විළිලැජ්ජාවේ බෙහෙත් තබා බෝදිලිමා පලවා හරින කෙම // ගවේෂණාත්මක සටහන

විළිලැජ්ජාවේ බෙහෙත් වලට බිය බෝදිලිමා පිළිබඳව කවුරුත් නොදන්නා වු කතාන්දරය අපට ඈත ගම්මානවල සිටින මිනිසුනගෙන් අසන්නට දැකින්නට ලැබිණි. ගෑනු හෙලුවට බය වෙන එකම අමනුස්සයා  බෝදිලිමා ලෙස නම් දරා ඇති නමුත් බෝදිලිමාට ලබාදෙන අමුතුම බෙහෙතක් නිසා ඒ බෙහෙත ගත් විගස බෝදිලිමා පලා යන්නේ අසුරු ගසන නිමේෂයකිනි.

උරග වර්ග අතරේගත් කළ බෝදිලිමා, හූනා,තලගොයා සහ කබරගොයා බෝදිලිමා හැඬීමේ පෙර නිමිත්ත නම් බෝදිලිමා පිට පිට දින හතක් හැඬීම වසංගත රෝග ඇති වීම යන්නයි. බෝදිලිමාගේ හඬ අසුබ නිමිත්තක් යැයි ගැමියෝ විශ්වාස කරති. ඒ වෙනුවෙන් ගොඩනැඟුනු ජනප්‍රවාද වන අතර මෙම විලාපය නැවැත්වීමට රෑ පැල් රකින ගොවියෝ සිදු කරන කෙම් ක්‍රමය මගින් තම වෘත්තිය කර ගෙන යාමට ශක්තියක් වෙයි.

මෙයින් වැළකීමට රෑ පැල් වල දී පමණක් එක්තරා රහස්‍ය කෙමක් කරනු ලැබේ. එනම් බෝදිලිමා කෑගසන මෙහොතේ ස්වයංමෝචනය කොට ශුක්‍ර ගොටුවකට ගෙන පසෙකින් තැබීමයි. විළිරුජාවට බෙහෙත් ලෙස සලකන බෝදිලිමා එය රැගෙන යන්නේ ය. එයින් පසුව උගේ විලාපය නවතින බවත් ගැමියා විශ්වාස කරයි.

සියුම් ලෙස කල්පනා කර බලන විට ගැමියාගේ මේ කෙම් ක්‍රමයේ මනෝ විද්‍යාත්මක පදනමක් ඇති බව දැකිය හැකිය. ඕනෑම පුද්ගලයෙකුට ස්වයංමෝචනය කළ හැක්කේ සිත ඒකාග්‍ර වූ විට පමණි. මෙම කෙමේ දී සිදුවන්නේ බෝදිලිමාගේ හඬ අමතක කරවීම සඳහා සිත වෙනත් අරමුණකට යොමු කර වීමයි. මේ නිසා රැය පහන් කර වීමටත් මනා පිටිවහලක් ලැබෙන්නේය.මෙහි දී බිය උපදවන නිමිත්තක් ලෙස ගැමියා බෝදිලිමාගේ හඬට අකමැත්තක් දැක්වීම සහ එම බිය දුරු කර ගෙන රෑ පැල් රැකීමට ගොවියාට මෙම කෙම ශක්තියක් වෙයි. එපමණක් නොව රැය පහන් වන තුරුම වන සතුන්ගෙන් හේනට සිදු වන හානි පිළිබඳව ද අවදියෙන්,අවබෝධයෙන් සිටීමට හැකියාව ලැබෙයි.

මේ අයුරින් ආකස්මිකව පහළ වූ මෙම නිමිති ක්‍රමය පුරාණ ශ්‍රී ලාංකේය ගැමියාගේ දෛනික කටයුතු වලට ප්‍රබල ලෙසම බලපෑමක් එල්ල කළ බැව් හඳුනා ගත හැකි ය.

පිරිමියාට වඩා අද සමාජයේ කාන්තාව සෑම අංශයකින්ම වාගේ ඉදරියට පැමිනි සිටිති. අතීත ලංකාවේ ගැමි සමාජයේ කාන්තාවට පිරිමියා ගෙතුළට කොට ඉදිරියට ඒමට අවස්ථාවක් හිමිවූයේ ඉතාම කලාතුරකිනි. එවන් සීමිත අවස්ථාවන්ගෙන් සුවිශේෂ වූ අවස්ථාවක්ද තිබිණි. එනම් රාත්‍රී කාලයට බෝදිලිමා නම් අමනුෂ්‍යයකු විසින් නිකුත් කරන බව පැවසෙන අද්භූත හඬ ශ්‍රවණය වීමත් සමඟය. බෝදිලිමා අමුතුම සතෙක් බව අදටද මිනිසුන් විස්වාස කරති.

කාන්තාවන්ට නෑසී පිරිමින්ට පමණක් ඇසෙන ලෙස බෝදිලිම් හඬින් පිරිමින්ගේ ලොමුදැහැ ගැන්වෙන බියක් ඇතිවන බවත් එවිට ඔවුන් නිවෙස් තුළ සැඟව ගන්නා බවත් කියනු ලැබේ. එවිට එම බෝදිලිම් අවතාරය පලවා හරිනු පිණිස එළිපහළියට බැසීමට සිදුවන්නේ එම නිවෙස්වල වෙසෙන කාන්තාවන්ටය.

බොහෝ නාගරිකයන් තුළ සේම ඇතැම් ගැමියන් තුළද සිනා උපදවන මෙම පුවත අසත්‍යයක් නොවන බවත් අනුරාධපුරයේ නුවරවැව,කලාවැව සහ පදවිය වැව මැදිකර ගත් නුවර කලාවිය ඇතුළු ප්‍රදේශ බොහෝමයක පිරිමින් හට කළුවර රැජාමේදී  තවමත් මෙම අද්භූත නාදය ඇසෙන බවත් ගැමියෝ පවසති.වන රොදවලින් හා කුඩා කැලෑ ලඳුකැලැ පාළු ස්ථානවල සිට මේ සත්වයා රැයේ දී හඩ තලයි.

සත්තකින්ම බෝදිලිමා හෙවත් බෝදිරිමා කටුසු වර්ගයට අයත් සතෙකි. Chameleleon Zeylanicus යන  විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බෝදිලිමා අප රටේ වියළි සහ ශූෂ්ක කලාපවල බහුලවත් පහතරට තෙත් කලාපයේ සාමාන්‍ය ලෙසත් දැක ගත හැක. තම ජීවිතය විලෝපිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිණිස පරිසරයට අනුකූල ලෙස ක්ෂණිකව තම ශරීර වර්ණය වෙනස් කර ගැනීමේ විස්මිත හැකියාවක් මෙම සත්ත්වයා සතුව පවති. බෝදිලිමා සම්බන්ධයෙන් අපුරු ගැමි කියමනක් තිබේ.මේ අනුව, තම අදහස් සහ ප්‍රතිපත්ති සැණින් වෙනස් කර ගන්නා මිනිසන් හැඳින්වීමේදී ද සමහරු ඔය මිනිහා බෝදිලිමා වගේ නේ යන උපහැරණය යොදනු කියනු ඇත. අද කාලයේ අපේ රටේ දේශපාලන මැති ඇමතියෝද බෝදිලිමාවෝ නොවන්නේ දැයි අපට ටිටක දී සිතිය හැකි නොවන්නේ ද ?.

බෝදිලිමා දිවා කාලයට කටුස්සකුගේ ස්වරූපයෙන් කල් ගෙවන බෝදිලිමා රාත්‍රියට එම අද්භූත හඬ නගනුයේ කිසියම් යක්ෂාවේෂයකිනි. එහෙත් සමහරු මේ සත්වයා පිළිබඳව පවසන්නේ බෝදිලිම් කටුස්සා කිසිදු හඬක් නිකුත් කළ නොහැකි නිහඬ සත්ත්වයකු වන අතර සැඳෑ ගොම්මනේ සිට පසුදා පහන්වන තුරු සිය ඉදිරිපස පාද දෙක කොට්ටයක් සේ තබා ගනිමින් රුක් කඳක්මතට වී සුව නින්දක පසුවන්නෙකි.

බෝදිලිම් කටුස්සන් සුලබ නොවන ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශයේ ද බෝදිලිම් යක්ෂයා පිළිබඳ විශ්වාස පැතිර තිබීම පිළිබඳවද අපගේ විශේෂ අවධානයට යොමු විය යුතුය. එසේ නම් මෙම කටුස්සා සහ අමනුෂ්‍යයා අතර සබැඳියාවක් ඇද්දැයි තිබේද යන්න ප්‍රශ්නයකි.ඇත්තටම සතෙක්ද නැතිනම් අමුනුෂ්‍යෙයක්ද යන්න තවමත් හඳුනාගත නොහැකිය යන්න ජනමතයයි.

එක්තරා පැරණි ජන විශ්වාසයකට අනුව බෝදිලිමා යන අමනුෂ්‍යය නාමය සැකසී ඇත්තේ බෝදිරිමා යන වදනෙනි. බෝ+දිරි+මා හෙවත් බොහෝ දිරි ගත් මව යනු එහි අරුතය. දරු ප්‍රසූතියක දී තම දරුවා මෙළොවට බිහි කර ගත නොහැකිව ප්‍රසව වේදනාවෙන් මියයන කතුන් මරණයෙන් පසුව මෙසේ බෝදිලිමුන් හෙවත් බෝදිරිමුන් වන බවට ජන විශ්වාසයක් තිබේ. තමන්ගේ ගැබ් ගැනීම මුල් කොට ගත් මරණ වේදනාව පිරිමියකුගේ ක්‍රියාවක් මුල් කොට ඇතිවූවක් නිසා මොවුහු පිරිමින්ට පමණක් ඇසෙන සේ තම වේදනාත්මක විලාපය නංවන බව ගැමියෝ කියති.

ඇත්තටම ගම්මු කියන විදියට ඔය බෝදිලිමාට පැහැදිලි රූපයක් නොමැති බව එවුන්ගේ මතයයි.ඉහළින් කුඩාවට පහළින් ලොකුවට පේන කළු ගුලියක් වගේ තමයි බෝදිලිමා එන්නේ. ඒත් ඒක හැමෝටම පේන්නෙත් නැහැ ගම්වල ජනතාව අදටද පවසති.  ඒ අනුව අපට පෙනීයන්නේ මෙම බෝදිලිමා යනු හොල්මන් අවතාර හෝ මහසෝනා,රීරි යකා,ගරා යකා වැනි ඒකීයත්වයෙන් යුතු යක්ෂයකු නොවන බවත් දරුවා කුස දරා සිටියදී ප්‍රසූත වේදනාවෙන් මියයන කතුන් හට මරණයෙන් පසු මුහුණ දීමට සිදුවන ශෝචනීය පොදු ඉරණමක් බවත්ය.

ශ්‍රී ලාංකීය ඉතිහාසය සහ ජන සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් සිදු කළ ආර්,එල්. බ්‍රෝහියර් සූරීන් විසින් සම්පාදනය කොට ඇතිDiscovering ceylon නම් කෘතියෙහි ද මෙම බෝදිලිම් යක්ෂයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ගැබ්ව තිබේ. එම කෘතියෙහි සඳහන් වන අන්දමට පශ්චාත් මරණ පරීක්ෂණ ශල්‍යකර්ම ආදී මිනිස් සිරුර ව්‍යවඡේදනය කිරීමේ කටයුතුවලට බිය ගැමියන් දරුවකු ප්‍රසූත කර ගත නොහැකිව මියගිය කාන්තාවන්ගේ උදරය පලා එම කලලය වෙනම ස්ථානයක වළ දමා තිබේ. ඒ එම කාන්තාවන් මරණයෙන් පසු බෝදිලිමකු වීමේ අවදානමින් මුදාලනු පිණිසය.

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ ජනශ්‍රැති ගවේෂකයකු වන පී.බී. මනෑව සූරීන් විසින් ලියන ලද නුවර කලාවියේ ජනවහර කෘතියේද මෙම බෝදිලිම් විශ්වාසය පිළිබඳව සඳහන්ව තිබේ. එහි දැක්වෙන අන්දටම ගැබිනියක මියගිය පසු මළ සිරුරේ කටහාල් ලෑම මගින්ද මරණයෙන් පසු බෝදිලිමකු වීමේ ඛේදවාචකයෙන් ඇය මුදවාගත හැකි බවට නුවර කලාවියේ ජන විශ්වාසයක් තිබේ. කටහාල් ලෑම යනු බුලත් කොළයක එතූ සහල් ඇට කිහිපයක් සහ කාසියක් මළ සිරුරේ මුව තුළ බහාලීමය.එලෙස නොකරන කතුන් බෝදිලිමා ලෙසින් යළි පිබිදීම නුවර කලාවියේ හඳුන්වනු ලබනුයේ මිනී උපදීම,ලෙසින් බවද සඳහන් කරන මානෑව සූරීන් නුවර කලාවිය ප්‍රදේශයේ බෝදිලිම් යක්ෂයා බෝදිලිංගා යනුවෙන්ද හැඳින්වෙන බවද සඳහන් කර ඇති බව දැකගත හැකිය.

යම් පිරිමියකු හට නිවසේ සිටින විට මෙම බෝදිලිම් හඬ ඇසුණහොත් නිවෙස තුළට වැදී නිවසේ කතුන් එළියට යැවිය හැක.එවිට නිවෙස් තුළ ඇති ඉළපත් ආදියද රැගෙන ගෙමිදුලට බසින කාන්තාවෝ ඒවා උළුක්කරමින් අමුතිත්ත කුණුහරුපයෙන් එම බෝදිලම් හඬ නැගෙන දිසාවට බැණ වදිති. එපමණක් නොව තම හැඳිවත ඔසවා එම බෝදිලිම් හඬ නැගෙන දිසාවට තම රහස්‍ය ඉන්ද්‍රියන්ද දක්වති. මේ සටහන කියවන පිරිසටද ඇත්තටම බෝදිලියකු වන්නට ආශා ඇති වන්නේ නම් ඇත්තටම පුදුම විය යුතු නැත.

මේ සම්බන්ධයෙන් තම කෘතියෙහි සටහනක් තබන ආර්.එල්. බ්‍රෝහියර් සූරීන් ඒ සම්බන්ධ අපූරු සඳහනක් කරයි. එනම් අපේ ගම්බද වැඩිහිටි කතුන්ගේ එම කතා ස්වරූපය සහ ක්‍රියාකලාපය එක් අහිංසක බෝදිලිමකු නොව යක්ෂ සේනාවක් වුව පලවා හැරීමට වුව හොඳටම ප්‍රමාණවත් බවය.

කාන්තාවන් සිටින නිවසක දී එම බෝදිලිම් හඬ නැගෙන විට කාන්තාවන් ප්‍රබල ප්‍රතිචාරයක් හිමිවුවද රාත්‍රීකාලයේ තනිව පැල් රකින ගැමියකු හට එවන් බෝදිලිම් හඬක් අසන්නට ලැබුණහොත් ගැමියන් විසින් සිදු කරන යම් කටයුතු ද රැසකි.

බෝදිලිමා හඬක් නැගුණ සැණින් ඒ මොහොතේ තමන් සමීපයේ ඇති කුමක් හෝ තෙල් වර්ගයකින් ස්වල්පයක් පොල් කටුවකට ගෙන සබ්බ පාපස්ස අකරණං …. යනුවෙන් සත්වරක් මතුරා එම තෙල් පොල් කටුව ඉඳා මේ තෙල් ටික බඩේ ගාගනින්,එතකොට උඹේ ඔය රුජාව ඇරිලායයි…කියමින් එම ශබ්දය එන දිසාවෙන් තැබීමය. එවිට මඳවේලාවකින් එම ශබ්දය නෑසී යන බව කියනු ලැබේ.

මෙම බෝදිලිම් හඬ ඉඳහිට නොව නිරතුරුව නැංවෙන අවස්ථාවවල දී පහළ ඌව ප්‍රදේශයේ ගැමියන් විසින් කරනු ලබන කෙම් ක්‍රමයක් පිළිබඳවද මට අසන්නට ලැබිණි. එනම් එම බෝදිලිම් හඬ නැංවෙන දිසාවට මුහුණලා නිවසේ එළිපත්ත මත දැල්වූ පහනක් සහ ගම්මිරිස් කොළ කිහිපයක් තැබීම ය. එවිට රාත්‍රියට වේදනාවෙන් කෙඳිරිගාමින් නිවසට පැමිණෙන බෝදිලිම් යක්ෂයා එම පහනේ දැල්වෙන රත් කර ගන්නා ගම්මිරිස් කොළයකින් සිය උදරය තවාගෙන ආපසු හැරෙන බවට එම ප්‍රදේශයේ ජන විශ්වාසයක් තිබේ. නමුදු මෙහිදී ගම්මිරිස් වෙනුවට මිරිස් කොළයක් නොතැබීමටද ගම්මු විශේෂයෙන් සැලකිලිමත් වෙති. ඒ බුලත් තැබීමෙන් එම නිවැසියන් තමන්ට ඇරයුම් කරන ලදැයි බෝදිලිමා වරදවා සිතන නිසාය.

බෝදිලිමා මරා දමමද ? බෝදිලිම් හඬ කරදරකාරී ලෙස නැගේ නම් එම බෝදිලිමා මරා දැමිය හැකි ක්‍රමයක් පිළිබඳ ජන විශ්වාසයක්ද අපගේ අවධානයට ලක්විය. ඒ මල්පැලක් තනා ඒ මත දැල්වෙන පහනක් සහ බුලත් කොළ කිහිපයක් තබා එම අද්භූත හඬ ඇසෙන සැණින් එදෙසට වෙඩිල්ලක් තැබීමය. එහෙත් ඒ සඳහා රන් ආලේපිත පතරොමක් යොදා ගත යුතු බව පැවසෙයි. එවිට එම ප්‍රහාරයෙන් බෝදිලිමා මිය ගොස් තිබේ නම් පසුදා උදයේ එම වෙඩි ප්‍රහාරය එල්ල වූ දිසාවෙන් මියගිය බෝදිලිමකුගේ සිරුරක් දක්නට ලැබෙන බවට ජන විශ්වාසයක් ඇති විභාවි විජය ශ්‍රී වර්ධන සූරීන්ගේ පර්යේෂණ නිබන්ධනයෙන් දැක්වෙයි.

කාන්තාවක බෝදිලිමකු වනුයේ එක්තරා පුරුෂ ක්‍රියාකාරකමක් මුල් කර ගනිමිනි. ඒ නිසා බෝදිලිම් හඬ නැගෙන දිසාව බලා අංකිරි ගොට්ටක් තැබීමෙන් බෝදිලිමා බියෙන් සලිත කළ හැකි බවට ජන විශ්වාසයක් තිබේ.

පී.බී. මානෑව සූරීන් ලියූ නුවර කලාවියේ ජනවහර ඔරුක්මාන්කුලමේ චන්දන හිමියන් ලියූ නුවර කලාවියේ නිමිති’ සහ හොරොව්පතානේ පඤ්ඤානන්ද හිමියන් ලියූ කල්පේ කෝරලයේ ඇදහිලි පුදසිරිත් යන කෘතිවල මෙම අංකිරි කෙම හෝ ගුරුකම පිළිබඳව සඳහන් වෙයි. සැබැවින්ම මෙහිදී අංකිරි යනුවෙන් හැඳින්වෙනුයේ අන් කිසිවක් නොව ශුක්‍රධාතුය. ඉතින් බෝදිලිමා යක්ෂයා ඊට බියවීමේ පුදුමයකි.

අතීතයේ ලක්දිව සිරකරුවෙකු වූ රොබට් නොක්ස් පවා බෝදිලිමා සම්බන්ධ ඔහුගේ අත්දැකීම් ඔහු ලියන ලද පොතෙහි සදහන් කර ඇත.

යකෙකු රාත‍්‍රී කාලයේ නිතරම නඟන හඬක් මා ද නිතර අසා ඇති බව මෙහි ලා පළ කළ යුතුය. වරෙක බල්ලකු නඟන අදෝනාවක් සේ ඇසේ. මේ අමිහිරි හඬින් කිසිවකුටත් විපතක් වන බව නම් මම නෑසුවෙමි. එහෙත් මේ හඬ නම් යකකුගේම යැයි කීමට හේතු කීපයක් වෙයි. එනම් මේ හඬ නොයෙක් ගම් වලින් ඇසීමයි. ඒ වගේම මේ හඬ නඟන වෙනත් සත්වයෙක් මේ ද්වීපයේ නොවීමයි. මේ හඬ ඇසෙත්ම මිනිසුන් හා ගැහැනුන් ගෙරි මස්කන වලා. තෝ හැඳි ගෑවෙයි. නොදකින් විතරක් දෑහැට නොපෙනී පළ  යයි කියමින් ශාප කරති. එකෙනෙහිම මෙම අඳෝනාව නම් අතුරුදන් වෙයි. 

මේ සියලු කතා සත්‍ය අසත්‍ය කෙසේ වුවත් අදෘශ්‍යමාන හඩ පිළිබඳ සොයා බැලීමට යාම නම් එතරම් හොද කටයුත්තක් ද නැන්ද යන්න නිගමනය ඔබ සතුය.

අපේ කතාන්දරයේ කතා නායකයා වු බෝදිලිමා සමිබන්ධයෙන් සිදුකරන මිනිස් ක්‍රියා ඉතා සුවිශේෂ වුවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *