බළපිටිය ප්‍රදේශයෙන් ගාලු පාර මුහුදුට ඛාදනය වීමේ අවධානමක්

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

බළපිටිය, වැල්ලවත්ත ප්‍රදේශයේ මේ දිනවල සිදුවන අධික මුහුදු ඛාදනය හේතුවෙන් ගාලු කොළඹ මහා මාර්ගයද මුහුදට බිලිවෙන තත්ත්වයක් උදාවී තිබේ.

ඊයේ  (13) සහ ඊට පෙරේදා (12) ඉතා අධික වේගයෙන් මුහුදු රල වෙරෙලට කා වැදී තිබුණ අතර පෙරේදා (13) අප එහි යන විටත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් යෙදීමට බලධාරීන් කටයුතු කර නොතිබුණි.  

බළපිටිය, බේරතුඩුවට ආසන්න ප්‍රදේශය මෙසේ ඛාදනය වීම හේතුවෙන් දැනටමත් වෙළෙඳ සලක් පවත්වා ගෙන ගිය නිවෙසක් ද දැනටමත් මුහුදට බිලි වී තිබේ. එයට අමතරව පොල් ගස්, රෑණ ගස් විශාල ප්‍රමාණයක් ද මුහුදට බිලි වි තිබේ. තවත් නිවාස කිහිපයකටද එම තර්ජනය එල්ලවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

මෙසේ මුහුද ඛාදනයට ලක්වන බළපිටිය, වැල්ලවත්ත ප්‍රදේශයේ මුහුදට ආසන්නයේම තිබෙන ගාලු කොළඹ මහා මාර්ගයද ඉරි තැලීම් ලක්ව තිබෙන අයුරුද දක්නට තිබෙන බවත්, ඒවා දිනෙන් දින දින වැඩිවෙමින් තිබෙන බව දැකිය හැකි බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නුවන් සම්පත් මහතා ප්‍රකාශ කළේය.

මුඵ බළපිටිය ප්‍රදේශයම සමුද්‍ර ඛාදනයකට ලක්විමේ අවදානමක් තිබෙන බවත් ග්‍රාම නිලධාරීන්ගෙන් හා ගම්වාසීන්ගෙන් තොරතුරු ලබා ගෙන ගම්වාසීන් දැනුවත් කරන ලෙසත්, මේ පිළිබඳව ඉහළ නිලධාරීන් ට දැනුම් දී පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් තමා 2018 වර්ෂයේ දී බළපිටිය ප්‍රාදේශීය සභාවට යෝජනාවක් ඉදිරිපත් කළ බව බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනිල් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කලේය.

කොළඹ, නව වරාය නගරය ඉදිකිරීම සදහා අක්කර හාරසියයක් ගොඩකිරීමේ ප්‍රතිවිපාක සමස්ථ දකුණු වෙරළ තීරයටම විඳින්නට සිදුවී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක් බවත් බළපිටියේ ජනතාව ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ගාල්ල වෙරළ සංරක්ෂණ ප්‍රාදේශීය ඉංජිනේරු සුරංග නන්දසේන මහතාගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ කඩිනමින් ගල්වැටියක් දැමීමට පියවර ගන්නා බවත්, දැනටමත් තාක්ෂණ නිලධාරියෙක් යවා තාක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *