කොස්ගොඩ තාරක ඝාතකයෙක්!! පාසල් කාලේ විනය ගරුක සිසුවෙක්!!මව නිසා නොමග ගියාද ???

භෞතික විද්‍යාව උසස් පෙළට ලියලා ප්‍රථිපලය B දෙකයි C දෙකයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (34) නොහොත් කොස්ගොඩ තාරක පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් ඊයේ (13) අළුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී මීරිගම, රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් ඇති අවස්ථාවේදී ඇති වූ සිද්ධියකදී පොලීසිය විසින් තබන ලද පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී කොස්ගොඩ තාරක මියගිය බව පොලීසිය කියයි.

මෙම සිදුවීමේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ද තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවත් සැකකරුගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් බස්නාහිර පළාත (උතුර) නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.

කොස්ගොඩ තාරක සංවිධානාත්මක අපරාධකරුවෙකි. ඔහුගේ මරණය සාමාන්‍ය මරණයක් සේ සලකා ඉවත දැමිය නොහැකිය. මෙරට පාතාල අපරාධ රැල්ලේ රටේ මාධ්‍ය වැඩි වශයෙන් කතාබහට ලක්කල අයෙකු සේ කොස්ගොඩ තාරක පෙන්වා දිය හැකිය. ඒ නිසාම මාධ්‍ය පිටු ගණන් ඔහු සම්බන්ධයෙන් ලියවුණි. මෙම ලිපියෙන් පෙන්වා දෙන කරුණු වලින්ද ඔහු සම්බන්ධයෙන් යම් පැතිකඩක් කියවේ. වයස 34 ක් තරම් වූ ඔහුගේ කෙටි ජීවිතය සමාජ සුභ සිද්ධිය වෙනුවෙන් යෙදුවේ නම් ඔහුටද යම් මමාජ මෙහෙවරක් කිරීමට හැකියාව තිබුණි.

දකුණේ පාතාල නායක ගරුමුණි සුජිත් ද සොයිසා (37) නොහොත් කොස්ගොඩ සුජීගේ කණ්ඩායමේ සිටි ප්‍රබලම වෙඩික්කරුවා වූයේ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (33) නොහොත් කොස්ගොඩ තාරකය. ඒ මීට වසර දහයකට දෙලහකට පමණ පෙරය. නමුත් පසුකාලීනව කොස්ගොඩ සුජීගෙන් ගේම ඉල්ලන්න්ට තරම් කොස්ගොඩ තාරක බලවත් විය. කොස්ගොඩ තාරක පොලිස් අත් අත් අඩංගුවට පත් වන්නේ 2018 වසරේ ජුනි 22 දිනය. ඒ මාතර නිලේකා ජුවලරී ආයතනයේ රන් භාණ්ඩ මංකොල්ලයේදී බරපතල තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහල අසල දමාගොස් සිටියදී ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබියදීය.

මංකොල්ලය සිදු වී පැය කිහිපයකින් සැකකටයුතු තිදෙනෙක් ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුලත්කර තිබෙන බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ. පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනෙක් රෝහල් ගත කර තිබෙන බව ඒ සම්බන්ධ විමර්ශණයේදී පොලීසිය තරවුරුකර ගෙන තිබේ. පොලිස් වෙඩි පහර කාගෙනම තාරක ඇතුළු කොල්ලකරුවන් තිදෙනා පලා යෑමට සූදානම්කර තිබූ මෝටර් රථය වෙත පැමිණ තිබේ. තාරක ඇතුළු තිදෙනා රැගත් සුදුපැහැති මෝටර් රථය, ගාල්ල කරාපිටිය රෝහල අසලට පැමිණ රෝහල ඉදිරිපිටින් ඔවුන් බස්සවා පලාගොස් ඇත. මොටර් රථයේ තවත් දෙදෙනෙක් සිට ඇති බවද දැන ගන්නට තිබේ. ඔවුන් තුවාලකරුවන් රෝහලට බාර දීමට ඉදිරිපත් වී නැත්තේ තමන්ද පොලීසියට හසු වන නිසාය.

මෙසේ කරාපිටිය රෝහල අසල දමා යෑමෙන් පසු රෝහල් ගත කර ඇත්තේ කොස්ගොඩ, නානාතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගොඩ තාරක, ඔහුගේ සොහොයුරු මධුක නිර්මාල් පෙරේරා විජේසේකර (22), සහ නො. 135, ගුරුදැව, දුටුවැව, අනුරාධපුරය ලිපිනයේ පදිංචි ඉරන්දෙණිය අතුල කිත්සිරි කුමාර (31) යන තිදෙනාය. මොවුන් පසුව අගුණකොලපැලැස්ස, බූස්ස, කොළඹ බන්ධනාගාරවල වරින් වර රදවා සිට ඇති අතර පසුව වැඩිදුර විමර්ශණ සදහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යටතට පත්කර තිබේ.

මාතර නිලේකා ජුවලරි ආයතනය මාතර පිහිටි සුවිශාලතම ස්වර්ණාභරණ මාලිගයයි. කොස්ගොඩ තාරක තමන්ගේ තවත් එක් කොල්ලයක් ලෙස නිලේකා ජුවලරි ආයතනය කොල්ල කන්නට එන්නේ 2018 ජුනි 22 දින පෙරවරුවේය. පොලීසිය සදහන් කරන පරිදි ඒ සදහා කොස්ගොඩ තාරක සමග කොල්ලකරුවන් 10 දෙනෙකු පැමිණ තිබේ. කොල්ලකරුවන් ගිනිඅවි රැගෙන ස්වර්ණාභරණ ආයතනයට ඇතුල් වී එහි සේවකයින් ප්‍රාණ ඇපයට ගෙන රන්භාණ්ඩ හා මුදල් සිය ගමන් මළු වලට දමා ගන්නා අතරේ පොලීසිය රන්භාණ්ඩ වෙළෙද සැල වටලන්නේ ලද තොරතුරක් මතය.  

කොල්ලයට තාරකගේ කණ්ඩායම යතුරුපැදි 03 කින් හා සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ තිබේ. වෙළෙද සැලට ඇතුල් වී ඇත්තේ කොල්ල කරුවන්ගෙන් සිව් (04) දෙනෙක් පමණි. කොල්ලකරුවන් වෙළෙද සැලෙන් එළියට පැමිණෙද්දී පොලීසිය සමග පැවති වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීයෙක්ද මිය ගියේය. මෙම ගැටුමේදී තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක්ද තුවාල ලැබීය. සිවිල් පුද්ගලයින්ගෙන් එක් අයෙක් කාන්තාවකි. ඔවුන් ජුවලරි ආයතනය තුල රැදී සිටි අය වේ. ජීවිතක්ෂයට පත් වූයේ කිරින්දගේවත්ත, ගොඩගම, මාතර ලිපිනයේ පදිංචි වීරසිංහගෙදර සුරංග ප්‍රදීප් වීරසිංහ   නැමැති පොලිස් නිලධාරියාය. ඔහුට පොලිස් සේවයේදී 69532 අංකය ලබා දී තිබුණි. සුරංග, පොලිස් විශේෂ කාර්යය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස මාතර පොලිසියට අනුයුක්තව සේවය කළේය. විවාහකයෙකු වන සුරංග, එක් දරු පියෙකි.

කොල්ල කරුවන් පැමිණි යතුරු පැදි 02 ක්, මිනි ඌෂී වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 18 ක් සහිත මැගසිනයක් සහ පිස්තෝල මැගසිනයක් සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබුණි. පලායෑමට නොහැකි වූ එක් සැකකරුවෙක්ද පොලීසියේ අත් අඩංගුවට පත්විය. මෙසේ අත් අඩංගුවට පත්ව තිබුණේ නො. 54/3, මාලිගැතැන්න, වේයන්ගොඩ ලිපිනයේ පදිංවි තලුක්කුවේ කංකානම්ගේ චාමර ඉන්ද්‍රජිත් (30) නැමැති අයයි. මොහු 2018 අප්‍රේල් 21 දින නිට්ටඹුව, අත්තනගල්ලේදී මීගම ආරච්චිගේ රත්නදේවප්‍රිය නැමැති අයට වෙඩිතබා ඝාතනය කිරීම සහ ගැබිණි කාන්තාවක් හා පුද්ගලයින් සිව් (04) දෙනෙකුට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීමට අදාල සිද්ධියේ ප්‍රධානතම සැකකරුවා බවද පොලීසිය කියයි. මොහු කොස්ගොඩ තාරකගේ විශ්වාසවන්තම ගෝලයකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබුණි.

මොහු කොල්ලයට පැමිණ ඇත්තේ තමන්ගේ ගමන් බෑගය මාතර, කිරලකැලේ ප්‍රදේශයේ සගවා තබාය. තම ගමන් බෑගය පෙන්වන්නට චාමර ඉන්ද්‍රජිත් පොලීසියත් සමග යන්නේ කොල්ලයට පසුදින අළුයම කාලයේය. ඔහු තම ගමන් බෑගය රැගෙන එහි තිබූ අත් බෝම්බයකින් පොලීසියට පහර දීමට තැත්කළා යැයි පොලීසිය කියයි. එහිදී චාමර මිය යන්නේ පොලීසිය පෙරලා තැබූ වෙඩි පහරිනි. කෙසේ වෙතත් 22 පෙරවරුවේ සිට 23 අළුයම දක්වාම දැඩි පහර කෑමට ලක්වූ චාමර, අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කලහැකි මට්ටමක සිටියාද යන්න සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් එවකට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා 23 දින රාත්‍රී සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පොලිස් කොස්තාපල් වරයෙකු මිය යෑම, ඊට සම්බන්ධ සැකකරු ඝාතනය කිරීමෙන් සාධාරණීකරනය කළ නොහැකි බවයි. අපරාධකරුවන් සමග කටයුතු කිරීමේදීද නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඔහුගේ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සදහන් විය.

කොස්ගොඩ, නානතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (33) නැමැති අය මිනී මැරීම් හා මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකි. 2017 ඔක්තෝම්බර් 29 වන ඉරිදා අළුයම 4.00 ත් 4.30 ත් අතර කොස්ගොඩදී සිදුකරන ලද සිව් (04) ඝාතනය සහ 14 හැවිරිදි දරුවෙකුට වෙඩිතබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය බැර වන්නේද කොස්ගොඩ තාරකගේ ගිණුමටය. මෙහිදී කොස්ගොඩ, යුධ පිටියේ පදිංචිව සිටි ජගමුණි මහින්ද පේ‍්‍රම රාජා ද සොයිසා (51) ඔහුගේ පුතුන් දෙදෙනා වන ජගමුණි අයේෂ් ධනංජය ද සොයිසා (22), ජගමුණි දුමිඳු විශ්මිත ද සොයිසා (13) යන එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනාත් උක්වත්ත ආරච්චිලාගේ කපිලරත්න පෙරේරා (39) නැමැති අයත් ඝාතනයට ලක් විය. 2006 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් බළපිටිය ප‍්‍රාදේශීය සභාවට තරග කොට මන්ත‍්‍රී වරයෙක් ලෙස පත් වූ මහින්ද රාජා, 2008 වසරේදී ශ‍්‍රීලනිපක්ෂයට එක් විය.

ඔහු 2011.07.18 දින පෙ.ව 10.00 ට පමණ තවත් අයෙකු සමග කොස්ගොඩ මහජන බැංකුවට ආයුධ සන්නද්ධව කඩා වැදී රුපියල් 23,35,625/- ක් වටිනා රන්භාණ්ඩ සහ එහි ආරක්ෂක නිලධාරියා සතු බෝර 12 ගිනි අවිය කොල්ලකා පලාගොස් තිබේ. එම සිද්ධියට අදාලව මොහු 2013.05.05 දින මිරිහාන පොලීසියේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය 40180 යටතේ බළපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. මෙම සිද්ධියේ අනෙක් සැකකරුවා වන නිකදළුපත, වැල්ලව පදිංචි දිසානායක මුදියන්සෙලාගේ මංජුල දිසානායක (32) නැමැති අය 2013.06.26 දින බළපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී තිබේ. ඔහු දැනට වසර දෙකකට පමණ පෙර නිදන් හොරකමකට අදාල සිද්ධියදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.  

තාරක පෙරේරා විජේසේකර (33) සහ මංජුල දිසානායක (32) ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ එස් එෆ් බලකායේ සේවය කල දෙදෙනෙකි. මොවුන් එහි යතුරු පැදි බලකායේ සිටි අති දක්ෂ යතුරු පැදි ධාවකයින් දෙදෙනෙකි. යුද්ධ හමුදාවේ හොදම මිතුරන් වූ මොවුන් දෙදෙනා එයින් ඉවත්ව පාතාලයට සම්බන්ධ වී තිබේ. මොරටුව වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කිලෝග‍්‍රෑම් 10 කට අධික බරින් යුත් රුපියල් ලක්ෂ 150 ක පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ මංකොල්ලකන ලද්දේද තාරක පෙරේරා විජේසේකර විසිනි. 2017.05.27 දින මීරිගම කොමර්ෂල් බැංකුවට දෙදෙනකු සමග ටී – 56 ගිනි රැගෙන පැමිණ රුපියල් ලක්ෂ 18 ක් මුදල් කොල්ලකන ලද්දේද තාරක පෙරේරා විජේසේකර විසිනි. කොල්ලකරුවන් පසුව පලාගොස් තිබුණේද අසල ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබගැනීමට පැමිණි අයෙකුගේ යතුරු පැදියකිනි. 2017.08.10 දින දවල් 12.00 ට පමණ අත්තිඩිය කොමර්ෂල් බැංකුවට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරියාට වෙඩිතබා ඝාතනය කර රුපියල් 34,36,200/- ක මුදලක් කොල්ලකන ලද්දේද තාරක පෙරේරා විජේසේකර විසිනි.

මෙම ඝාතනයන් දකුණේ කොස්ගොඩ ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ක‍්‍රියාත්මක වන පාතාල කල්ලි දෙකක් අතර කලක පටන් පවතින මරාගැනීම හේතුවෙන් සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. එක් කණ්ඩායමකට නායකත්වය දෙන්නේ ගරුමුණි සුජිත් ද සොයිසා (37) නොහොත් කොස්ගොඩ සුජීය. ඔහු මේ වන විට ඩුබායි රටට පැනගොස් සිටින අතර එහි සිට සිය ක‍්‍රියාකාරකම් මෙහෙයවයි.  

කොස්ගොඩ අනෙක් පාතාල කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත්තේ සුවාරිස් රුවන් චාමර අබේසේකර (24) නොහොත් කොස්ගොඩ ලොකූ නැමැති අයයි. ඔහු 2017.05.08 දින රාත‍්‍රි කළුතර වැලිපැන්න, දියකොරඩුව ප‍්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කර ඇත. ඔහු පදිංචිව සිට ඇත්තේ කොස්ගොඩ, නානතොට, 2 කණුව ප‍්‍රදේශයේය. මොහු ඝාතනය කරන ලද අවස්ථාවේදී ඔහු සමග සිටි වැලිපැන්නේ අයෙක් සහ බළපිටියේ අයෙක් බරපතල තුවාල ලබා කළුතර, නාගොඩ රෝහලටද ඇතුලත් කර තිබුණි. කොස්ගොඩ ලොකූගේ ඝාතනයෙන් පසුව එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඔහුගේ බාල සොහොයුරු සුවාරිස් දේශාන් අබේසේකර (21) නැමැති අයයි. සුවාරිස් දේශාන් අබේසේකර කොස්ගොඩ සිව් (04) පුද්ගල ඝාතනයේ ප‍්‍රධානම සැකකරුවා බවටද පොලීසිය හදුනාගෙන තිබේ. එයට අමතරව මෙම ඝාතනයන් සදහා යතුරුපැදි දෙකකින් පැමිණි තවත් දෙදෙනෙකුද පොලීසිය හදුනාගෙන තිබේ. ඔවුන් කොස්ගොඩ ලොකූට සිටි හොදම ගෝලයා වන කොස්ගොඩ, නානතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (33) සහ ඔහුගේ සහෝදරයා එම ලිපිනයේම පදිංචි ධර්මකීර්ති මධුක නිර්මාර් පෙරේරා විජේසේකර (31) යන අයිය මලෝ දෙදෙනාය. කොස්ගොඩ ලොකූගේ පාතාල කණ්ඩායම, පාතාලයේ ගොඩ් ෆාදර් ලෙස සිට පොලිස් වෙඩි පහරින් 2020.10.20 දින මාලිගාවත්ත, ලක්සද සෙවන නිවාස සංකීර්ණයේදී පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ මාකඳුරේ මධූෂ්ගේ ගෝලයන්ය.

ප්‍රබල ශ්‍රිලනිප පාක්ෂිකයින් වන කොස්ගොඩ තාරකගේ මව වන අගම්පොඩි ජානකී ප්‍රියන්ති ද සොයිසා (51)  සහ කොස්ගොඩ සුජීගේ වැඩිමහල් සහෝදරිය වන ජගමුණි නයනා කුමාරි ද සොයිසා (46),  2018 පෙබරවාරි 10 දින පැවති බළපිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට එජනිසං යටතේ තරග කොට පරාජයට පත් විය. ඔවුන් නියෝජනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ජානකී, නානාතොට පළාත කොට්ඨාශයට මෙන්ම නයනා, කොස්ගොඩ කොට්ඨාශයටත් තරග කර තිබුණි. නමුත් පසුව බළපිටිය ප්‍රාදේශීය සභාව සදහා එජනිසං යටතේ මන්ත්‍රී ආසන 03 ක් ලැයිස්තුවෙන් ලැබුණ අතර එයින් එක් මන්ත්‍රී ධූරයක් සදහා පත් කරන ලද්දේ නයනා කුමාරිය. ඒ අනුව මේ වන විට කොස්ගොඩ සුජීගේ සහෝදරිය බළපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකි.

කොස්ගොඩ තාරකගේ මව වන අගම්පොඩි ජානකී ප්‍රියන්ති ද සොයිසා (51) සහ කොස්ගොඩ සුජීගේ වැඩිමහල් සහෝදරිය වන ජගමුණි නයනා කුමාරි ද සොයිසා (46) කොස්ගොඩ, හෑගල්ල මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්ය. එකල ඔවුන් විද්‍යාලයීය නිවාසාන්තර මෙන්ම පාසැල් අන්තර් කළාපීය ක්‍රිඩා තරග වලදීද දස්කම් දක්වා තිබේ. කොස්ගොඩ, හෑගල්ල මහ විද්‍යාලය, බළපිටිය කොට්ඨාශයේ ක්‍රීඩාව සදහා සුවිශේෂී දස්කම් දක්වන පාසැලක් වීම මීට හේතු වන්නට ඇත. හෑගල්ල විද්‍යාලය ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ හිමි කරගත් ක්‍රීඩකයින්ද බිහිකර තිබේ. චින්තක ද සොයිසා, ටොරී ධනුෂ්ක මෑත යුගයේ එවැනි ක්‍රීකඩයින්ය. චින්තක, දකුණු ආසියාවේ කෙටි දුර ධාවන ශූරයෙකු වූ අතර ටොරී, තුන් පිම්ම ඉසව්වේ ජාතික ශූරතා හිමිකර ගෙන තිබේ. ටොරී ධනුෂ්කගේ පියා වන බළපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ස්ටැන්ලි තාබේව් මහතාද 70 දශකයේ තුන් පිම්ම ඉසව්වේ ජාතික ශූරතාවයට හිමිකම් කියා ඇත. ටොරී ධනුෂ්ක, කොස්ගොඩ සුජීගේ ඥාති සහෝදරයා වන අතර ස්ටැන්ලි තාබ්‍රේව් සුජීගේ මාමා වේ. මෙම පිය පුතු දෙදනොම දකුණේ පාතාලයේ බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මීට වසර කිහිපයකට පෙර ඝාතනයට ලක් විය.

කොස්ගොඩ තාරකගේ පියාද මේ වන විට මරණයට පක්ව තිබේ. එම මරණයද බොහෝ සැක සංකා ඇති කරවන්නකි. හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ නිවසේ ළිඳේ වැටී සිදු වූ මරණයක් ලෙසිනි. නමුත් ඝාතනය කර ළිඳේ දැම්මාය යන මතයක් හා නිවසේ පීඩනය ඔරොත්තු දිය නොහැකිව ළිඳට පැන සියදිවි නසා ගත්තාය යන මතයක්ද මරණය වූ කාලයේ කොස්ගොඩ, නානතොට ප්‍රදේශයේ පැතිරගොස් තිබුණි.

කොස්ගොඩ තාරකගේ මව, බළපිටිය ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරිණියක් ලෙස කරලියට එන්නේ ප්‍රේමලාන් නව නන්දන ද සිල්වා මහතා බළපිටිය ශ්‍රිපනිප සංවිධායකවරයා ලෙස කටයුතු කල 2006 – 2010 කාලයේය. නමුත් එකල කොස්ගොඩ තාරක පාතාල ක්‍රියාකාරිකයෙක් ලෙස කරලියට පැමිණ තිබුණේ නැත. ඒ නිසාම කොස්ගොඩ තාරකගේ පාතාල ක්‍රියාකාරකම් වලට සිය මව හරහා දේශපාලන රැකවරණය ලැබුණේය යන්න බළපිටියේ සාමාන්‍ය ජනතාව තුල ඇති මතය ලෙහෙසියෙන් බැහැර කල නොහැකිය. ආරම්භක යුගයේදී කොස්ගොඩ සුජී හා කොස්ගොඩ තාරක එකම කණ්ඩායමක කටයුතු කරන ලද අතර මෙකල මහරගමදී පැවති කොස්ගොඩ සුජීගේ විවාහ මංගල්‍යයේ සාක්ෂිකරුවා ලෙස අත්සන් තබා තිබුණේද ගාල්ල දිස්ත්‍රික්කයේ එවකට සිටි ශ්‍රිලනිප ප්‍රබල ඇමතිවරයෙකි.

“මාකදුරේ මධූෂ්” මුල් කාලයේදී අවිලබාගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යය බලකාය හරහාය. ඒ කොස්ගොඩ නදුන් නැමැති අයෙකුගෙනි. නදුන් ඒ වන විට පොලිස් විශේෂ කාර්යය බලකායේ උප පොලිස් පරීක්ෂක වරයෙකි. නදුන්ගේ අවි ජාවාරම පිළිබඳව පොලිස් විශේෂ කාර්යය බලකාය, බුද්ධි අංශ මගින් තහවුරු කර ගැනීමත් සමගම උප පොලිස් පරීක්ෂක නදුන්, රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නේ 1998 ජූලි 16 දිනය. එම මෙහෙයුම දියත් කරන්නේ පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයකොඩි මහතාය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන්ද කටයුතු කර තිබෙන ප්‍රියන්ත ජයකොඩි, නියෝජ්‍ය පොලිස්පති වරයෙකි.

පාතාල කණ්ඩායම් දිවයින පුරා හිස ඔසවා තිබේ. තිස් වසරක යුද්ධය පැවති කාලයේ බොහෝ පිරිස් කොළඹ නොගියේ බෝම්බ බිය නිසාය. වර්තමානයේද ජනතාව බැංකුවකට හෝ යෑමට දැඩි බියක් දක්වයි. ඒ පාතාල කුවක්කු කරුවෙකුගේ වෙඩි පහරට කොයි මොහොතේ හෝ ලක් වේවී යන බිය නිසාය. රටක නීතිය වල් වැදුන විට මෙවන් දෑ අරුම පුදුම දේ නොවේ. මිනිස් ජීවිතයක වටිනාකම් ජාතියෙන් ගිලිහී යමින් තිබේ. එය ශ්‍රී ලංකේය ජාතියේ ඛේදවාචකයකි. ශ්‍රී ලංකේය ජාතිය ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස ලෝක සිතියම තුල ඔසවා තැබිය හැක්කේ ජාති ආගම් පක්ෂ පාට භේදයෙන් තොරව සියල්ලන් එක් වුව හොත් පමණි. එසේ නොමැතිව තම තමන්ගේ කාලයන් පිළිබදව කතා කිරීමෙන් පලක් නැත. වත්මන් කාලය නිවැරදි කර ගත හැක්කේද පෙර පාලකයින්ට දොස් පැවරීමෙන් නොවේ. වත්මන් වගකීම නිවැරදිව ඉටු කල නොහැකි නම් බලයට පත් කිරීමෙන් තමන් බරපතල වරදක් සිදුකර තිබෙන බවට අනාගතයේ ජනතාව තීරණය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *