ලොවක් හදුනන ආදරවන්තයින්ගේ සටන

රිච්මන්ඩ්- මහින්ද වාර්ෂික මහා  ක්‍රිකට්

ආදරවන්තයින්ගේ සටන ලෙස ලොවක් හදුනන ගාල්ල මහින්ද රිච්මන්ඞ් විද්‍යාලාන්තර ක්‍රිකට් තරඟය මෙවරත් 113 වැනි වරට මාර්තු  16,17 යන දිනයන් හී දී ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. ගාල්ල නගරයට සැලකෙලි සිරි ගෙන්වන මෙම විද්‍යාලාන්තර ක්‍රිකට් තරඟය නිසාම මේ වන විටත් ගාල්ල නගරය පුරා විද්‍යාල දෙකෙහි ධජයන් ලෙල දෙමින් ඇති අයුරු දැක ගත හැක.

මෙවර අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලිය තුල අති ප්‍රබල කණ්ඩායම් 02 ක් ලෙස මෙම කණ්ඩායම් දෙකම දිවයිනේ සියළු පාසල් වලට අභියෝගයක් වෙමින් තරඟ වැදී ඇති අතර රිච්මන්ඩ් විද්‍යාලය පාසල් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පාසල් 16 අතරට තේරී පත් වු අතර මහින්ද විද්‍යාලය ඉන් ඉදිරියට යමින් මේ වන විටත් අවසන් පාසල් 08 අතරට ද තේරී පත් වී මීලඟ තරඟය සදහා සුදානමින් සිටී.

රිච්මන්ඩ්- මහින්ද වාර්ෂික මහා  ක්‍රිකට් තරග ඉතිහාසය 1905 වසරේ සිට ඇරැඹෙන අතර මෙතෙක් පැවැති තරඟ අතුරින් මහින්ද විද්‍යාලය තරග 23 ක් ජයග්‍රහණය කර ඇති අතර  රිච්මන්ඩ් විද්‍යාලය ද තරඟ 23 ජයග්‍රහණය කරමින් සම තත්වයේ පසුවෙයි. ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් ව ඇත. වර්ෂ දෙකකදී මෙම මහා තරඟය පවත්වා නොමැත. අවසන් වරට මහින්ද විද්‍යාලය තරඟය ජයග්‍රහණය කරන ලද්දේ 2008 වසරේ දී ය. රිච්මන්ඩ් විද්‍යාලය   2015 වර්ෂයේ අවසන් වරට තරඟය ජයග්‍රහණය කර ඇත.

ආදරවන්තයන්ගේ ඉතිහාසය ගැන කතා කිරීමේදී රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ආදරවන්තයන්ගේ සටනට ක්‍රීඩා කළ චම්පක රාමනායක, චමිල ගමගේ , සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා , වනිදු හසරංග, චරිත් අසලංක ද,  මහින්දයන් වෙනුවෙන් ඞී.එල්.එස්. ද සිල්වා, අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, උපුල් චන්දන, ලොකයේ බිහිසුනුම පන්දු යවන්නා සහ 20-20 ලෝක කුසලානය ශ්‍රී   ලංකාවට ලබා දුන් නායකයා වන ලසිත් මාලිංග ද , රුමේෂ් බුද්ධික හා දෙනුවන් රාජකරුනා, තික්ෂිල ද සිල්වා වැනි ක්‍රීඩකයින් පාසල් දෙකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්   වලට දායාද කරන ලදී.

මහින්ද විද්‍යාලය මෙවර තරඟාවලියේ දී මෙහෙය වනු ලබන්නේ  තෙවන වසර ක්‍රීඩකයෙකු වන රේෂාන් කාවින්ද විසිනි. ඔහු මෙවර තරඟාවලියේ අර්ධ ශතක 3 ක් සමඟින් ලකුණු 365ක්   ලබා ගෙන ඇත.  මෙවර තරඟාවලිය තුල මහින්දයේ උප නායකත්වය  බිනුර දුල්සරට හිමි ව ඇති අතර ඔහු මෙවර තරඟවාරය තුල ශතක 03 ක් හා අර්ධ ශතක 03 සමඟින් ලකුණු  896 ලබා ගෙන ඇත. ඔහුගේ වැඩිම ලකුණු ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලබාගත් ලකුණු 135 සටහන් වෙයි. මහින්ද විද්‍යාලයේ පසුගිය වසරේ ආදවන්තයන්ගේ සටනේ නායකයා වු හංසික වැලිහිද මහින්ද විද්‍යාලයේ ආරම්භක පිතිකරුවා  වෙයි. ඔහු මෙවර තරඟවාරය තුල ශතකයක් සහ අර්ධ ශතක පහක් සමඟින් ලකුණු 819 ලබා ගෙන ඇත. මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ තවත් ඉහල බලාපොරොත්තුවක් වන්නේ 15 පහල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නවෝද් පරණ විතානයි ඔහු මෙවර තරඟාවලියේ දී ශතක 03 ක් , අර්ධ ශතක 02 සමඟින් ලකුණු 823 ක් ලබා ගෙන ඇත. මහින්දීය මැද පෙල ශක්තිමත් කරන කවිදු එදිරිවීර ශතක 01 ක් සහඟින් අර්ධ ශතක 07 ක් සමඟින් ලකුණු 781 ලබා ගෙන සිටී. අර්ධ ශතක 03 ක් සමඟින් ලකුණු 429 ක් ලබා ඇති කෙවින් කොත්තුගොඩ පාසල් කණ්ඩායම් අතර අපුරු ඉරියව්වකින් පන්දු යවයි. මෙවර 19 ශ්‍රීලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වන නිපුන් මාලිංග සහ පසන් පෙතන්ගොඩ මෙවර මහින්දීය පන්දු යැවීමේ බල ඇනිය ශක්මත් කරයි. මෙවර තරඟාවලිය තුල කඩුලු 67 ක් පසන් ලබා ගෙන ඇති අතර නිපුන් මාලිංග කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ලකුණු 23 ට කඩුලු 07 ක් ලබා ගැනීම මෙවර මහින්දීය හොදම පන්දු යැවීම ලෙස වාර්තා වෙයි. කෙසේ නමුත් නිපුන් මාලිංග හා කේ.කේ. කෙවින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විදේශ තරඟාවලි සදහා සහභාගී වීම නිසා විද්‍යාලයීය තරඟ බෙහෝමයක් මඟ හැරී ඇත.

මහින්ද විද්‍යාලය මෙම තරඟවාරය තුල අපරාජිත කණ්ඩායමක් ලෙසින් මේ වන විට තරඟ 17 ක දී පුර්ණ ජයග්‍රහණ 07 ක්  ලබා ඇත්තේ මාතර ශාන්ත තෝමස්, කොළඹ සහිරා, කුරුනෑගල මලියදේව, මහනුවර ශාන්ත සිල්වෙස්ටර්, කදාන ද මැසිඩන්ට්, කොළඹ ලුම්බිණි, පන්නිපිටිය ධර්මපාල යන විද්‍යාලයන්ට එරෙහිවය. මහින්දය තරඟාවලිය තුල පලමු ඉනිම ජයග්‍රහණ   ද 07 ක්  ලබා ගෙන ඇත්තේ කොළඹ ශාන්ත ජෝසප්, කොළඹ රාජකීය, කොළඹ ආනන්ද, ගාල්ල ශාන්ත ඇලොසියස්, කැලණිය ගුරුකුල, මහනුවර ධර්මරාජ, කොළඹ තර්ස්ටන්  යන විද්‍යාලයන් ට එරෙහිව වන අතර අම්බලන්ගොඩ ධර්මාශෝක හා මොරටුව වේල්ස්කුමර විද්‍යාල අතර තරඟ දෙක වර්ෂාව නිසා අතහැර දමා ඇත.  මහින්දය මෙවර තරඟාවලියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි තරගය පමණක් පලමු ඉනිම පරාජයට පත් වී ඇත.

රිච්මන්ඞ් විද්‍යාලයීය කණ්ඩායම මෙවර මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා අවුරුදු 19 පහල කණ්ඩායම නියෝජනය කරන ධනංජය ලක්ෂාන් විසිනි. ඔහු මෙවර තරඟාවලිය තුල ශතක 01 අර්ධ ශතක 03 ක් සමඟින් ලකුණු 407 ක් ලබාගෙන ඇත. ශ්‍රී ලංකා අවුරුදු 19 පහල කණ්ඩායමේ නායකයා වන කමිදු මෙන්ඩිස් ද මෙවර රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම වර්වවත් කරන තවත් තරුවකි. ඔහු මෙවර තරඟාවලිය තුල  ශතක 04 ක් සමඟින් ලකුණු 597 ක් ලබා ගෙන ඇත. මෙවර තරඟාවලිය තුල රිච්මනඩ් විද්‍යාලයීය කණ්ඩායමේ  වැඩිම ලකුණු ලාභියා වනුයේ අදිත්‍ය සිරිවර්ධනයි. ඔහු ලකුණු 684 ක් ලබා ගෙන ඇත්තේ අර්ධ ශතක 05 සමඟිනි.  රිච්මන්ඞ් විද්‍යාලයේ උපනායකත්වය දරණු ලබන්නේ අවිදු තීක්ෂණ තරඟවාරය තුල කඩුලු 41 සමඟින් ලකුණු 384 ලබා ගෙන ඇත.

රිච්මන්ඩ් විද්‍යාලය මෙවර තරඟාවලියේ තරඟ 15 ක් මේ දක්වා තරඟ කල අතර එයින් තරඟ 6 ක් පූර්ණ ජයග්‍රහණය කර ඇත්තේ කුරුනෑගල මලියදේව, මාතර ශාන්ත තෝමස්, පන්නිපිටිය ධර්මපාල, මාතර සර්වේසස්, අම්බන්ගොඩ ධර්මාශෝක, කොළඹ වෙස්ලි                     විද්‍යාලයන්ට එරෙහිව වන අතර තරඟ 4 ක පලමු පළමු ඉනිම  රිච්මන්ඩ් විද්‍යාලය ජයග්‍රහණය කර ඇත්තේ  කැලණිය ගුරුකුල, කොළඹ නාලන්ද, වෙන්නපුව ජෝසප් වාස්,  ගල්කිස්ස ශාන්ත තෝමස්  විද්‍යාලයන්ට එරෙහිවයි. මෙවර තරඟාවලියේ කොළඹ ශාන්ත ජෝසප් , කොළඹ රෝයල්, මහනුවර ධර්මරාජ යන තරඟ වල පලමු ඉනිම පරාජය වී ඇති රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම බම්බලපිටිය ශාන්ත ශාන්ත පීටර්  තරඟය පුර්ණ පරාජයක් ලබා ඇත. මෙහි දී එක් කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරඟය වර්ෂාව නිසා අතහැර දමා ඇත.

ශ්‍රී ලංකා අවුරුදු 19 පහල කණ්ඩායම නියෝජනය කිරීම නිසා  ධනංජය ලක්ෂාන් සහ  කමිදු මෙන්ඩිස් හට මෙවර විද්‍යලයීය තරඟ බෙහෝමයක් මඟහැරී ඇත.

රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සම්පත් වේරගොඩ මහතා කටයුතු කරන අතර රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙස එස්.ආර්. නානායක්කාර මහතා ද පුහුණුකරුවන්  ලෙස ධම්මික සුදර්ශණ මහතා හා ප්‍රේම් ලක්මාල් මහතා  කටයුතු කරයි.

මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ගාමිණී ජයවර්ධන මහතා කටයුතු කරන අතර මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙස අරවින්ද රත්නායක මහතා ද  පුහුණුකරු ලෙස අනිල් රිදියගම්මනගෙදර සහ සුනෙත් කුඩාහෙට්ටි යන මහත්වරුන් ද කටයුතු කරයි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය නියෝජනය කරන මෙම විදුහල් දෙක මෙවර ද ප්‍රබල කණ්ඩායම් දෙකක් මෙවර තරඟයට ද ඉදිරිපත් කරයි.

අභියෝග ජය ගැනීමට මහින්ද ක්‍රී ඩකයනුත් අභිමානය රැක ගැනීමට රිච්මන්ඞ් ක්‍රී ඩකයෝ ද තමන් සතු සියලූ දක්ෂතා සමඟින් මෙම මස 16සහ 17දෙදින ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට  පිවිසෙනු ඇත.

රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම,

ධනංජය ලක්ෂාන්, (නායක), අවිදු තීක්ෂණ (උපනායක), කමිදු මෙන්ඩිස් , තවීෂ අභිෂේක්, ආදිත්‍ය සිරිවර්ධන, දුවීන් සසිදු, සදුන් මෙන්ඩිස්, දිලුම් සුදීර, විමුත් සප්නක, විශ්මිත විජේසිරි, අනුක්ෂි ද සිල්වා, සුගීත් නිම්නාද, අකාශ් කාවින්ද, චමත් දිල්සර, විනුජ කිරිඇල්ල.

මහින්ද විද්‍යාලයීය කණ්ඩායම,

රේෂාන් කවිදු ( නායක) , බිනුර දුල්සර (උපනායක)  හන්සික වැලිහිද, , නවෝද් පරණවිතාන, අශේන් කණ්ඩම්බි,  කවිදු එදිරිවීර, , නිපුන් මාලිංග, පසන් පෙතංගොඩ, කේ.කේ.කෙවින්, ප්‍රමිත් තෙවරප්පෙරුම, කලිදු එදිරිසිංහ , සුභාණු රාජපක්ෂ, ලහිරු භාෂණ, අසේල ප්‍රියදර්ශණ, අශේන් චාමික

Leave a Reply

Your email address will not be published. Required fields are marked *