මළ පොතේ අකුර සොයන නොමල මිනිසුන් වෙත ලියමි

මළපොතේ අකුරු බෑ කී මිනිහා.මේ ගීතය ඇසෙන විට අපට සිහිපත් වන්නේ මළ මිනිය විකුණාගෙන කන සමාජ පරිසරයක් ඇති වී ඇති යුගයක මළ පොතේ අකුර නොදත් එකා ලවාම මළ අකුර,මළ පත,මළ පොතක් ලියවා ගන්නටය.

මළ මිනිසා වෙනුවෙන් නොමළ මිනිසුන් සිදු කරන මළ අවමංගල චාරිත්‍ර වාරිත්‍රයි වලට අලුත් දේද එක්ව තිබේ.සමහර මළ ගෙවල්වල සිදුකරන නොමනා ක්‍රියා නිසා මළ මිනිහා නැගීසිටින්ට තරම් වු දේ සිදු වේ.මේවා පිළිබඳව කතාකරන විට සමහර පිරිස්වලට මළ පනින්ට හැකිය.මළගිය ඇත්තෝද ද මතක් වේ.

සත්තකින්ම මේ යටතේ ගත් කළ ලංකාවේ ගිත කලාවට මළපොතේ කතාන්දරයද එක් වී ඇත.රචනාවට, නවකතාවට කෙටි කතාවටද විවිධ වු නිරිමාණවලටද මේ මළ පොත එක ඇත. නමුත් මළ පොත අලුතෙන් ලියන්නට අවශ්‍යම වු කතාන්දරයකි.මැරෙන්නේ නැතිසේ කටයුතු කරන පිරිසට මළ පොත කියවන්නට හැකි නම් අගනේ ය.මෙහිදී මළ පොතේ කතාන්දරයට දිගු ඉතිහාසයක් තිබේ.මෙයට,මළ පොතට  පළපත,මළ පත්‍රය ආදි වශයෙන්ද නම් කළ හැකිය.

මළ පොතේ අකුර පිළිබඳව කතා කරද්දී මළ නොවු කතාවක් ඇත.ගමක හෝ නගරයක එදා ඈත අතීතයේ ගම්වල ජනතාව අකුරු ඉගෙනීම සිදු කලේ ඉතා සුළු පිරිසකි. මේ නිසා මළ ගෙයක් වු විට යම් සන්නිවේදන භාෂාවක් මගින් අකුරු කියවන්නට නොහැකි අයකුට පවා මළ ගෙයක් යන්න සන්නිවේදනය කරන්නේ මළ අකුර නැමැති සංඛේතය මගිනි. මෙහි දී මේ සංඛේතය දුටු විගස මළ ගෙයක් තිබෙන බැව් අකුරු ශාස්තරය නොදන්නා වු අයකුට පහසුවෙන් හැදින ගත හැකිය. නැතිනම් අවබෝධ කරගත හැකිය.

අකුරු කියවීමට නොදත් අයද මළපොත කියවති යන කතාන්දරයක් ද ජනසමාජයේ ඇත.අපේ ආදී මුතුන් මිත්තෝ සරල ආකාරයට සිදු කරපු සන්නිවේදන ක්‍රම අතර මේ මළපොතේ අකුරේ සන්නිවේදන ක්‍රමයත් ප්‍රචලිතව තිබේ.

අපිට දැනෙන ආකාරයට නම් ඉ යන්න තමා මළ පොතෙ අකුර කියා සමහරු කියති. මළපොතේ අකුර නොදන්නා වු පිරිස් සමාජයේ සිටිති. ආදි කාලයේ දෙමාපියෝ පවසන්නේ මළපොතේ අකුර ඉගෙනගත්තම ඇති කියලාය.මේ මගින් අදහස් වන්නේ යාන්තම් විදුලි පුවතක් හෝ ලිපියක් හෝ යාන්තමට කියවාගත හැකි නම් ඒ ඇතිය යන්න සරළව හඳුන්වා දිය හැකිය.

කෙනෙකු මළ බව තවත් අයෙකුට දන්වා යවන ලියවිල්ල මළ පත්‍රය වේ.ආදි කාලයේ මේ සංඥාව තල්පත්වල ලියා යාවා ඇති බව සඳහන් කළ හැකිය.මෙහි දී මරණයක් සිදු වු විට යම් සංඥාවකින් මෙය ඉතා ඉක්මනින් සංනිවේදනය කිරිම මෙහි අරමුණ විය.මෙම ලියවිල්ල හා සංඛේතය දුටුවිට ලියවිල්ල කියවන්නේ නැතුව සංඛේතය දුට විට කතාන්දරය මනාව වැටහේ.මෙහි දී මළ පොතේ පිටිතින් වු සලකුණ මළකුර විය.මළපොත අකුර විය.පැරැන්නන් මළ පොතේ අකුර සඳහා යෙදුවේ අක්ෂරයකි. (එම අක්ෂරය මෙහි දැක් වේ.)

මේ කොරොනා කාලයේ වෙනදා තිබු මළ ගෙවල්වල සිදු වු චාරිත්‍ර වාරිත්‍ර සීමා වි තිබේ. මළකුර කුරුවී තිබේ.නමුත් සමහර ඇත්තන්ටද කොරොනා නිතී වලංගු නොවන බැව්ද සමාජයේ අද කතාකාවක් හැටගෙන ඇත. විශේෂයෙන්ම සමාජ වෙබ් ජාලා මගින් මේ සම්බන්ධයෙන් කතා කරන පිරිස් වැඩිය.

ඉපදුන හැම කෙනෙක්ම මැරෙන බැව් අපි දනිමු.නමුත් සමහරුනම් නොමැරෙන ආකාරයට කටයුතු කරන සෙයක් දැකිය හැකිය.සියල්ලම දමා යන මරණය මරණයට ඇඳුම් මහන විටද සාක්කුවක් දමන්නේ නැත්තේ මේ නිසාය. දමාගෙන යන්නට රැගෙන යන්නට කිසිත් නැති නිසාය.මරණයට ද රුපියල් ලක්ෂ ගණන් මුදල් වැය කර රූපලාව්‍ය ශිල්පීන් යොදවා මළ මිනිය ලස්සනට  නිමවන්නේ මළ මිනිහා නොමළ මිනිසුන් අන්ඳවන්නට දැයි සිතේ.

අපි අතර සිටින හුඟ දෙනෙක් මැරෙන්නේ නෑ වාගේ ජීවත් වේ. මරණය ගැන අපිට කතා කරන්න අයිතියක් නැත.මොකද තාමත් ඒ අත්දැකීම අපිට නොමැති නිසාය.

මළ ගෙදර පාළුව තනිකම නිමා කරන්නට මළ පොත කියවන අතරේ ඔබත් මියයන බැව් සිතා අපි අලුතෙන් ලියන මළ පොත කියවන්නේ නම් අගනේ ය.අපේ රටේ අපිටම ආවේණික වෙච්ච අවමංගල්‍ය සිරිත් විරිත් තිබේ.ඒ වා මළ පොතේ සටහන් කළ යුතුව ඇත. ඒ අතර මළපත්‍රය මළ කුර, මළ පොතද වැදගත් වනු ඇත.  මියගිය පුද්ගලයෙක්ව ආදාහනය කිරීම,භූමදානය කිරීම සිදු කරයි.මෙහි දී දේහය චිතකයට හෝ ආදාහනාගාරයට හෝ සොහොන් පොළට ගෙන යන විට වැලි පොරි,කාසි ඉසිති.පාවාඩ දමති. උතුම් වු ගරු සැලකිළි දක්වති.මළ ගෙදරක ජනෙල් දොරවල් විවෘතව තබයි.මළගෙදරක මිණිය තනි නොකරති.මළ බත උයාගෙන කති.

මළ පත ගැන කතා කිරීමේ දී සිංහල අපේ අවමඟුල් සිරිත් විරිත් වල දැකිය හැකි විය.සත්තකින්ම අද අපේ සමාජයේ කෙනෙක් මියගිය විට අවමංගල දැන්වීමක් පුවත්පතක පළ කරන අවස්ථාද තිබේ.නැත්තම් ඒ පුද්ගලයගේ ඡායාරූපයක් එක්ක දැන්වීමක් මුළු ගමපුරා නගරේ පුරා අදටද අලවයි. ඒ වගේම ස්පීකර් ( ශබ්ද විකාශන යන්ත්‍රයක්) වාහනයක  බැඳගෙන ඒ මරණේ ගැන කිය කියා ගම පුරා නගරය පුරා යන අවස්ථා අදටද දැකිය හැකිය.මරණයේ ආරංචිය දෙනු ලබාදෙන්නේ අලුත්ම ක්‍රමයකටයි.ඒ ජංගම දුරකතනය මගිනි.

සත්තකින්ම ඈත අතීතයේ ගම්වල මරණයක් වුනාම ඒ දේ අනිත් අයට කියන්න ගෙදරින් ගෙදරට මළපත  කියලා හඳුන්වපු තල්පතක් යවා තිබේ.කෙනෙක් මියගියාට පස්සේ ඒ ගැන තවත් කෙනෙක්ට කියන්න අපේ පැරැන්නො ටිකක් අකමැති වෙලා තිබෙන නිසා මේ ආකාරයට සිදු කළාය කියා කියවේ. මේ නිසා විශේෂ සංකේත අක්ෂරයක් ඇඳපු මළපත එක්ක බුලත් කොළයක් අරගෙන ගිහින් මරණය ගැන පුවත් දැන්වීම සිදුකර තිබේ.එදා වගේම අදටත් මළ ගෙයක සංකේතය සුදු කොඩිය (ගිහි/පැවිදි වූ විට වෙනස්ය.) වෙද්දි මරණයක් ගැන දැනුම් දීපු අනිත් සන්නිවේදන මාධ්‍ය වුයේ  විශේෂ සංකේත අක්ෂරයක් ඇඳපු මළපත එක්ක බුලත් කොළයක් අරගෙන ගිහින් මරණය ගැන පුවත් දැන්වීම සිදුකර තිබේ.එදා වගේම අදටත් මළ ගෙයක සංකේතය සුදු කොඩිය වෙද්දි මරණයක් ගැන දැනුම් දීපු අනිත් සන්නිවේදන මාධ්‍ය වුනේ මළ බෙරේ වයන බවද අපි දනිමු.මළ බෙරය අතීතයේ පටහ බෙරය කියලත් අඳුන්වා ඇත.

අපේ රටේ අඟහරුවාදා,සිකුරාදා වගෙම පෝය දවස් වල අදාහන භූමදාන කටයුතු සිද්ධ වෙන්නේ නැත.නමුත් මෙය අදවන විට වෙනස් වී ඇත.කොරොනා අස්සේ මළ ගෙදර කටයුතුද කරන්නට සිදුව ඇත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි.අවමංගල සිරිත අපේ රටට ලැබී තියෙන්නේ ඉන්දියාවෙන් විය හැකිය.හින්දු ආගමික සිරිත්වලින් විය හැකිය.මරණයක් ආරංචි වුනාට පස්සේ දුරබැහැර ඉඳලා එන්න සෑහෙන කලක් ගත වුනා දුරබැහැර ජීවත්වෙන ඥාතීන්ට මියගිය පුද්ගලයා දැකබලාගෙන මිනියට ගෞරව කිරීමේ අවස්ථාව සලස්සන්න තමයි දින ගණනාවක් මිනිය ගෙදර තියා ගත්තේ ඒ නිසාය. (අද නම් කොරෝනා නිසා මෙය වෙනස් ව තිබේ.) අවමංගල සිරිත් ආදි කාලයේ සිටි පැවැත එන ක්‍රමවේදයකි.

සමහරුන්ට නම් මරණයක් වු විට සතියක් තියා ගන්නා අවස්ථාද ඇත. ඒ සූදු කෙළින්නටය.මරණයක් කල් තබාගන්නා විට සිදු වන්නේ කුමක්ද? එක් අතකින් පරිසරයට විෂ එක්වේ. ගෙදර වියදමද අධිකය.මේ විෂබීජ කියලා අද අපි හැඳින්නුව ඒකට අපේ පැරැන්නෝ කිව්වේ කිල්ල කියාය. ඒ මරණ කිල්ලයි.

මේ විෂබීජ නිසා පොල්තෙල් පහනක් දැල්වීම සිදු කරන්නේ මේයට විෂබීජ සමහන කරන නිසාය.ඉස්සර වගේම අදටත් නිවසේ සිට අවසන් කටයුතු සිද්ධ වෙන තැන දක්වා ගමන් මාර්ගය සැරසීම සිද්ධ කරති. තොරණ ද බඳිති.බෙර වාදනය ද සිදු කරන්නේ ආදාහනය කරන දින‍යේ සවස් වරුවේ ය.අතීතයේ දී මේ සැරසීම සිද්ධ වුනේ ගොක්කොළ වගේ ස්වාභාවික දේවල් වලිනි.අද සැරසීම සිද්ධ වෙන්නේ තනිකරම පොලිතින් වලිනි.එය පරිසරයට හානියකි.මළ මිනිය ආදාහනය කිරීම, භූමදානය කිරීම,වෛද්‍ය පරික්ෂණ සඳහා භාර දීම සිදුකරති. වළ බඳනවා මෙයද විවිධ මට්ටමේ සමාජ තරාතිරම් අනුව සිදු කරයි. මෙයටද විශාල වියදමක් හා මහ පොළවේ ඉඩක් වැය වේ. හතර රියනේ මිහිදන් කිරීම සිදු කරන අවස්ථාද ඇත. මළ සොහොන් අදාළ මළ මිනිය වැළලු පසුව රාත්‍රියේ ඉටි පහන් පත්තු කරන්නේ බෝතල් දෙකක ආධාරයෙනි. එය හිස හා පය පාමුල දල්වනු දැකිය හැකිය.මල් වඩම් ද,මල් කලඹ,ශෝකාකාලපද,බැනර්ද,කවි කොළ ද එදාමෙන්ද අදටද ඉඳ හිට දැකිය හැකිය.සුදු කොඩියට අමතරව විශාල පාලම් කොඩිද මග දෙපස සවිකරන, අතර පැතිකොඩිද වේ. ශෝකය ප්‍රකාශකරන බැනරය ද අද අලුත් වි ඇත.එය මළ ගිය පුද්ගලයාගේ ඥාතින්ගේ සම්බන්ධතාවය(ලූව) මළ ගෙදරට එන ඇත්තන්ට පෙන්වන්ට සිදුකරන මායිම් දිගේ ප්‍රදර්ශනය කරන මායමකි.

ආදාහනය කරන මළ මිනියේ අළු මිනී අළු වේ. මේ මීනි අළු තමාගේ ඉඩමේ ආරක්ෂිතව තම්පත් කරන අවස්ථාද ඇත.අද කාලයේ මල් පෝචිචියක මෙය තැම්පත් කර ගෙදර මිඳුලේ තබන අවස්ථාද තිබේ.නැතිනම් ආදාහනය කරන ආදාහනාගාරයේම පොදු සුසානයේ  මේ මිනී අළු තැම්පත් කරති.

අවමංගල්‍ය පෙරහරක් ගිහින් ඉවර වෙද්දි ඒ යන මග දිගට වැලි පොරි ඉසිති.සමහර අවස්ථාවල ගී කියමින් වාදන භාණ්ඩ වයමින් කැවුම් කොකිස් කමින් සිදුකරන අවමගුල් පෙරහරවල්ද අප දැක ඇත.

සත්තකින්ම මඟට මේ ආකාරයට වැලි පොරි ඉසින්නේ ඇයි. ඉස්සර අද කාලේ වගේ පාරවල් තිබුනේ නෑ. මරණයක් සිද්ධ වුනාට පස්සේ පුළුවන් තරම් ගමෙන් ඈත කෑලේට ගිහින් වළදාල එන එක තමයි සිද්ධ වුනේ. ඉතින් කෑලෙට ඇතුලට ඇතුලට යද්දී ආපිට එන පාර මතක් කරගන්නයි මේ විදියට වැලි ඉහින්න අපේ පැරැන්නෝ පුරුදුව සිටියේ ය.මෙහි දී බෙර වයන්නේ ඇයි එකල මේ කැළයේ දමා එන මිනි කෑමට සතුන් පැමිණෙති.ඒ සතුන් පලවා හරින්න මේ ආකාරයට ශබ්දය නංවා බෙර වාදනය කර තිබෙන බව කියති.

මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කරන්න කලින් දෙන කර තියගත්ත පිරිස වල වටේ හරි චිතකය වටේ හරි තුන් වරක් ගමන් කරති.මියගිය පුද්ගලයාගේ ආත්මය ආපිට එන මග නවත්තලා මංමුළා කරන්න මෙසේ සිදුකරන බව සමාජයේ මතයක් තිබේ.නමුත් සමරු මැරුනත් එනවාය කියා කතාන්දරයක් සමාජයේ පවතී.

මළ ගෙදරක තියෙන පින්තූර අනිත් පැත්ත හැරවීම,ගෙදර තියෙන බුලත් තට්ටුවේ බුලත් තැම්පත් කරන්නේ කණපිටටය.අද මිනිය ආදාහන භූමිදාන කලාට ඒ කාලේ මිය කැලේ ගැසීම යනුවෙන් හඳුන්වා ඇත.මේ විදියට මිනිය කෑලේ ගහන්න ගියපු අයගේ වෙහෙසට කැඳක් පිළියෙල කරලා දීලා තිබේ. විශේෂයෙන්ම මේ මීනි වළ කෑපු අයට දෙන කැඳක් මේක මතක කැඳ කියලා හඳුන්වා දී ඇත.අනිත් අයට මිරිස් හොද්දක් එක්ක බත් දීලා තිබෙන බවඳ සඳහන්ය.පසුව,මේක වෙනස් වෙලා වට්ටක්කා එක්ක කරවල දෙන්න පටන් අරන් තිබේ.මේකට කියන්නේ මළ බත කනවා යනුවෙනි.සමහර අය මේකට පරාණ බත යැයිද කියති.සමහර පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු ජනතාව මරනයට පත්කර මළ බත හවුලේ කන අවස්ථාද දැකිය හැකිය.දැන් මළ ගෙදරක කෑම මගුල් ගෙදරක කෑමට සමානවේ.

මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කරන්න කලින් සිද්ධ කරන ආගමික වතාවත් කීපයක් ඇත.පැන්වැඩීම,මතක වස්ත්‍ර පූජා සිරිත් විරිත් ප්‍රදානවේ.මතක වස්ත්‍රය විදියට සලකන්නේ සුදු රෙදි යාර 16 කි. මෙය පළාතෙන් පළාතට වෙනස් ය.මෙහි දී පූජා කරන රෙදිකඩ පාංශුකූල සිවුර විදියට අපේ බුද්ධ කාලීන භික්ෂුන් වහන්සේලා භාවිතා කර තිබේ. ඉස්සර ඒ භික්ෂූන් වහන්සේලා සිවුරු පිළියෙල කරගෙන තිබුණේ අමු සොහොනේ තිබුණ රෙදි අරගෙන ගිහින් පඬුපොවලා භාවිතයට ගෙන ඇත. මේ සිවුර පවුල සිවුර ලෙසද නම් කර ඇත.සොහොන් රෙදිකඩ යැයි ද කියති.

ආගම්,ඇදහිලි,විශ්වාස,ජාතිය,රට,ගම, ප්‍රදේශය පෙර සදහන් කළ පරිදි විවිධත්වය සිදුවී ඇත. වැව් බැඳි අඩවිය පුරා පවතින අවමඟුල් චාරිත්‍රවල බොහොමයක් අංග සමානකම් දක්වයි. ප්‍රධාන වශයෙන් පුරාණයේ මිය ගිය අය (මළකඳ) කැලේ ගසා ඇත. අනතුරුව භූමදානය හා දෙනක තබා ආදාහනය සිදු විය. වැඩිහිටියන් සිටින විට ඒ පවුලේ ම බාලයන් ආදාහනය කළේ නැත. මේ සියල්ල සොහොන් කිරීම,කැලේ ගැහීම ලෙස දැක්විය.මරණ කිල්ල කිල්ල අතරින් මනුෂ්‍යයන් බිය පත් වූවේ මරණ කිල්ලට ය. මළ කදෙන් හුනියන් කිරීම,මහසොහොන් පිල්ලිය,තුන් කුළුඳුල් බිලිදීම,සොහොන් අළුපාලුව ආදී නොයෙක් අකටයුතු සිදුවීම් ඊට හේතු විය. භික්ෂූන් වහන්සේලා භූමදාන කළේ ම නැත. පවුලේ ප්‍රධානීන්,ස්ත්‍රී පුරුෂ බේදයක් නැතිව ආදාහන කළහ. ගරු සරු අවමඟුල ආදාහනයයි. භික්ෂූන් වහන්සේ ද ඊට අයත් වූහ.

අවමඟුල් සිරිත් ඇරඹෙන්නේ මරණා සන්න වන විටදී ම ය. ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ වැඩමවා කෙටි දහම් අනුශාසනාවක් කර සිවුරු පිරිකර අත ගසා පූජා කරයි. ජීවදාන දීම අසනීප පුරණ විටම කරන සිරිතකි. කෙනෙකු මියැදෙන මොහොතේ පණ අදින විට කවුරු හෝ කෙනකු පණ යෑම පහසුවට වතුර (දොඩම් යුෂ,තැඹිලි) උගුරක් පොවයි. මෙය කට දිය ලෑමේ චාරිත්‍රයයි.

මළ මිනියේ දෑස් අතින් වසා කට නෑරෙන සේ සුදු රෙදි කඩකින් තල්ල හිස් මුදුනට හිරවන සේ බඳියි.මළ කඳ ඇඳක,ගුදිරියක බස්නාහිරට හිස සිටින සේ තබයි. ඉහානේ සහ පයානේ ගෙදරින් දේහය පිට කරන තුරුම පහන් දල්වයි. ඇතැම් අය ඉන්පසු ද මළ කද තිබූ තැන දවසක් ම පහන් තබයි.මෙය විෂබීජ හරණා ක්‍රියාවකි. මිනියගෙයි ඇති විට ගෙදර දොර ජනෙල් දිවා රාත්‍රී දෙකේ ම හැර තබයි. මෙය ද මිනිය ගෙන ගිය පසු දින හතක් වන තුරුම තබයි.

අපේ පුරාණ ගම්වල මිනිය කාමරයකට දමා හැට පැයක් දොර වසා තැබූ බව කියැවේ. ඒ යක්කුන්ට අවශ්‍ය දේ කරන්ට බාර දීමකි. ඒ කාලය තුළ මිනිය බලන්ට පැමිණි ඥාතීන් දොරකඩ ඉඳ හඬා වැලපී ගිය බව ද කියැ වේ. මළ කඳ නාවා පිරිසුදු කිරීම,අලුත් ඇදුම් ඇන්ඳ වීම ඉස්සීම,පෙරළීම ආදී සියලු කටයුතු පැවරුණේ ඇවැස්ස බෑණාවරුන්ටයි. අද ඒ සියලුලම සිදු කරන්නේ මල් ශාලාවේ ශිල්පීන්ය.

මළ කඳ ගෙදර තිබුණේ දිනක් හෝ දෙකකි. කල්තබා ගැනීමට බෙහෙත්,ගොරක ලුණු පෙකනියට තියා බැන්ද කතා ද අසා ඇත. මරණය දැනුම් දෙන්නට හතර වරිගය වෙත පණිවිඩ යැව්වේ දෙදෙනකු අතේ ය. ඒ මහ සෝනා අවහිර කරන නිසා යැයි කියවුණි.

අවසන් අවමංගල කටයුතු හැකි ඉක්මනින් නිම කළේ ය.නැකැත් අනුව මළ සිරුරේ කටයුතු කරන අවස්ථා ද ඇත.නක්ෂත්‍රයේ එන ප්‍රශ්කර යෝගය ඒ දෙදිනට ඇති වුවහොත් මළබත ආජීර්ණවී තුන,හත,නවය යන මරණ නවයක් ම සිදුවන බව කියයි. හින්දු පූජකයන් ඉන්දියාවේ ගංගාවලින් ස්නානය කළේ මේ දවස් දෙකේදී ය. ඒ නිසා එකල මළ මිනී ගංගාවලට ඒ දිනවල දැමීම තහනම් වූ බවක් ද කියැවේ. අවසන් දින චාරිත්‍ර රාශියක් ම සිදු වෙයි. මුළු කාලය තුළම කෝපි,දුම්මල ආදී සුවඳ දුම් දල්වති. ඉසති.

මළකඳ තිබූ තැන,පණවන ආසනවලට නැවුම් පිළී දැම්මේ ය. මළමිනිය ඇති ස්ථානය වියන් බඳී. අදනම් ගෙදර සිවිලිම නිසා මෙය සිදු නොකරති.ඇතැම් අය මිනිය ගෙයින් එළියට ගත් විගස කහ දියර කොහොඹ ඉස්ම මිශ්‍ර කර ගෙයි සෑම තැනටම ඉසමින් කිළි අරවයි. පිරිසුදු කරයි. මේ අයුරින් ම සමහරු මළ විටම වතුර කළ තුනකින් නාවා හදුන් කිරි පැණියෙන් මුව දොවා සහල් ඇට කීපයක් කටට දමා, බුලත් විටක් ස්වල්පයක් ඉණේ රදවා තබයි.මෙය අද විවිධ පළාත්වල විවිධාකාරයෙන් සිදු කරති.

බොහෝ ගෙවල්වල මළමිනිය රැගෙන ගිය අය ආපසු එන්නේ වැවටයි. වැවෙන් නාගන්නා විට ඇඳ සිටි සියලු ඇඳුම් සෝදයි. වෙනත් පිරිසක් ඒ අයගේ අලුත් ඇඳුම් වැවට ගෙනියයි. ඒවා ඇඳගෙන ඔවුන් මළ ගෙදරට පැමිණි විට සියල්ලන්ටම ගෙදර ඇත්තන් පිළියෙල කල මළබත භුක්ති විඳීමට දෙයි.අද නම් දුකට බොනවා කියමින් සමහරු පදමට සුරාවෙන් සප්පායම් වේ.

ඇතැම් අය මළ කඳ තිබූ තැන ළිප් බැඳ මළ බතක් උයා තට්ටුවකට බෙදා ගෙවත්තෙන් පිට තබයි. මෙය මිය උපන් යක්කු පිදීමේ සිරිතක් ම විය හැක. හැමට දෙන මළ බත දානයකි. මළගම දැනුම් දුන්නාට පසු නෑ හිත මිතුරන් සියලු දෙනාට තේ පැන් සංග්‍රහයන්ට හා ආහාර පානදීමට අවශ්‍ය සියලු දේ රැගෙන පැමිණෙයි. පසුව ඒවා උයා පිහා සියලු දෙනට සංග්‍රහ කරති.

මළ කඳ රැකීමට බය නැති අය එක් වේ.මළ ගෙදර පාළු කරන්නේ නැත.තෙමසක් වන තුරුද ගෙදර රැකගති. ඉතා ශෝකාකූල ස්වරයෙකින් වෙස්සන්තර ජාතකය,සෝදරාවත රෑ එළිවන තුරු ගායනා කළහ.දැන්නම් එහෙම සිදුකරන අවස්ථා ඇත්තටම නැත.

හත්දවස,තුන්මස, සාංඝික දන්දීමක් ද සිදු වෙයි. සොහොන් පලට යන හැමදෙනා ම පස් කැටයක්වත් වලට දමා ගෞරව දක්වයි. දේහය දර සෑයට (දෙනට) ඇතුළු කිරීමට පෙර කරමත තබාගත් පවුලේ ළඟම ඥාතීන්, සෑය (දෙන) වටා රවුම් තුනක් ද කුණු පසට ගමන් කරති.

ඇතැම් තැනක දේහය සෑයේ (දෙනේ) තැබීමෙන් පසු පේළියට ඥාතීන් හා හිතවතුන් පා ගමනින් පැඳකුණු කරති. මෙය බොහෝ නිවැරදි බව ගරු සරු දක්වන (ආගමික වස්තු පුද්ගලයන්ට) දක්ෂිණවෘත සිදුකරන ආචාරය අනුව තහවුරු වෙයි. අවසන් ආගමික වතාවලදි බෞද්ධයන් අනිච්චාවත සංඛාරා යනාදී අනිත්‍යවූ ධර්‍මානුශාසනා පවත්වති. ගිහි අය ද ගුණානුස්මරණ කථා පවත්වයි. කවි ගායනා හා ශෝක ප්‍රකාශ කිරීම හා මුද්‍රිතයන් බෙදීම ද සිදුවෙයි.කවියෙන් කළ ශෝකාලාප කටපාඩමින් ගායනා වී ඇති අතිතයක්ද අපට තිබිණි.

පාංශකූල පිංකම් පුරුද්ද ඇති වීමට පෙර මළ කඳ පඳුරක ඔතා තුන්පැළකින් බැඳ කැති, උදුලු, පොරෝ ගේ මැදින් ඉදිරි දොර කඩින් පිට විය. එයින් පසු මිනිය කර ගහගෙන ආවේ ය. දරමිටිය තුන් පළෙන් බැඳීමත් ඇතුළු ගෙයින් අවි ආයුධ ඉදිරි දොරෙන් ගෙන පිටවීමටත්,තහංචි වැටුණේ ද මේ හේතුවෙන් ය. ඇවැස්ස බෑණලා,ගිනි මූහු කළේ පසු පසටයි. මිනිය තිබූ දොරේ සිට මිදුල දක්වා පිඳුරු වෙනියක් අඹරා එල්ලුවේ දැනුම් දීමක් ලෙස ය. ගොන් අත්තකින් ඉදිකඩ අහුරා අඩ කවයට ආරුක්කූක්වක් නැමීම ද දැනුම් දීමකි.

අපේ පුරාණ ගම්වල අවමඟුල් සිරිත් තුළ,කෘතවේදී බව,එකමුතුව,බුහුමන් දැක්වීම, අනොන්‍යාධාර කර ගැනීම,තනි රැක්ම,සසර ගමනාබෝධය වැනි උතුම් ගුණාංගවලින් පොහොස් විය. අද මළ ගමේ බුලත් තට්ටුවේ ගිරය අඟුලු දමා හිර කර ගන්නා තරමට පිරිහීම දික්වී ඇත. දාම්ලෑල්ල,කැරම් පුවරුව ඉක්මවා සූදු කෙළීම මධුවිත ආදිය පෙරට පැමිණ ඇත. අප මෙසේ ඇදෙන්නේ අපේ අනන්‍යතාවයේ මළගමට දැයි සිතා බැලීම පරම යුතුකමක් ව දකිමි.සමහර අවමගුල් මගුල් කන ආකාරයට සිදුකරන අවස්ථාද ඇත.

මේ අනුව මළ පොතේ අකුර දන්නා මළ පත නොහොත් මළ පොත නැවත ලියන්නට මළ පොතේ අකුරු බෑ කී මිනිසාටම පවරන්නට කාලය එළබ ඇත.කුළියට මළ ගෙදර ඇඩීම ද මළ පොත ලියන විට අද එක් කළ යුතුව ඇත.  මරණය මරාගෙන කන යුගයක්, මෙය විවිධ සමාජ,දේශපාලන,ආගමික ආදි වාසි ලබා ගන්නට ද මරණය අද යොදාගෙන ගෙන ඇත. ගිහි පැවිදි දේසුම් වල දී පවුලේ පැටිගිරිය කියා යම් සමාජ ගරුත්වයක් ගන්නටද මළ ගෙදර මගුල් ගෙදරක් මෙන් ගන්නා අවස්ථාද නැතුවා නැතුවා නොවේ.මේ නිසා මළ පොත අලුතින් ලියන්නට අවුශ්‍ය වන්නේ මේ නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *