මම ධීවර ඇමැතිකම බලාපොරොත්තු වෙනවා.– නිමල් ලාන්සා

මම ධීවර ඇමැතිකම බලාපොරොත්තු වෙනවා.
— නිමල් ලාන්සා

ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබෙනවා. මටත් සමහර විට ලැබෙයි. එහෙම දෙනවා නම් මම ඉල්ලා ගන්නේ ධීවර ඇමැතිකමයි. ඒ හරහා මම ඉපදුන මීගමුවේ ධීවර හා සංචාරක කටයුතු ඉහලම තලයකට ගෙන්න කටයුතු කරනවා. ඔබේ ජීවිතය වඩා යහපත් තැනකට ඔසවා තබන්නට මම අනිවාර්යයෙන්ම කටයුතු කරනවා යයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ධූරාපේක්ෂක නිමල් ලාන්සා මහතා මීගමුව ඒත්තුකාලේ පැවැති ජනහමුවකදී සඳහන් කළේය.  

එම රැස්වීමට සහභාගී ව සිටී ධීවර ජනතාව ඇතුළු තම ආධාරකරුවන් අමතමින් ලාන්සා මහතා මෙසේ ද කියා සිටියේය.

පසුගිය අවුරුදු 5 ක කාලය තුළ මම නියෝජනය කළේ විපක්ෂයයි. පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මීගමුවෙන් වැඩි ඡන්ද 30000 කින් දිනුවා. මමත් තරග කළ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තිස් දාහකින් දිනුවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය ලැබුවා. මෙවර පැවති ජනාධිපතිවරණයේදී මුළු ලංකාවම ගෝඨාභය මහත්තයා ජය ගනිද්දී මීගමුවේ අපි ඡන්ද දොලොස් දාහකින් පරාජය වුණා. ඔබ අපට එක ඡන්දයක් දීල එක්සත් ජාතික පක්ෂයට ඡන්ද තුනක් දීලා තියෙනවා.

ඉතින් මම විපක්ෂයේ හිටපු නිසා පහුගිය අවුරුදු පහක කාලයේ වැඩක් කරන්න බැරි වුණා. ඊට ඉස්සෙල්ලත් අවුරුදු දෙකක් විතර මාත් සරත් ගුණරත්න මහත්තයත් අතර තිබුණු පුද්ගලික ප්‍රශ්නයක් නිසා මීගමුවට වැඩක් කරන්න බැරි වුණා. ඒ දවස්වල ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මට කියන්නේ, මෙහෙ වැඩ කළොත් සරත් මහත්තයා කතා කරනවා, ඒ නිසා ඔයා පිට පලාත් වලට ගිහිල්ලා වැඩ කරන්න කියලයි.  ඒ අනුව මම අම්පාර දිස්ත්‍රික්කයට, ත්‍රිකුණාමලයට, වයඹට, කෑගල්ලට, රත්නපුරයට හෝ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව හැර අනිත් තැන් වලට ගිහිල්ලා පාරවල් හදන්න පටන් ගත්තා. ඒ විදියට ලංකාවේ පාරවල් කිලෝමීටර් 6000 කට වඩා මම හදලා තියෙනවා. ඉතින් ඔය විදියට පහුගිය අවුරුදු හතක් තිස්සේ ම මට මීගමුවේ සංවර්ධන වැඩක් කරන්න බැරි වුණා. වැඩක් කළා නම් කළේ ඊට අවුරුදු හතකට ඉස්සරින්.

එක්සත් ජාතික පක්ෂයට අවුරුදු පනස් හයක් තිස්සේ කරන්න බැරි වුණු වැඩ ටික මම මීගමුවට කරල තියෙනවා. මම නොකරපු වෙන කවුරු හරි කරපු වැඩක් තියෙනවා නම් කියන්න. ඉස්සර පුංචි වැස්සක් වැස්සත් මීගමුව සම්පූර්ණයෙන් යට වෙනවා.  අපි ඒක වෙනස් කළා. ඉස්සර අර හෝටල් පාරේ යන්න පුලුවන්ද? අපි ඒකත් සංවර්ධනය කළා. ඊට පස්සෙයි ඒ පාරේ ඉඩම් මිල ඉහළ ගියේ. එහෙම වටිනාකම වැඩි කලේ මමයි.   ඕනෑම තැනක යටිතල පහසුකම් දියුණු වුණොත් තමයි ඒ වෙනස සිදුවෙන්නේ. ආයෝජකයන් එන්නේ. ඉඩකඩම් වල මිල මිල ඉහල යන්නේ.

ඔබ රංජන් රාමනායකට ඡන්ද 25,000 දීලා මට දුන්නේ 10000 යි. ඒ වුනාට රන්ජන් රාමනායකලා මීගමුවට කරපු දෙයක් තියෙනව නම් පෙන්වන්න. මීගමුවෙන් ඉල්ලන කෙනෙකුට මීගමුවේ ඡන්ද වලින් විතරක් ජයග්‍රහණය කරන්න බෑ. එක්සත් ජාතික පාක්ෂිකයෝ තමයි මෙහෙ වැඩි. ඒ නිසා වත්තල හා කටාන ඡන්ද වලින් තමයි මම දිනන්නේ. මම නොඉල්ලපු හැම වතාවකම පක්ෂය පැරදුනා.

මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල වශයෙන් පොදු ජන පෙරමුණ හා එක්⁣වෙමින් පවතිනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අවුරුදු සතුටක් අස්සෙ මීගමුව ගොඩනගන්නට. පෞද්ගලික දේවල්වලට වඩා ඔබ අපේක්ෂා කරන්නේ පළාතේ දියුණුව බව මම දන්නවා. පළාත දියුණු වුණොත් තමයි ආයෝජකයන් එන්නේ. රැකියා ලැබෙන්නේ. මුදල් සංසරණය වෙන්නේ.

ගෝඨාභය ජනාධිපතිතුමා මට මීගමුවේ සංවර්ධන කමිටුවේ සභාපතිත්වය දීලා තියෙනවා. ඒ තුළ මම මීගමුව ගොඩනගනවා. මීගමුවේ තියෙන සියලු පුශ්ණ දන්නෙත් මම. මීගමුවෙන් ඡන්ද අරන් ගිය අය දන්නේ නෑ මීගමුවේ තියෙන පුශ්ණ. ඡන්දෙ මට නොදුන්නට ප්‍රශ්නයක් ආවාම බනින්නෙත් මට.

මීගමුව සංවර්ධනය කරන්නට ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 2000 ක් ලැබිලා තිබෙනවා. එ්කෙන් මිලියන 650 ක් වැය කරලා කඩොල්කැලේට අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදි කරනවා. කොටුව ක්‍රීඩාංගණයත් වැඩි දියුණු කරනවා. මිලියන 350 ක් වැය කරලා මාළු වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණය කරනවා. කාමච්චෝඩයට සාප්පු සංකීර්ණයක් සහ මහල් නිවාස සංකීර්ණයක් ඉදි කරනවා. ගංවතුරට යටවන කට්ටුව දෙ පැලට තිරසාර විසඳුමක් ලබා දෙනවා. දළුපත හැමිල්ටන් ඇලට වැටෙන අනිත් ඇලවල් තුනත් ප්‍රතිසංස්කරණය කරනවා. කිලෝ මීටර 40 ක මාර්ග ප්‍රතිසංස්කරණය කරන්නට තියෙනවා.  මුහුදු මට්ටමට පහතින් පිහිටා තිබෙන නිසා මිගමුවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මළ හා අප ජලය අපවහනය පිළිබද ගැටළුව. මිලියන 20,000 ක මුදලක් වැය කරමින් ඊට විසඳුමක් දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. දකුණු ආසියාවේ විශාලතම සාප්පු සංකීර්ණයත්, මහල් නිවාස සංකීර්ණයකුත් අපි ඉදි කරන්නට බලාපොරොත්තු වෙනවා. සංචාරකයන් උදෙසා ගෝකාට් සහ කේබල් කාර් පද්ධතියකුත් අපි නිර්මාණය කරනවා. කොච්චිකඩේට සාප්පු සංකීර්ණයකුත් අපි හදනවා. මේ වගේ තවත් ව්‍යාපෘති රැසක් දියත් කරන්නට තිබෙනවා.

පිටින් එන අය මොන මොන දේවල් කිව්වත් එයාලට මීගමුවේ වැඩ කරන්න බෑ. එයාලගේ ආසන වල තියෙන ප්‍රශ්න ටිකවත් විසදන්නේ නැතුව එයාලා කොහොමද මිගමුවේ ප්‍රශ්න විසදන්නේ?

ධීවර ජනතාවට මගේ විශාල ගෞරවයක් තියනවා. මමත් ධීවර පියෙකු ගේ පුතෙක්. ඒ වගේම දෙමළ මුස්ලිම් අය සමග මට දෙමළ භාෂාවෙන් ව්‍යක්ත ලෙස කතා කරන්නත් පුළුවන්. ඒ නිසා ගිය වතාවේ මෙන් මේ වතාවේ රැවටෙන්න එපා. රැවටිලා පිටස්තරයන්ට ඡන්දෙ දෙන්නත් එපා. ඔබේ ගමේ ඉපදුනු, ඔබේ හිතවතා, ඥාතියා, මිත්‍රයා මමයි. ඔබ හදුනන්නෙත් මමයි. මට වඩා සුදුසු අපේක්ෂකයෙක් තවත් ඉන්නවද? ඒ නිසා මට මෙවර ඔබේ සම්පූර්ණ සහයෝගය ලැබේයයි දැඩි ලෙස විශ්වාස කරනවා.      

ReplyForward

Leave a Reply

Your email address will not be published. Required fields are marked *