නීති විරෝධී එළ ගවයන් ප්‍රවාහනය ලොරිය අධිවේගයෙදී අල්ලයි

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

අතිශයින්ම සත්ව හිංසා සිදුවන අයුරින් අළුත්ගම, දර්ගානගරය දක්වා නීති විරෝධී අයුරින් එළ ගවයන් ප්‍රවාහනය කල කුඩා ලොරි රථයක් වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුම අසලදී වැලිපැන්න පොලිසිය මගින් අද (28) අළුයම අත් අඩංගුවට ගෙන තිබේ.

අනතුර සිදු වීමත් සමග එල ගවයන් ප්‍රවාහනය කරන ලද කුඩා ලොරි රථයේ ගමන් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වාහනය එම ස්ථානයේම තිබියදී පලාගිය බවත් ඔවුන් අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවත් වැලිපැන්න පොලීසිය කියයි. අවට පොලිස් ස්ථාන සියල්ලටම මේ වන විට පණිවුඩ ලබා දි තිබෙන බවත් ඊයේ (28) සවස් වන විටත් කිසිවෙකු ඉදිරිපත් නොවූ බවත් වැලිපැන්න පොලීසිය කියයි.

මෙම කුඩා ලොරි රථය, කඩවත සිට බෙලිඅත්ත දක්වා සිමෙන්ති ප්‍රවාහනය කල කන්ටේනර් ටැංකියක් සහිත ලොරි රථයක ගැටීමෙන් අනතුරට ලක් ව තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමේදී අනවසරයෙන් එල ගවයන් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් වැලිපැන්න පොලීසිය කියයි. අලුත්ගම – මතුගම මාර්ගයේ මතුගම දෙස සිට අලුත්ගම – දර්ගානගරය දෙසට මෙම කුඩා ලොරි රථය ගමන් ගනිමින් තිබූ බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබුණි.

කුඩා ලොරි රථයේ එල ගවයන් සිව් දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ බවත් ගවයන්ගේ ගාත් එකිනෙක හිරවන පරිදි නයිලෝන් කඹ වලින් ගැටගසා තිබූ බවත් වැලිපැන්න පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. අත් අඩංගුවට ගත් අවස්ථාවේදීම ගවයන්ගේ ගාත් ගැටගසා තීබූ කඹ කපා ගවයන් නිදහසේ සිටීමට අවස්ථාව සලසා දුන් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.

ඉතා විශාල ප්‍රමාණයේ ගවයන් තිදෙනෙක් හා එක් වැස්සියෙක් දැඩි ලෙස හිංසා වන අයුරින් කුඩා ලොරි රථයේ මෙසේ ප්‍රවාහනය කරමින් සිට ඇත. වැස්සියගේ වලිගය කදට සවිවන ස්ථානයෙන් කඩා බරපතල තුවාල කර තිබූ බවත් වැලිපැන්න පොලීසිය පශු වෛද්‍යවරයෙක් ගෙන්වා ප්‍රතිකාර කල බවත් පොලීසිය කියයි. මේ වන විට එල ගවයන් සිව් දෙනා සහ කුඩා ලොරි රථය වැලිපැන්න පොලීසිය භාරයේ ඇත.

වැලිපැන්න පොලීසියේ පොලිස් පරීක්ෂක අර්ජුන මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

එල ගවයන් ප්‍රවාහනය කරන ලද කුඩා ලොරි රථයෙන් ගවයන් පොලීසිය විසින් මුදාහරින ලද අයුරු ඉහත ඡායාරූපයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *