ලසන්ත ඝාතනයට හිටපු නි.පොලිස්පතිගේ සම්බන්ධයක්

හිටපු නි. පොලිස්පති සුසන්ත නානායක්කාර සම්බන්ධ බවට සාක්කි තිබෙනවා

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ද ලසන්ත ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැක කළ හැකි සාක්ෂි හමු වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා ඊයේ (01) ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා හට ප්‍රකාශ කැර සිටියේ ය. අධිකරණයට කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදු කැර ඇති විමර්ශන තුළින් මේ බව හෙළි වී ඇති බවයි.

ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ප්‍රකාශ කැර සිටියේය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ඉල්ලා සිටි ඇප අයැදුමට විරුද්ධව ර ජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයා අධිකරණයට මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සාක්කි ලබා දෙමින් පොලිස් බල පොතෙහි සටහන් ගලවා ඉවත් කිරීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අනුබල ලබා දුන් බව ප්‍රකාශ කර තිබියදීත් මෙවැනි අවස්ථාවක ප්‍රසන්න නානායක්කාර හට ඇප ලබා දීම නුසුදුසු බව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරයා පැවසීය.

සාක්කි විනාශ කිරීමට අනුබල ලබා දීම තුළින් ලසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ වැදගත් කරුණු වසන් කිරීමට ප්‍රසන්න නානායක්කාර උත්සාහ කර ඇති බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරයා ප්‍රකාශ කර සිටියේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධව ප්‍රථම මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය සුනිල් කුමාර ලසන්ත වික්‍රමතුංග වෙඩි තබා ඝාතනය කැර ඇති බව සඳහන් කැර සාවද්‍ය මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවය.

එවැනි සාවද්‍ය මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ වෛද්‍ය සුනිල් කුමාර සමඟ ප්‍රසන්න නානායක්කාර හට ඥාති සම්බන්ධතාවක් තිබීම හා ඔවුන් දෙදෙනා අතර 2009.01.12 දින දුරකථන ඇමතුම් කීපයක් හුවමාරු වීම සැකසහිත බව ද නීතීඥවරයා අධිකරණයට ප්‍රකාශ කර සිටියේ ය.

එසේම රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතීඥවරයා තවදුරටත් අධිකරණයට ප්‍රකාශ කර සිටියේ ලසන්ත ඝාතනය වූ දින ලබාගත් ඡායාරූප අතර ඔහුගේ දිනපොත වාහනය තුළ තිබෙන ආකාරය දැක ගත හැකි වුව ද මේ වන විට එම දිනපොත අස්ථානගත වී ඇති බවයි. එම දිනපොත පිටු 160කින් සමන්විත වී ඇති බවත් පිටු 128ක ලසන්ත මහතා සටහනක් තබා තිබූ බවට කරුණු අනාවරණය වී ඇති බවත් නීතීඥවරයා ප්‍රකාශ කර සිටි අතර එම සටහන් පොත අස්ථානගත කිරීමටද ප්‍රසන්න නානායක්කාර සම්බන්ධ බවට සැක සහිත බවත් නීතීඥවරයා ප්‍රකාශ කර සිටියේ ය.

එසේම තවදුරටත් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරයා අධිකරණයට ප්‍රකාශ කර සිටියේ අවුරුදු දහයක් තිස්සේ මෙම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු නොවූ අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් ස්වාධීන විමර්ශනයක් සිදු කරමින් යන මොහොතක ප්‍රසන්න නානායක්කාර හට ඇප ලබාදීම නුසුදුසු බව යහා ප්‍රසන්න නානායක්කාර හට ඇප ලබාදීමට ප්‍රමාණවත් කරුණු නොමැති බවත් ය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර ප්‍රකාශ කළ කරුණු සඳහා ප්‍රතිඋත්තර දැක්වීමක් සිදු කිරීමට අවශ්‍ය බව ප්‍රසන්න නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ අනුර මැද්දේගොඩ ප්‍රකාශ කර සිටියේය.

එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මැයි මස 14 දක්වා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර එදිනට ජනපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා හට සිය කරුණු ඉදිරිපත් කරන ලෙසට ප්‍රකාශ කර සිටියේය.

නඩුව යළි මැයි මස 14 වැනි දින කැඳවීමට නියමිතය.

(දිනමිණ) රිද්මි අමෝදා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *