මහා සූපවේදී පබලිස් සිල්වා දේශීය ආහාර වලින් ගමේ පන්සලට දානයක්

තම දෑතින්ම පිළියෙළ කර භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වීම

ගල්කිස්ස මහා හෝටලයේ මහා සූපවේදී පබලිස් සිල්වා මහතා විසින් ලෙඩ රෝග ඇතිනොවන වස විශෙන් තොරව දේශීය ආහාර තම දෑතින්ම පිළියෙළ කර භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වීමටත් තමාට සුපවේදියෙකු වශයෙන් මේ තාක් දුර ඒමට අත හිත දුන් ආයතන ප්‍රධානීන්ට පිං පැමිණවීම සඳහාත් පිණ්ඩපාත දානයක් බළපිටිය වැලිතර මහා කප්පින සීමාමාලකාරාම විහාරස්ථ ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේදී පවත්වන ලදී. සුපවේදී රස්සාව තමන් තෝරාගත්තේ ඉතා කුඩා කාලයේ සිට බවත් එදා සුපවේදී රස්සාවට සමාජයේ එතරම් හොද තැනක් නොතිබුණද වර්තමානයේ ඒ සදහා හොද පිළිගැනීමක් සහ ඉල්ලුමක් පවතින බව හෙළයේ මහා සූපවේදී පබිලිස් සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.තම ගම් ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නය වෙනුවෙන් මෙලෙස දානමය පිංකමක් පැවැත්වීමට ලැබීම තම ජීවිතයේ වටිනා අවස්ථාවක් බවද සදහන් කරන ලදී.

අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ ලේඛකාධිකාරී දර්ශනපති රාජකීය පණ්ඩිත බළපිටියේ සිරි සීවලී, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක කොස්ගොඩ සිරිමිත්ත, ප්‍රධාන අධිකරණ සංඝ නායක ගල්වෙහෙර විමලසිරි, ගාලු දිසාවේ ප්‍රධාන සංඝ නායක අහුන්ගල්ලේ සීවක, බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී බළපිටියේ ධම්මික යන හිමිවරු ඇතුඵ සංඝයාවහන්සේලා පනස් නමක් විෂයෙහි මෙම දානමය පින්කම පැවැත්විණි.

පබලිස් සිල්වා මහතා විසින් රචිත මහා සූපවංශය නැමති ග්‍රන්ථය භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිණි.
මේ අවස්ථාවට පතල් හා භූවිද්‍යා කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා, බළපිටිය තරුණ බෞද්ධ සමිතියේ එරික් විජේසිංහ, බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි ඔසිලා ද සොයිසා සහ පබලිස් ද සිල්වා මහතාගේ බිරිඳ වන දඩල්ලගේ විමලා රාජකරුණා යන මහත්ම මහත්මීන් ඇතුඵ පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *