බුද්ධානන්ද හිමියන්ගේ ඝතනකයන් සොයා පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශනයට

අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ඉදුරුව, ගල්කන්ද රජමහ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් 04 ක් යොදා පුළුල් පරීක්ෂණ පවත්වන බව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි ආර් එම් රත්නායක, ඇල්පිටිය නොවිසදුන අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ, කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර සහ කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල යන පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වේ.

ඉදුරුවල ගල්කන්ද රජමහ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන යටියන බුද්ධානන්ද (73) නායක ස්වාමින් වහන්සේ කිසියම් පිරිසක් විසින් පසුගිය ජුනි 28 දින රාත්‍රී හෝ 29 දින අළුයම එම විහාරස්ථානයේදීම ඝාතනය කර තිබුණි. මෙම ස්වාමින් වහන්සේ ගල්කන්ද විජයධම්ම පිරිවෙනේ පරිවේණාධිපති ස්වාමින් වහන්සේ ලෙසද කලක් කටයුතු කර තිබෙන බව

ගල්කන්ද රජමහ විහාරස්ථානය අමරපුර රාමඤ්ඤ මහ නිකායේ මූලස්ථානය ලෙසද භාවිතා කරන බවත් විහාරස්ථ දායක සභාව කියයි. කලක් රාමඤ්ඤ මහ නිකායේ මහනායක ධූරය දැරූ අග්ග මහා පණ්ඩිත ඉදුරුවේ උත්තරානන්ද නාහිමියන් වැඩ වාසය කර ඇත්තේද මෙම විහාරස්ථානයේය.

ගෙල සිර කිරීම හේතුවෙන් හුස්ම සිර වී මරණය සිදුව තිබෙන බව

ඝාතනය සම්බන්ධයෙන් වූ මහහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් 29 දින පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලදී. පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයිරාංගනී ප්‍රනාන්දු මහත්මියද විසින් 29 දින පෙරවරුවේ ඉදුරුවල ගල්කන්ද රජමහ විහාරස්ථානයට පැමිණ ස්ථාන පරීක්ෂාවක් කර පසුව දේහය බළපිටිය මූලික රෝහලට රැගෙන ගොස් වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වන ලදී. ගෙල සිර කිරීම හේතුවෙන් හුස්ම සිර වී මරණය සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.

ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ හිස වටා සම්පූර්ණයෙන්ම උන් වහන්සේ ඇදසිටි සිවුර ඔතා රෙදි පටි වලින් බැද තිබූ බවත් අත් සහ පා එකිනෙක ගැටගසා තිබූ බවත් කොස්ගොඩ පොලීසිය කියයි. මෙම ක්‍රියාවන් එක් අයෙකුට කල නොහැකි බව පවසන කොස්ගොඩ පොලීසිය ඒ නිසාම මෙම ඝාතනය සදහා දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් පැමිණෙන්නට ඇතැයි පොලිසිය විශ්වාස  කරයි

ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ මෘත දේහය 29 දින උදෑසන විහාරස්ථානයට පැමිණි කුඩා ළමුන් දෙදෙනෙකු විසින් දැක ඔවුන් ඒ බව සිය වැඩිහිටියන්ට දන්වා තිබේ. මෙම විහාරස්ථානයේම වැඩ වාසය කරන වෙනත් ස්වාමින් වහන්සේ නමක් විසින්ද ඒ සම්බන්ධයෙන් වූ තොරතුරු කොස්ගොඩ පොලීසියට ලබා දී තිබේ. ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේගේ වයස් මට්ටමේම අයෙකු වන එම ස්වාමින් වහන්සේ මන්ද මානසික මට්ටමේ අයෙකු බවත් ඒ නිසා එම ස්වාමින් වහන්සේගෙන් සාර්ථක තොරතුරක් ලබාගත නොහැකි බවත් කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ස්වාමින් වහන්සේගේ අත් සහ පය ගැටගසා තිබි ඇති බවත් මුහුණට උල් ආයුධයකින් ඇණ තිබූ බවත්

ඝාතනයට ලක් වූ නායක ස්වාමින් වහන්සේ 28 දින රාත්‍රී  10.00 ට පමණ නින්දට ගොස් තිබෙන බවත් එයින් පසුව මෙම ඝාතනය සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ස්වාමින් වහන්සේගේ අත් සහ පය ගැටගසා තිබි ඇති බවත් මුහුණට උල් ආයුධයකින් ඇණ තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි කොස්ගොඩ පොලීසිය කියයි. ස්වාමින් වහන්සේගේ බෙල්ලේද කැපුම් තුවාලයක් තිබූ බවත් කොස්ගොඩ පොලීසිය කියයි. නමුත් මෙම තුවාල මාරාන්තික තුවාල නොවන බවත් මරණයට හේතුව කිසියම් අයෙකු විසින් ගෙල සිර කිරීමක් බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වි තිබේ.

ඝාතනයට ලක් වූ ස්වාමින් වහන්සේ ඉතා විශාල වශයෙන් සිය දායකයින්ට සේවාවන් කරන ලද අයෙකු බවත් කොරෝනා වසංගතය හේතුවෙන් ඇදිරි නීතිය පැවති කාලයේ ආහාර පාර්සල් රැසක් දායකයින්ට බෙදාදුන් බවත් ගම්වාසීන් කියයි. වඩුවැඩ හා මේෂන් වැඩ හොදින් ප්‍රගුණ කරඇති උන් වහන්සේ සිය විහාරස්ථානයේ ඊට අදාල කටයුතු තමා විසින්ම කරගත් බවද ගම්වාසීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඝාතනයට ලක් වූ බුද්ධානන්ද (73) ස්වාමින් වහන්සේ ප්‍රදේශයේ හෙරොයින් හා ගංජා අලෙවි කරන්නෙකු සමග දැඩි සම්බන්ධතා පවත්වන ලද බවද පොලිස් පරීක්ෂණ වලදි ඇතැම් ගම්වාසීන් විසින් ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙම ස්වාමින් වහන්සේ නීති විරෝධී මත්දව්‍ය ව්‍යාපාර වලට සම්බන්ධ බවට තොරතුරු තිබෙන බවයි. ඒ නිසාම මත්දව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අය විසින් මෙම ස්වාමින් වහන්සේ ඝාතනය කරන්නට ඇතැයිද පොලීසියේ විශ්වාසය වී තිබේ.

කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත

ස්වාමින් වහන්සේ වැඩ වාසය කරන ලද කාමරයේ තිබී උපත් පාලන කොපු 03 ක් හා අන් අයගේ ශරීරයන්හි සුවිශේෂී කොටස් කිහිපයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම ශරීර කොටස් ඝාතකයන්ගේද එසේත් නොමැති නම් මෙම ස්වාමින් වහන්සේ සමග හාදකම් පවත්වන ලද පුද්ගලයන්ගේද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබේ. මෙම උපත් පාලන කොපු පාවිච්චි නොකරන ලද ඒවා බවද පොලීසිය කියයි.

සොයා ගන්නා ලද ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත හෝ බොරැල්ල ජීන් ටෙක් ආයතනය වෙත යවා යම් තොරතුරක් ලබාගත හැකිද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් පොලීසිය කටයුතු කරමින් සිටී. මෙම ස්වාමින් වහන්සේගේ කාමරය අපිලිවෙලට තිබූ බවත් සිව්රු, පාත්තර, පොත්පත් හා පත්තර තැන තැන දමා තිබූ බවත් පරීක්ෂණවලදී පොලීසියට නිරීක්ෂණය වී තිබේ.

බුද්ධානන්ද හිමියන්ගේ දේහය විහාරස්ථානයේ සිට රිය පෙරහරකින්

ඝාතනයට ලක් වූ යටියන බුද්ධානන්ද හිමියන්ගේ අදාහන කටයුතු හෙට සවස 2.00 ට පැවැත්වෙන බව විහාරස්ථ දායක සභාව කියයි. බුද්ධානන්ද හිමියන්ගේ දේහය විහාරස්ථානයේ සිට රිය පෙරහරකින්  ඉදුරුව මහජන ක්‍රීඩාංගණය දක්වා වැඩම කර එහිදී ආගමික වතාවත් සිදු කර පස්වරු 4.00 ට නැවතත් ඉදුරුව මහජන ක්‍රීඩාංගනයේ සිට දේහය නැවත ගල්කන්ද, විජයධම්ම පිරිවෙන් විහාරස්ථානයට රැගෙන යෑමට නියමිතය. ප.ව 5.00 ට විහාරස්ථාන භූමියේදී උන්වහන්සේගේ භූමදානය කිරීමට නියමිත බවද භූමදාන කමිටුව කියයි.

ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ සහකාර  පොලිස්  අධිකාරි  ආර් එම් රත්නායක, ඇල්පිටිය නොවිසදුන අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ, කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර සහ කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දිමාල් යන නිලධාරීන් ඇතුළු පිරිසක් හා අම්බලන්ගොඩ පොලීසියට අනුයුක්ත නිල සුනඛ අංශයේ නිලධාරීන් වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *