ලක් විය. ඒ සමග සිටි සුරංග සුරේෂ්ට දුවන ලෙස ඉන්දික විසින් දැනුම් දුන්නත් සුරංග එම ස්ථානයේම හිස පාත්කරගෙන සිටින විට ඔහුටද ඉන්දික විසින් වෙඩි තැබීය.

මෙයින් ඌරගස්මන්හන්දිය, ඉහළ මාලවල, රන්තොටුවිල පදිංචිව සිටි කුමාරගේ උෂාන් රන්දික (26) සහ තුසයාහේවගේ සුරංග සුරේෂ් (27) දෙදෙනා ඝාතනයට ලක් විය. මෙයින් උෂාන් රන්දික, පසුගිය ඉරිදා (30) ඝාතනයට ලක් වූ කුමාරගේ චමිල දීපාල්ගේ ඥාති සහෝදරයෙක් වන අතර සුරංග සුරේෂ්, සමන් සුරේෂ්ගේ බාල සහෝදරයාය. සුරංග සුරේෂ් හා උෂාන් රන්දික ඝාතනයන් වෙනුවෙන් ලෙයින් ලෙය පලි ගැනීමේ සටන ආරම්භ වන්නේ මෙතැන් සිටය. සුරංග සුරේෂ් හා උෂාන් රන්දික ඝාතනය කරන්නට ඉන්දික මහේෂ් ගිනිඅවිය රැගෙන එන්නේ කුඩා ඌරගහ, ඌරගහ පදිංචි තොම්මයාහකුරු සරත් කුමාර (38) නොහොත් බොස් සරත් නැමැති අයගේ නිවසේ සිට යන්න සමන් සුරේෂ්ට දැනගන්නට ලැබි තිබේ. ඉන්දික මහේෂ් සිය ප්‍රධාන ඉලක්කය වුවත් එය සපුරා ගැනීමට අසීරු වූ අවස්ථාවේ සමන් සුරේෂ්ගේ සහ චමිල දීපාල්ගේ ඉලක්කය වන්නේ බොස් සරත්ය. සුරංග සුරේෂ් හා උෂාන් රන්දික ඝාතනය කර හරියටම මසක් ඉක්ම යද්දී 2015 දෙසැම්බර් 04 දින බොස් සරත් ඝාතනය කරන්නේ ලෙයට ලෙයින් පලි ගැනීමක් ලෙසිනි. වෙඩි තබා ඝාතනය කරන බොස් සරත්ගේ සිරුර කපාකොට දැඩි ලෙස හානිකරන ඝාතකයේ හිස කදින් වෙන්කර රැගෙන ගොස් ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල  තබාගොස් ඇත. පසුගිය 30 දින ඝාතනය කරන ලද සමන් සුරේෂ්ගේ හිස කදින් වෙන්කර රැගෙන ගොස් ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල  තබායන්නේද ඊට එකට එක කිරීමක් ලෙසිනි.

සුරංග සුරේෂ් හා උෂාන් රන්දික ඝාතනයට පොලීසියට බාරවන ඉන්දික මහේෂ් හා බොස් සරත් ඝාතනයට පොලීසියේ අත් අඩංගුවට පත්වන සමන් සුරේෂ් ඇපපිට නිදහස්ව එන්නේ මීට මාස කිපයකට පෙරය. සාමාන්‍ය ගමේ චන්ඩීන් ලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත වන ඉන්දින මහේෂ් ඇපපිට නිදහස්ව එන්නේ මාකදුරේ මධූෂ්ගේ ගෝලයකු ලෙස හා මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කරුවෙකු ලෙසය. තොග වශයෙන් හෙරොයින් රැගෙන ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ සිල්ලරට බෙදාහරින ප්‍රධානතම ජාවාරම්කරුවා ඉන්දික මහේෂ් බව පොලීසිය කියයි. ඉන්දික මහේෂ්, මාතර නිලේකා රන්භාණ්ඩ ආයතනය කොල්ලකෑමේදී වෙඩිවැදී රෝහල්ගතව සිටියදී අත් අඩංගුවට පත් පාතාල නායක කොස්ගොඩ, නානාතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගොඩ තාරකගේ සහ ඔහුගේ සොහොයුරු මධුක නිර්මාල් පෙරේරා විජේසේකර (22) යන අයගේද ප්‍රබල හිතවතෙකි. රිමාන්ඩ් බන්ධනාගාරයේදී සමන් සුරේෂ්, කොස්ගොඩ සුජීගේ පාර්ශවයේ සමග තව තවත් හිතවත් වන්නේ පෙර පැවති සුළු හිතවත්කම් තව තවත් තීවෘර කර ගනිමිනි.

පසුගිය 30 දා ඝාතනයට ලක්වන කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37)  නැමැති අයගේ මවගේ තාත්තා (සීයා) සහ 6 කණුව, හිපන්කන්ද, නවදගල පදිංචි ප්‍රදීප් කුමාර ජයවර්ධන (30) නොහොත් මයිකල් නැමැති අයගේ මවගේ තාත්තා (සීයා) සහෝදරයින්ය. ඒ අනුව චමිල, ප්‍රදීප්ගේ පුංචි අම්මාගේ පුතාය. මයිකල්, කොස්ගොඩ සුජීගේ විශ්වාසවන්තම ගෝලයාය. 2011 ජනවාරි 04 දින අම්බලන්ගොඩ, අරලිය හෝටලය ඉදිරිපිටදී කෝටිපති ව්‍යාපාරික අංක 10 බී, මානිමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි මාදුවගේ යසරත්න (53) නැමැති අය ඝාතනය කරන්නේද මයිකල්ය. එම ඝාතනය සම්බන්ධයෙන් ජගමුණි සුජීව ද සොයිසා (27) නොහොත් කොස්ගොඩ සුජී, ප්‍රදීප් කුමාර ජයවර්ධන නොහොත් මයිකල්, කැපුඇල පාර, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි කුවින්දාහන්දි නිලන්ත නොහොත් බොස්සා පොලිස් අත් අඩංගුවට පත් වේ. එයට අමතරව 2016.04.11 දින ඌරගස්මන්හන්දිය, මීගස්පිටියේ සංදීප නිවසේ පදිංචිව සිටි තිස්ස නැමැති අය වෙඩිතබා ඝාතනය කිරීම, අහුන්ගල්ල, රේල් ගේට්ටුව අසල තරුණයෙක් සහ ඌරගස්මන්හන්දිය, හිපන්කන්දේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.

ඝාතනයට ලක් වූ කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) නැමැති අයටද ඇල්පිටිය, පිටිගල රන් භාණ්ඩ අලෙවි සැලක් මංකොල්ල කෑම, ජීව අත් බෝම්බයක් ලග තබා ගැනීම සහ බළපිටියේදී මෝටර් රථයක් තුල ප්‍රීති කුමාර (33) නැමැති තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීම යන චෝදනා එල්ල වී තිබේ. කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) සහ තුෂයාහේවගේ සමන් සුරේෂ් (30) දෙදෙනාගේ අවමංගල්‍ය කටයුතු පසුගියදා (04) සිදු කෙරුණි. එයට පොලීසියෙන් මෙන්ම කොස්ගොඩ සුජීගේ පාර්ශවයෙන්ද දැඩි ආරක්ෂවෙක් යොදා තිබුණි.

මේ වන විට කොස්ගොඩ සුජී සිටින්නේ ඩුබායි රටේය. මාකදුරේ මධූෂ් ඉතාලියේය. නමුත් දෙදෙනාගේම ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේය. මේ සියළු මිනී මැරුම් පිටුපස ඇත්තේ හෙරොයින් ජාවාරමය. ඒ හරහා එකිනෙකා පරයා නැගී සිටින්නට දරණ උත්සාහයන්ය. මේ උත්සාහය පිටුපස එහි නායකයින් විසින් ඕනෑ තරම් සල්ලි විසි කරන්නටද පැකිලෙන්නේ නැත. ඒ තම තමන්ගේ කණ්ඩායම් පෝෂණය කර ගැනීම සදහාය. පාතාලයේ බොහෝ පිරිස් පෝශණය වන්නේ හිරගෙදරවල් තුලදීය. ඒ සදහා දූෂිත රජයේ නිලධාරීන්ගෙන් ලැබෙන්නේද මහා පිටුබලයකි. මෙම ඝාතනයන්ගේ පාර්ශවයන් නියෝජනය කරන කෙරුම් කාරයන් නිදැල්ලේය. ඒ අතර ඉන්දික මහේෂ් හා මයිකල් සිය පාර්ශවයන් වෙනුවෙන් ලෙයට ලෙයින් පලි ගැනීමේ විවිධ වූ සැලසුම් මේ වන විටත් දියත් නොකරන්නේ යැයි සිතිය නොහැකිය. ඒ නිසා ඉදිරිය වඩාත් භයංකාර වනු ඇත.

ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරිත් හල්විට මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත පොලිස් සැරයන්වරුන් වන කොඩිතුවක්කු (58466) සහ ධනපාල (28634) යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *