හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට වසර 20 ක සහ සංස්ථා සභාපතිට වසර 12 බැගින් සිර දඩුවම්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 20ක අල්ලසක් ලබාගෙන එය ගණන් කරමින් සිටියදී අල්ලස් හෝ දූෂණ නිලධාරීන් විසින් කොළඹ හෝටලයක රථගාලකදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිකුසුම්දාස මහානාම මහතා සහ පියදාස දිසානායක මහතා අදාල චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවන් වීම හේතුවෙන් දඬුවම් නියම කර තිබේ.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකළ මෙම නඩුවේ තීන්දුව අද (18) ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව අයි.එච්. කුසුම්දාස මහානාම චෝදනා 13කට වැරදිකරු කරමින් වසර 20ක බරපතල වැඩ සහිත දඬුවමක් නියම කර ඇති අතර ඊට අමතරව ඉන්දීය ව්‍යාපාරිකයාගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් කෝටි දෙකක මුදල රජයට ගෙවන ලෙසද නියෝග කර ඇත. මීට අමතරව ඔහුට රුපියල් 65,000 දඩයක්ද නියම කර තිබේ.

මෙම චෝදනාවටම අදාල අනෙක් සැකකරු වන දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා චෝදනා 11කට වැරදිකරු වූ අතර ඔහු වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වී තිබේ. ඔහුට රුපියල් 55,000ක දඩයක්ද නියම කිරීමට සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාගෙන් සහ චම්පා ජානකී රාජරත්න විනිසුරුවරියගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය කටයුතු කර ඇත.

මෙරට ආයෝජනයක් සිදු කිරීම සඳහා පැමිණි ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් අදාල ආයෝජනය සඳහා පහසුකම් සැලසීමට මහානාම සහ දිසානායක යන දෙදෙනා අල්ලස් ඉල්ලා ඇති අතර ඉන් කොටසක් ලෙස රුපියල් මිලියන 20ක මුදලක් ලබා ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *