සුනාමියට වසර පහලවයි!! ලොව බිහිසුණු දුම්රිය ඛේදවාචකයේ කිරි හට්ටියේ කථාව

සුනාමියේ අදුරු සෙවනැළි මතින් උගත යුතු පාඩම් බොහෝය // ගවේෂණාත්මක විවරණය

බලපිටියේ ජයකාන්ත ගෙනෙන වාර්තාව

දැවැන්ත ව්‍යසනයක් ඇති කල සුනාමි ව්‍යසනයට වසර 15 ක් සපිරේ. සුනාමියක් ඇති වන්නේද කෙසේද? යන්න විද්‍යාත්මක පසුබිම සහ සුනාමියෙන් උගත යුතු පාඩම් පිළිබඳව කෙරෙන ගවේශණාත්මක විවරණයකි.

ඉදිරි සුනාමියකදී ජීවිත දේපල රැකගැනීමට 2004 සුනාමියෙන් උගත් පාඩම් වැදගත්ය. ඊලග සුනාමියට අප සූදානම්ද යන්නද අතිශය වැදගත්ය. 2004 සුනාමිය සම්බන්ධයෙන් බොහෝ පරිසර විද්‍යාඥයින් ප්‍රකාශ කළේ වෙරළබඩ කඩොලාන පද්ධතිය තිබුණේ නම් සිදුවන විනාශය අවම වියහැකි බවයි. මුහුද ආසන්නයේ ගොඩනැගිලි ඉදිකිරීම, ගංගා වැව් ආදියේ පතුල හාරා වැලිගැනිම, මුහුදුබඩ ගොඩබිම් හාරා වැලිගැනීම, හිරිගල් කොරල්පර කැඩීම, විශාල වශයෙන් කැලෑ එලිකිරීම, සුනාමී ව්‍යසනයෙන් වන හානිය ප්‍රබල වීමට දැඩිව බලපා තිබේ. මෙම බොහෝ විනාශයන් සදහා දේශපාලනඥයින්ගේ ආශිර්වාදයද ලැබී තිබේ.

පරිසරය ආරක්ෂා කිරිම සදහා අපරටේ තිබෙන නීති ප්‍රමාණවත්ද යන්න සුනාමියට වසර 15 ක් සපිරෙන මේ මොහොතේ සිතාබැලිය යුතුය. නොහික්මුණු මිනිස් ක්‍රියාකාරකම් වලට වැටබැදීමට මෙන්ම ආපදා කළමණාකරනයට සුදුසු වැඩපිළිවෙලක් සැකසීම සම්බන්ධයෙන් සිතීමටද මේ හොදම කාලයයි. පරිසරය සම්බන්ධයෙන් දැවැන්ත කතාබහක් ඇති වී තිබෙන වත්මන් කාලයේ පරිසරයේ සුරක්ෂිතතාවයට ගතයුතු පියවරයන් මෙන්ම අනාගත සුනාමියකට රට සූදානම් කිරීම මෙම ලිපියේ අරමුණයි.

සුනාමී ^Tsunami& යනු ජපන් වචනයකි. ජපන් භාෂාවෙන් සූ ^Tsu& යනුවෙන් හදුන්වන්නේ වරායයි. තරංගය, නාමී ^Nami& යනුවෙන් හදුන්වයි. මේ අනුව වරාය තරංගය යන අරුත, සුනාමී යන්නෙහි ගැබ් වී ඇත. භූකම්පන මෘදු තරංගයක් ^Seismis Sea Wave& ලෙසද සුනාමිය හැදින්විය හැකිය. මේ අනුව බලන කල උදම්රළ ^Tidal Wave& යනුවෙන් සුනාමිය හැදින්වීම වැරදි සහගතය. සුනාමිය, උදම්රළ යනුවෙන් අර්ථ දක්වන්නේ මුහුද ගොඩ ගැලීම, දැවැන්ත රළ, ආදිය සැලකිල්ලට ගනිමිනි.

ඈත මුහුදේ ඇතිවන උසින් අඩුරළ වරායට හෙවත් වෙරලට පැමිණෙන විට වරායේ පටු ස්වභාවය නිසා උසින් වැඩිවීම සිදුවේ. දිගින් වැඩි, උසින් අඩු ගැඹුරු මුහුදේදී සුළු වශයෙන් දැකිය හැකි තරංග විශේෂයක් ලෙසද සුනාමී තරංග හැදින්විය හැකිය. එයට අමතරව සාගරයේ ජලකඳ ක්ෂණිකව කැලඹීමකට ලක්ව සිරස්ව නිර්මාණය වන ජල තීරුවක් නිසා සෑදෙන දිය රැල්ලක් හෝ රළ කීපයක් එකතු වීමෙන් නිර්මාණය වන තරංග, සුනාමී තරංග ලෙසද හදුන්වයි. ප්‍රමාණවත් ජල ස්කන්ධයක් සහිත නොගැඹුරු දියේ වැඩි ප්‍රබලත්වයක් ඇතිවීම තුලින් සුනාමී තරංග නිරිමාණය විය හැකිය.

සුනාමී තත්ත්වයක් ඇති වීමට බලපාන ප්‍රධානතම කරුණු 04 ක් ඇත. සාගර පතුලේ ඇතිවන භූමි කම්පාවක්, විශාල වශයෙන් සිදුවන න්‍යාය යෑමක්, මුහුද යට ගිනිකඳු පිපිරීමකින් ඇතිවන ලාවා නිකුත් වීමක් හෝ උල්කාපාත හෝ හිමකඳු සාගරයට කඩා වැටීමකිත් සුනාමී තත්ත්වයක් ඇතිවිය හැකිය. සුනාමී තත්ත්වයන් වැඩි වශයෙන් ඇති වී ඇත්තේ මුහුදයට ඇතිවන භූමිකම්පා හේතුවෙනි. 1958 දී ඇලස්කාවේ ලිතියාවේ කඳු න්‍යාය යෑමකින් සුනාමී තත්ත්වයක් ඇති වී තිබේ. මෙයට වසර කෝට් 10 කට පමණ පෙර දැවැන්ත ග්‍රාහකයක් කඩාවැටීමෙන් ඩයිනෝසරයන් වැනසුණ බවද විද්‍යාඥයින්ගේ මතයයි.

පෘතුවියට පිටතින් ඇත්තේ ශිලා ගෝලයයි. ^Lithosphere& ශිලා ගෝලය සෑදී ඇත්තේ භූ තැටි ^Tectonic Plates& කීපයකිනි. අප අයත්වන භූ තැටිය, ඉන්දු – ඕස්ට්‍රේලියානු භූ තැටිය මෙන්ම ඉන්දු තලය යනුවෙන්ද හදුන්වයි. මෙම භූ තැටිය, ශිලා ගෝලයට යටින් ඇති දව්‍ය මත පාවෙමින් තිබේ. භූ තැටි නොනැවතී එකිනෙක ගැටීම, ලංවීම, ඈත් වීම මෙන්ම ලිස්සා යෑමද සිදුවිය හැකිය. මෙවන් භූ චලන පෘතුවියේ පෘෂ්ඨය හා සංවහන ප්‍රවාහය හරහා සිදුවෙතැයි සැලකිය හැකිය.

භූ තැටි චලනය සෑම විටම සිදුවන්නේ ඉතා අඩු වේගයකිනි. එය බොහෝ විට වසරකට සෙන්ටි මීටර් 01 ක පමණ ප්‍රමාණයකි. මේ ආකාරයෙන් භූ තැටි එකිනෙක ගැටීම හෝ ලිස්සා යෑම හේතුවෙන් සුනාමී තරංග ඇති විය හැකිය. සාමාන්‍ය මුහුදු තරංගයක් ඇති වූ විටකදී එහි තරංග දෙකක් අතර දුර (තරංග ආයාමය) මීටර් 80 – 120 ත් අතර වේ. නමුත් සුනාමී මුහුදු තරංගයකදී මෙම දුර කිලෝ මීටර් 180 – 250 ක් පමණ විය හැකිය. ගැඹුරු මුහුදේ ගමන් කරන මුහුදු යාත්‍රාවකට සුනාමී තරංගයක බලපෑම නොදැනෙන්නේ මේ නිසාය. නමුත් සාමාන්‍ය මුහුදු තරංගයකට වඩා සුනාමී මුහුදු තරංගයක වේගය බොහෝ සෙයින් වැඩිය. එය ඇතැම් විට පැයට කිලෝ මීටර් 800 ක් 900 ක් පමණ විය හැකිය.

සුනාමී තරංගයක වේගය බොහෝ විට තීරණය වන්නේ මුහුදු පතුලේ ස්වභාවය අනුවය. මුහුදු පතුලේ බෑවුම වැඩිවන විට තරංගයේ වේගයද වැඩිය. බෑවුම අඩු අවස්ථාවලදී සුනාමී රළ ගමන් කරන්නේ සෙමින්ය. එවන් අවස්ථාවල වෙරළබඩ ජනයාට රට තුලට දිව යෑමට අවස්ථාව උදා වේ. මුහුදු පතුලේ බෑවුම වැඩි ස්ථානයන්හි සුනාමී රළ වේගයෙන් වෙරළට කඩාවදින නිසා සිදුවන විනාශයද අතිමහත්ය. පළමු සුනාමී තරංගය වෙරළට කඩාවැදී ඊලග තරංගය පැමිණීමට පෙර මුහුදු ජලය පසුබෑම හෙවත් ආපසු ගලායෑම සිදුවේ. මෙසේ සිදුවන්නේ සුනාමී තරංග දෙකක් අතර දුර ඉතා අධික නිසාය. එයට හේතුවන්නේ සුනාමී තරංගයේ නිම්න කොටසයි.

ගොඩබිම දෙසට පළමුව පැමිණෙන සුනාමී තරංගය නිම්නයක් නම් වෙරලාශ්‍රිත ජලය අඩුවී දියේ ගිලී පවතින ප්‍රදේශ නිරාවරණය විය හැකිය. එවිට වෙරළ ආසන්නයේ සිටින අයෙකුට මුහුද පසුපසට ගමන් කරන අයුරු දැකිය හැකිය. වෙරළ ආශ්‍රිත මුහුදු පතුල නොගැඹුරුනම් මෙසේ මුහුද පසුපසට යෑම මීටර් සියගණනක් වියහැකිය. එවිට වෙරළ ආසන්නයේ ජනයා කලයුතු වන්නේ උස්බිම් ප්‍රදේශයකට පලායෑම හෝ උස ගොඩනැගිල්ලක ඉහළම මාලයට නැගීමයි. නමුත් වෙරළාසන්න ජනතාව කුතුහලයෙන් මුහුදට පැමිණ මාළු, ජලජ පැලෑටි හා වෙනත් දෑ එකතු කරමින් සිටී. සුනාමී තරංගයේ ශීර්ෂ කොටස හේතුවෙන් ඊලගට පැමිණෙන විශාල ජලකඳ පිළිබඳව අවබෝධයක් නොමැති මෙම ජනතාව මේ නිසාම විශාල වශයෙන් සුනාමියේ ගොදුරු බවට පත් වේ. ජපානය වැනි රටවල සුනාමී රළ වෙරළට කඩාවදින වේගය අවම කරගැනීම සදහා මීටර් 4 – 5 උසින් යුත් ජලබාධක ඉදිකර තිබේ. එයට අමතරව ගොඩබිමට පැමිණෙන ජලය ආපසු හරවා යැවීමට ඇලවේලී මෙන්ම කානු පද්ධතිද සකසා ඇත.

සුනාමී තත්ත්වයන් ලොව පැරණි ජනයා හැදින්වූයේ මුහුද ගොඩගැලීම් ලෙසිනි. මීට වසර 2500 කට පමණ පෙර රාම – රාවණා යුද්ධයේදී දරුණු යුද්ධ උපකරණ භාවිතා කිරිම හේතුවෙන් හිමකඳු දියවී ගොස් මුහුද ගොඩ ගැලීමක් සුදුවූ බව සදහන් වේ. මේ හේතුවෙන් ගම්මාන 470 ක් හා වරායවල් 970 ක් විනාශ වූ බවද රාජාවලියේ සදහන්ය. වසර 2000 කට පමණ පෙර කැළණිතිස්ස රජු විසින් භික්ෂුවක් මරාදැමීම හේතුවෙන් ඇති වූ සාපයෙන් මුහුද ගොඩගැලිමක් සිදුවු බව මහාවංශයේ සදහන්වේ. ක්‍රි.පූ. 500 දී පමණ ස්කොට්ලන්තයේ සුනාමී බලපෑමක් සිදුවු බව පැරණි පොත පතේ සදහන්ය.

1755.11.01 දින පෘතුගාලයේ ලිස්බන් වල ඇතිවූ උසින් මීටර් 10 ක් වූ සුනාමියක් හේතුවෙන් මිනිසුන් 30,000 ක් මියගොස් තිබේ. 1883.08.06 දින ඉන්දුනීසියාවේ ඇතිවූ උසින් මීටර් 35 ක් වූ සුනාමියෙන් මිනිසුන් 36,000 ක්ද 1896.07.15 දින මීටර් 29 ක් උසින් ජපානයේ ඇතිවූ සුනාමියෙන් මිනිසුන් 27,000 ක්ද මියගොස් ඇත. 1933.03.12 දින ජපානයේ ඇති වූ සුනාමියෙන් පුද්ගලයින් 300 ක්ද මියගොස් ඇත. එම සුනාමිය උසින් මිටර් 20 කි. 1946.04.01 දින උසින් මීටර් 15 කින් යුතුව ඇලස්කාවේ ඇතිවු සුනාමියෙන් මිනිසුන් 179 දෙනෙක්ද, 1960.03.22 දින චිලියේ උසින් මීටර් 8.4 කින් යුතුව ඇතිවු සුනාමියෙන් මිනිසුන් 1250 ක්ද, 1996.07.12 දින උසින් අඩි 12 කින් යුතුව පැපුවානිව්ගිනියාවේ ඇතිවූ සුනාමියෙන් මිනිසුන් 3000 ක්ද මියගොස් තිබේ. මෙයට අමතරව 1929.11.18 නවසීලන්තය, 1952.11.04 රුසියාව, 1958.07.09 රුසියාව, 1974.03.24 ඇලස්කාව, 1976.08.16 පිලිපීනය, 1992.09.01 නිකරගුවාව, යන රටවලද පෙරකී තරමේ ජීවිතහානී සිදුනොවූ සුනාමි තත්ත්වයන් ඇතිවී තිබේ. මෙයින් 1883 ඉන්දුනීසියාවේ සුනාමිය ගිනිකන්දක් පිපිරීමෙන්ද 1958 රුසියාවේ සුනාමිය න්‍යාය යෑමකින්ද සිදුව තිබෙන අතර අනෙක් සියළු සුනාමී තත්ත්වයන් ඇතිවී ඇත්තේ භූමිකම්පා හේතුවෙනි. මෙයට අමතරව 1956 දී හා 1979 දී චීනයේ ඇතිවූ සුනාමී තත්ත්වයන් දෙකක් හේතුවෙන් පිළිවෙලින් ලක්ෂ 08 ක් හා ලක්ෂ 06 මිනිසුන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දු තලය උඩින් බුරුම තලය ලිස්සා යෑම හේතුවෙන් 2014 වසරේ සුනාමී තත්ත්වය ඇති වී තිබේ. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල මෙම භූමිකම්පාව ඇතිවී තිබේ. මෙම ලිස්සා යෑමේදී භූතලය මීටර් 30 ක් පමණ ඉහළට එසවී ඇත. එයින් පෘතුවිය සිය කක්ෂය වටා භ්‍රමණය වීමටද ප්‍රබල බලපෑමක් ඇතිව තිබේ. මේ බැව් තහවුරු වී ඇත්තේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මගින් කරන ලද අධ්‍යයනයකිනි. මේ හේතුවෙන් පෘතුවිය අගහරු ග්‍රහයා දෙසට මදක් තල්ලු වී ගොස් ඇත. ඒ නිසාම පෘතුවිය කක්ෂය වටා භ්‍රමණය වීමට ගතවන කාලය මයික්‍රෝ තත්පර 03 කින් වෙනස් වී ඇත. මේ නිසා පෘතුවිය කාලගුණික වෙනස්කම් රැසකට මුහුණ පා තිබේ. සුමාත්‍රා දූපත්ද මීටර් 100 කින් නිරිත දිගට තල්ලු වී තිබේ. කොරල්පර ඇතුළු වෙරළ පාරසරික පද්ධති රැසක් වෙනස් වී ඇත. සුනාමී තත්ත්වයන් 80 % ක්ම ඇති වන්නේ පැසිෆික් සාගරයේය. කෙසේ වෙතත් රටමැද විශාල ජල ඝනත්වයක් සහිත විලක වුවත් සුනාමී තත්ත්වයක් ඇතිවිය හැකිය. නමුත් 2014 ඇති වූයේ ලොව විශාලතම සුනාමියක් නොවන බවද සාගර විද්‍යාඥයින්ගේ මතයයි.

2014 සුනාමියෙන් රටවල් 11 කට හානි සිදුව තිබේ. මෙය රිට්ටර් මාර්පකයේ 9.3 ක් ලෙසින් සටහන් විය. මෙයින් වැඩිම ජීවිතහානී සිදුවූයේ ඉන්දුනීසියාවටය. එම රටේ මිනිසුන් 2,37,071 ක් මියගිය අතර 1,13,937 ක් අතුරුදන් විය. දෙවැනි වැඩිම විනාශය සිදුවූයේ ශ්‍රී ලංකාවටය. ලංකාවේ මිනිසුන් 30,957 ක් මියගිය අතර 4698 ක් අතුරුදන් විය. ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 16389 කි. එහි 5554 ක් අතුරුදන් වී තිබේ. තායිලන්තයේ 5393 ක් මියගිය අතර 2994 ක් අතුරුදන් විය. මාලදිවයිනේ 82 නෙක් මියගොස් 26 දෙනෙක් අතුරුදන් වූ අතර මැලේසියාවේ 68 දෙනෙකු මියගොස් තිබේ. මියන්මාරයේ 61දෙනෙක්ද, බංගලාදේශයේ 02 නෙක්ද, කෙන්යාවේ 01 අයෙන්ද මියගොස් තිබේ. සියළු රටවල්හි අතුරුදන් වූ ප්‍රමාණය 1,27,209 ක් වන අතර ඉතා සුළු පිරිසක් හැර මෙයින් බහුතරයද ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සිතිය හැකිය. කුඩා දරුවන් යම් ප්‍රමාණයක් වෙනත් පුද්ගලයින් අතට පත්ව හැදී වැඩෙන්නටද පුළුවන.

මෙයින් ශ්‍රි ලංකාවේ අම්පාර, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි මිනිසුන් 30,957ක් මියගොස් 4698 ක් අතුරුදන් විය. තුවාල ලැබූ පිරිස 21,441 කි. ළමයින් 3954 කට මව හෝ පියා අහිමි වූ අතර ළමුන් 979 කට මව හා පියා යන දෙදෙනාම අහිමි විය. සුනාමියෙන් දිවයින පුරා නිවාස 41,000 ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර 29,500 ක් නිවාස අර්ධ වශයෙන් හානියට පත්විය. අවතැන් වූ සංඛ්‍යාව 80,000 ක් විය. පාසැල් 152 ක් හා පාලම් 10 ක් විනාශයට පත්විය. දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 160 ක් විනාශ වූ අතර කිලෝ මීටර් 7000 ක් පමණ විදුලි රැහැන් විනාශයට පත්විය. මෙම විදුලි රැහැන් වල වටිනාකම රුපියක් බිලියන 12 කි. ඔරු, බෝට්ටු 15300 ක් විනාශයට පත්වූ අතර විනාශ වූ මාදැල් වල වටිනාකම රුපියල් දස ලක්ෂ ගණනකි. සුනාමී ව්‍යසනය හේතුවෙන් රුපියල් 5000/- රජයේ දීමනාව පමණක් 2,34,000 කට ලබාදී ඇත. ධීවර, සංචාරක මෙන්ම වෙරළ ආශ්‍රිත සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත රැසක් විනාශයට පත් වූ අතර එහි සමස්ථ වටිනාකම රුපියල් බිලියන 25 කට අධිකය.

බෞද්ධ විහාරස්ථාන 79 ක් විනාශයට පත්විය. ඒ ගාල්ල 32 ක්, මාතර 22ක්, හම්බන්තොට 14 ක්, කළුතර 05 ක්, කොළඹ 03 ක්, ගම්පහ 01 ක් හා ත්‍රිකුණාමලයේ 02 ක් වශයෙනි. මෙයින් වැඩිම විහාරස්ථාන සංඛ්‍යාවක් විනාශයට පත්ව තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේය. එයින් විහාරස්ථාන 14 ක් බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ය. මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි දේවස්ථාන, සුරුවම්, කෝව්ල් හා හින්දු දේවස්ථානද විශාල වශයෙන් විනාශයට පත්විය.

සුනාමී ව්‍යසනයෙන් එකම ස්ථානයේ විශාල පිරිසක් මියගියේ ගාල්ල, පැරෑලියේදීය. ඒ කොළඹ සිට ගාල්ල බලා ධාවණය වූ දුම්රියේ සිටි මගීන්ය. පෙ.ව 6.55 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කල අංක 8050 දුම්රියේ ගමන් කල පිරිස නිශ්චිතවම කිව නොහැකි බව එකල දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. නමුත් එහි ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් 1700 ක් පමණද ප්‍රවේශපත්‍ර ලබානොගත් මගීන් නොදන්නා ප්‍රමාණයක්ද සිට තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මතය විය. මෙයින් දුම්රිය මැදිරි 08 ක සිටි මගීන් 1700 කට අධික ප්‍රමාණයක් මියගොස් තිබූ අතර 100 කට පමණ තුවාල සිදුවිය. යම් පිරිසක් දිවිගලවා ගැනීමටද සමත්ව ඇත. දුම්රිය එදින පෙ.ව. 9.30 පමණ වන විට තෙල්වත්ත, පැරෑලිය අසල ප්‍රදේශයේ ගමන් කරමින් තිබියදී අනතුරට ලක්විය. මුහුදු රළ මීටර් 7.5 ක් 08 ක් පමණ උසින් යුක්තව පැමිණ වේගයෙන් දුම්රියේ ගැටී ඇත. දුම්රියේ එම් – 02 වර්ගයේ අශ්වබල 1425 කින් යුත් එන්ජිමත් මැදිරිත් විසිවී තිබුණේ ගිනිපෙට්ටි මෙනි. අනතුර සිදුවී පැය කීපයකට පසු බලධාරීන් දුම්රිය තිබෙන අයුරු දැකගෙන ඇත්තේ ගුවනින් කල නිරීක්ෂණයකින් පසුවය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනාගාර නිලධාරී එව් සී ආර් ෆොන්සේකා මහතා දුම්රියේ මැදිරි විසිවී තිබූ අයුරු දුම්රිය බලධාරීන්ට පෙන්වූයේ සටහනක් මගිනි. දුම්රියේ මියගිය 200 කගේ පමණ මලසිරුරු හදුනාගැනීමට පවා නොහැකි වී ඇත.

මෙම දුම්රියේ දුම්රිය නියාමකවරයා ලෙස එදින කටයුතුකරන ලද්දේ කරුණාතිලක වනිගරත්න මහතාය. ඔහු දිවිගලවා ගැනීමට සමත් විය. පළමු රළ පහර දුම්රියේ ගැටී ඒ වටා ගිය බවත් දෙවන රළ පහරට සම්පූර්ණයෙන්ම දුම්රිය විනාශ වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි. දෙවැනි රළ පහර එද්දී තමා දුම්රියට ගොඩ වූ බවත් දුම්රිය පෙරලුන පසුව කවුලුවකින් එලියට පැමිණි බවත් ඔහු ප්‍රකාශකර තිබුණි. පළමු රළ පැමිණීමේදී දුම්රිය නතර කල බවත් එසේ කළේ මුහුදු රළ ගැටුණද දුම්රිය නිරුපද්‍රිතව පීලීමත තිබේවී යැයි සිතා බවත් අනතුර සම්බන්ධයෙන් පසුව පැවති රීක්ෂණයේදී දුම්රිය නියාමකවරයා ප්‍රකාශ කර තිබුණි.

ලෝක ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධ අනතුරකදී වැඩිම පිරිසක් මිනිසුන් මියගොස් ඇත්තේ මෙම දුම්රිය අනතුරෙනි. එය 2014 ශ්‍රි ලංකා සුනාමී දුම්රිය ව්‍යසනය නමින් හදුන්වයි. මෙම දුම්රිය අනතුරු වර්ගය නම්කර ඇත්තේ සුනාමී රළ දුම්රියක ගැටීම යනුවෙනි. මීට පෙර දුම්රියක් හා සම්බන්ධව වැඩිම මරණ ගණන වාර්තා වී ඇත්තේ 1981 ජුනි 06 දින ඉන්දියාවේ සිදුවූ බිහාර දුම්රිය අනතුරයි. මෙම අනතුරින් මියගිය ගණන 800 කි. දුම්රිය, අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොළේ නතර කර තිබියදී දුම්රිය ඉදිරියට ගමන් කිරිම නතර කිරීම සදහා දුම්රිය පාලක මැදිරිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයාට දැනුම් දිමට දුරකතන ඇමතුම් ගත්තත් දුරකතනයට පිළිතුරු දීමට කිසිවෙක් පැමිණ නැත. එම අවස්ථාවේ දුම්රිය ස්ථානාධිපතිවරයා සිට ඇත්තේ දුම්රියේ නියාමක මැදිරිය ආසන්නයේ කිරිහට්ටි බෑමට සහය දක්වමිනි. එකල යාබඳ දුම්රිය ස්ථානයක ස්ථානාධිපතිවරයා දුම්රියෙන් කිරි ගෙනවිත් විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටඇති අතර ඔහුට සහයට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් සිට ඇත. දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය පාලක මැදිරිය ඇමතුවේ නම් 1700 කගේ ජීවිත මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ දේපලද රැකෙන්නට ඉඩ තිබුණි. ඒ නිසාම වර්තමානයේ කොළඹින් 6.55 ට පිටත්ව මාතර බලා යන මෙම දුම්රිය ගාල්ල ප්‍රදේශයේ ජනතාව හදුන්වනු ලබන්නේ කිරි කෝච්චිය නමිනි.

සුනාමී අධාර එවකට පැවති රජයේ යාන්ත්‍රණය වෙනස් කරන්නටද සමත් විය. ඒ සුනාමී සහන මණ්ඩල පනත හරහාය. සුනාමී සහන මණ්ඩලය ඇති කළේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඉල්ලීම අනුවය. ඒ අනුව රජය රුපියල් කෝට් 3000 ක් ප්‍රභාකරන්ට ලබාදෙන්නට පොරොන්දු විය. ඒ සුනාමියෙන් විනාශ වූ උතුරු නැගෙනහිර යලිගොඩනැගීම සදහාය. එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම මුදල ලබාදීමට දැඩි වෙහෙසක් ගත්තේය. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතාය. ඕමල්පේ සෝභිත හිමියන් දළඳා මාලිගාව ඉදිරිපිට කරන ලද මාරාන්තික උපවාසය නිසාවෙන් පනත හකුලාගන්නට රජයට සිදුවිය. සෝභිත හිමියන්ගේ අදහස වූයේ උතුරට ලබාදෙන මුදල් වලින් ප්‍රභාකරන් අවිආයුධ මිළදී ගනීවිය යන්නයි. 

සුනාමී ව්‍යසනයෙන් අපරට ගොඩගන්නට රටවල් 50 ක් ආධාර කර තිබේ. එයට අමතරව ස්වේච්ඡා සංවිධාන මෙන්ම විදෙස් රටවල සිටින ශ්‍රී ලංකිකයින්ද විශාල වශයෙන් අධාරකර තිබේ. ලැබුණු ආධාර ප්‍රමාණය රුපියල් කෝටි 25,000 කට අධිකය. මෙම අධාර සම්බන්ධයෙන්ද නොයෙක් මත ප්‍රචාරය විය. බොහෝ ආධාර බොහෝ අයගේ සාක්කු වලට ගියබව නම් සැබෑය. මිනිස් ජීවිත හැර අන් සියල්ලම ලබාදුන් බව එකල රජය ප්‍රකාශ කළේය. ජීවත්ව සිටින ඇතැම් අය මුහුදෙන් ගලා ආවේ රත්තරන් වතුර යැයි කියන තරමටම ඇතැම් අයගේ සුනාමියෙන් අතමිට සරුවිය. නමුත් කෝට්පතියන් යූයේ සුනාමියෙන් බැටකෑ අයනම් නොවේ. සුනාමියෙන් විපතට පත් බොහොමයක් අදටත් අන්ත දුංකිත ජීවිත ගතකරන බවනම් කිව යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *