පළගැටි විශේෂයක් දකුණු පළාත තුල ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ආහාර බෝග වගාවන් විනාශ කරන කහතිත් පළගැටියා නමින් හදුන්වන පලගැටියෙකු දකුණු පළාත තුල ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇතිව තිබෙන බව දකුණු පළාතේ ගොවීහු ප්‍රකාශ කළේය. මෙම පලගැටියා පොල්, පුවක්, කුරුදු මෙන්ම කෙසෙල් වගාවන්ට වැඩි වශයෙන් හානි කරන බවද ගොවි ජනතාව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙම පලගැටියා මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද, පුහුල්වැල්ල, වලස්මුල්ල, දෙවිනුවර, ඌරුගමුව, දික්වැල්ල ප්‍රදේශ වලින් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් හමු වී තිබෙන බව තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි. කහතිත් පලගැටියා ශ්‍රී ලංකාවට ආවේණික පලගැටියෙකු නොවන බවත් වැඩිදුර පර්යේෂණ සදහා මෙම පලගැටියාගේ සාම්පල ලබාගත් බවත්  තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. කෙසේ වෙතත් මෙම පලගැටියා කාන්තාර පලගැටියා නොවන බවද තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය කියයි.

කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් පළමුවෙන් මෙම කහතිත් පලගැටියා හමු වී තිබේ. ඊට පසුව කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹේපුස්ස, රඹුක්කන, මාවනැල්ල, දැලිවල, අත්නගොඩ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බටුවත්ත මෙන්ම කිලිනොච්චියෙන්ද මෙම පලගැටියා පිලිබද තොරතුරු වාර්තා වී තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කහ තිත් පලගැටියා වාර්තාවීමත් සමග පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව රසායනික කෘමිනාශක ඉස පලගැටියා පාලනය කිරීමට පියවරගෙන තිබේ.

දකුණු පළාත තුලද කහතිත් පලගැටියා ව්‍යාප්තවීම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පියවර ගෙන තිබෙන බව දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙම පළගැටියා ව්‍යාප්තවීම වැලැක්වීම සදහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය පළගැටියා සිටි ප්‍රදේශ වලට කෘෂි රසායනික දියර ඉසීමත් පලගැටියන් බහුල වගාවන් ගිනි තැබීමට සහ කුරුදු ඉඩම් ආදිය එළි පෙහෙලි කිරීමටත් පියවර ගෙන තිබේ. එයින් පසු පළගැටියා පැතිර යෑම සම්පුර්ණයෙන්ම පාලනය කරගැනීමට හැකිවූ බවද දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

වගාවන් මත වසා සිටින කහතිත් පලගැටියන් සහිත ඡායාරූප කිහිපයක් ඉහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *