පරිසර විනාශය වැඩිම දිස්ත්‍රික්කය ගම්පහයි // ජනපති ගම්පහදී කියයි

සෑම පාසල් දරුවෙකුගේම උපන්දිනයට පැළයක් සිටුවීම

මෙරට වන ගහනය අඩුම දිස්ත්‍රිකය ගම්පහ දිස්ත්‍රික්කය බවත් එහෙත් වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කයත් ගම්පහ නිසා ඉදිරියේදී ගම්පහ පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් සියලු දෙනාම කැපවී කටයුතු කලයුතු බව ජනාධිපතිතුමන් අද ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පවතී සියවස් සැමරුම් ප්‍රදර්ශනය විවුර්ත කිරීමේ අවස්ථාවට සමගාමීව පැවති උත්සව සභාව අමතමින් ප්‍රකාශ කරන ලදී. පරිසර අභියෝගය වැඩිම දිස්ති‍්‍රක්කය බවට මේ වන විට ගම්පහ දිස්ති‍්‍රක්කය පත්ව තිබෙන අතර, සුළුකොට තැකිය නොහැකි මෙම අභියෝගය ජය ගැනීමට පාසල් දරුවාගේ සිට සියලුදෙනා කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

සියවසක් සපුරන බණ්ඩාරනායක දරුවන්ගෙන් මෙහිදී ජනාධිපතිතුමා ඉල්ලා සිටියේ පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙරමුණ ගන්නා ලෙසයි.සෑම පාසල් දරුවෙකුගේම උපන්දිනයට පැළයක් සිටුවීමට ඔවුන් නැඹුරු කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී විදුහල්පතිවරුන් වෙත උපදෙස් දුන්නේ ය.

පරිසරය හෙට මිනිසා ප‍්‍රමුඛ සියලු සතුන්ගේ ජීවත්වීම පිළිබඳ තීරණාත්මක සාධකය වනු ඇති බව මෙහිදී වැඩිදුරටත් පැවසූ ජනාධිපතිතුමා පරිසරය රැක ගැනීම වෙනුවෙන් සියලුදෙනා කඩිනමින් තම වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළේය.බණ්ඩාරනායක සියවස් සමරුවට සමගාමීව සංවිධානය කර තිබෙන X-Ban ප‍්‍රදර්ශනය අද දින විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

බණ්ඩාරනායක සිසුන්ගේ හැකියාවන් ලොවට ගෙන යන X-Ban ප‍්‍රදර්ශනය නැරඹීමට එක් වූ ජනාධිපතිතුමා එම සිසුන්ගේ දක්ෂතා ඇගැයීමට ලක් කළේය.ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා විසින් නිපදවා තිබෙන රොකට්ටුව මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර එම රොකට්ටුව ගුවන් ගත කිරීමට අවශ්‍ය කටයුතු සහ ඒ සඳහා වන වියදම් ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

අද පෙරවරුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය විද්‍යාල පරිශ‍්‍රයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.ශ‍්‍රී ලංකා ටෙලිකොම් ,විදැස ඩිජිටල් ඉස්කෝලේ ජනගත කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන ලසන්ත අලගියවන්න, අජිත් මාන්නම්පෙරුම, ගම්පහ දිස්ති‍්‍රක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අජිත් බස්නායක, දිස්ති‍්‍රක් ලේකම් සුනිල් ජයලත්, ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *