හිටපු ජනපති මහින්ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මිලියන 122.3ක් පාඩු කරලා //ජනාධිපති කොමිසම හමුවේ හෙළි වෙයි

ශ්‍රී ලංකන් – මිහින් ලංකා ආයතනවල වංචා දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම

2009 – 2014 කාලය තුළ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවිය යුතු රුපියල් මිලියන 122.3කට අධික මුදලක් මේ වන තෙක් ගෙවා නැතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආදායම් කළමනාකරණ සහ සැළසුම් අංශ ප්‍රධානී සුමුදු උපතිස්ස මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පසුගියදා(21) රැස්වූ ශ්‍රී ලංකන් – මිහින් ලංකා ආයතනවල වංචා දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් වෙන්කරගත් ගුවන් ගමන් වාර 65ක් පමණ සිදුකර ඇති බවත් ඉන් ගුවන් ගමන් වාර කිහිපයක් සඳහා ගෙවිය යුතුව ඇති රුපියල් මිලියන 122.3කට අධික මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සුමුදු උපතිස්ස මහතා පැවසීය.

මීට පෙර කොමිසම හමුවේ අනාවරණය වූ පරිදි ශ‍්‍රීලංකන් ගුවන් සමාගම පියාසර නොකරන ජොහැන්නස්බර්ග්, ටෙල්අවිව්, රෝමය සහ බොලීවියාව වැනි ගමනාන්ත වෙත පවා හිටපු රාජ්‍ය නායකයා වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගුවන් යානා වෙන්කරගෙන තිබිණි. මින් ජොහැන්නස්බර්ග් වෙත 2013 වසරේදී වෙන්කරගෙන ගිය ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානයේ ගමන් කළේ මගීන් 26 දෙනකු පමණක් බවත් එහෙත් එම ගුවන් යානයේ ආසන 243 ක් පැවති බවත් කොමිසම හමුවේ මීට පෙර අනාවරණය විය. එම ගුවන් ගමන වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් මිලියන 36 ක මුදලක් ගෙවා තිබිණි.

එසේම වර්ෂ 2014 දී ඊශ‍්‍රායාලයේ ටෙල් අවිව් වෙත ගිය ගුවන් ගමන වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට රු. මිලියන 46.3 ක් ගෙවූ බවත් 312 දෙනකු ගමන් කළ හැකි එම ගුවන් යානයේ ගමන් කළේ 48 දෙනකු පමණක් බවත් කොමිසම හමුවේ අනාවරණය විය. එම ගුවන් යානය මුලින්ම ජෝර්දානයේ අගනුවර වන අම්මාන්හිි නවත්වා මගීන් 42 දෙනකු ඉන් බැස ගිය බවත් අවසානයේ ඊශ‍්‍රායාලයේ ටෙල් අවිව් වෙත ගමන් කළේ මගීන් හයදෙනකු පමණක් බවත් කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.

අය කරගනු ලබන 2%ක පොලිය ඉහත මුදලට එකතුකර නොමැති බව

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සුමුදු උපතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ රාජ්‍ය නායකයින් වෙන් කරවාගත් ගුවන් යානාවල ගමන් කිරීම සාමාන්‍ය ක්‍රමවේදය නොවන බවත් හිඟ මුදල් වෙනුවෙන් අය කරගනු ලබන 2%ක පොලිය ඉහත මුදලට එකතුකර නොමැති බවත්ය.

අදාල හිඟ මුදල් ගෙවන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇතත් අදාල මුදල ගෙවීම දිගින් දිගමට පැහැර හැර ඇතැයි සාක්ෂි විමසීමේදී අනාවරණය විය.

අදාළ සමාගම්වල සිදුව ඇති අක්‍රමිකතාගැන සෙවීමට පසුගිය වසරේ පෙබරවාරි 14 වැනිදා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද මෙම කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ග්‍රණරත්න මහතා කටයුතු කරන අතර අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ හැරල්ඩ් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්,ජේ.කේ ගීගනගේ මෙනවිය කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *