හැමදාම බුදු පහන තියලයි යන්නේ. එදා බුදු පහන තියන විටම නිවුණා

සන්තානම් මෑණියන්ගේ පිහිට නොලද ධීවරයෝ

සිද්ධිය වූ දිනයේ රෑ දොළහට (12) විතර බෝට්ටුවේ වීල් එක කල්හාර අයියට දීල මම නිදාගන්න පිටි පස්සට ගියා. පැයක් විතර යන විට එක පාරටම විශාල ශබ්දයක් ඇවිත් මම වතුරට වැටුණා යැයි මුහුද මැදදී බෝට්ටුව නැවක වැදීමෙන් සිදු වූ අනතුරෙන්  දිවි ගලවාගත් බළපිටිය, හීනටිය, පන්සල පාරේ පදිංචි එරන්ද පුෂ්ප කුමාර මහතා (23) සිය බිහිසුණු අත්දැකීම විස්තර කරමින් එසේ ප්‍රකාශ කළේය.

මෙම අනතුරෙන් බළපිටියේ පදිංචි හය දෙනෙතු ජීවිතක්ෂයට පත් ව තිබේ. පසුගිය ඊයේ (13) රාත්‍රිය වනතුරුත් කිසිදු මළ සිරුරක් සිය නිවෙස් වලට ගෙනැවිත් නොතිබිණි. බළපිටිය ප්‍රදේශයම එකම මළ ගෙයක් බවට පත් වී තිබූ මෙම බිහිසුණු අනතුර පිළිබදව එයින් දිවි ගලවාගත් එරන්ද පුෂ්ප කුමාර මහතා (23) තව දුරටත් ඒ පිළිබදව කරුණු දක්වමින් මෙසේද කීය.

මම අවිවාහකයි. දැන් අවුරුද්දක පමණ කාලයක සිටයි, මුහුදු රක්ෂාව කරන්නේ. 11 වැනිදා සවස 6.30 ට විතර අපි මලිදු පුතා බෝට්ටුවෙන් මුහුදු ගියා. මමයි, සුදුවයි, කල්ලාරයි, රාජයි, කමලුයි, සම්පත් අයියයි, අමිලයි රස්සාවේ ගියා. බෝට්ටුවේ වීල් එක මට රෑ අටට විතර සුදුවා දුන්නා. රෑ 12 ට විතර මම වීල් එක කල්ලාර අයියට දුන්නා. නිදිමතයි කියල කිව්වම විහිළු කරන්නෙ නැතුව වීල් එක ගන්න කිව්වම ගත්තා. මම මෙට්ටයකුත් අරගෙන පිටිපස්සට ගියා නිදා ගන්න.

පැයකට විතර පස්සෙ එක පාරටම ශබ්දයක් ආවා. ඒ එක්කම මම පිටිපස්සට වීසි වී වතුරට වැටුණා. ඒ අසල නැවක් තිබෙනවා දැක්කා. ඉස්සරහට පීනන විට බෝට්ටුව තිබෙනවා දැක්කා. ඒ බෝට්ටුවේ ඒල්ලිලා උදේ වන තුරු හිටියා. මම කෑ ගහන්න කෑගහන්න නැව ගියා නැවැත්තුවේ නැහැ. සුදුවෝ සුදුවෝ කියල මම කෑගැසුවා. ඇන්ජිම ඇතුළෙ ඉන්නවා කියල කිව්වා. එළිය වැටෙන විට ඔවුන් කතා කළේ නැහැ. උදේ දහයට විතර නේවි එකේ බෝට්ටුවක් ඇවිත් මම බේරා ගත්තා යැයිද එරන්ද පුෂ්ප කුමාර මහතා (23) කීය.

මෙම අනතුරින් ජීවිතකුෂයට පත් වූ බළපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි අලව්වගේ සිසිර සම්පත් (29) දෙරු පියෙකි. ඔහුට අවුරුදු හයක කුඩා දියණියක් සහ මාස හයක කුඩා පුතෙක් සිටිති. ඔහුගේ බිරිය වන හක්කිණි මල්ලිකා කුමුදුනී මහත්මිය (24) අප සමග මෙසේ කීවාය.

අවුරුදු පහළොවක කාලයක සිට මගේ මහත්තයා මුහුදු රස්සාව කරන්නේ. අපි විවාහ වෙලා අවුරුදු හතක් විතර වෙනවා. දෙපාරක් රට ගියා. බේරුවල රංමල්ලි නැමති අයට අයිති මලිදු පුතා බෝට්ටුවේ වැඩ කරන්නේ. 11 වැනිදා උදේ නමයට විතර මුහුදු යන්න ගියේ. හැමදාම බුදු පහන තියලයි යන්නේ. එදා බුදු පහන තියන විටම නිවුණා. සවස හතරට විතර කෝල් එකක් ගත්තා. ආයෙත් රෑ අටට විතර කෝල් එකක් අරගෙන උදේට ගිහින් මුදලාලිගෙන් සල්ලි ඉල්ල ගන්න කිව්වා. දුව තාත්තේ තාත්තේ කියල කියන විටම කෝල් එක කට් වුණා. 12 වැනිදා සවස තුනට විතර තමයි අපට ආරංචි වුණේ. දරුවෝ දෙන්නට පණ වගේ ආදරේ මගේ මහත්තයට මේ වගේ විපතක් ඇයි දෙයියනේ වුණේ.

බළපිටිය, වැලිවත්ත කෝවිල අසල පදිංචි හඳුන්නෙත්ති කමල් පියසිරි මැන්දිස් (35) අයද මෙම අනතුරින් මියගොස් තිබේ. අවිවාහකයකු වන ඔහුගේ ඥාති සහෝදරියක් වන එදිරිමුණි සුරේකා ලසන්ති ද සොයිසා මහත්මිය (36) සිද්ධිය සම්බන්ධයෙන් අප සමග මෙසේ කීවාය.

මොහු රස්සාව වශයෙන් කළේ තුරුඳු තැලීම හා මේසන් වැඩයි. ඇල්පිටියේ කුරුඳු තලන්න ගිහින් ඉරිදා හවසයි, ගෙදර ආවේ. කට්ටිය එක්ක කතා නරගෙනයි මුහුදු ගියේ. මේ මුහුදු ගිය පළමු වතාවමයි. දේවාලයට ගිහින් පූජා වට්ටියකුත් තියල කට්ටිය එක්ක ගියේ. බෝට්ටුවේ ස්කීපර් හැටියට ගියේ තුෂාර හෙවත් සුදූයි. ඔහුගේ අයියගේ ෆෝන් එකට කෝල් එකක් ඇවිත් තිබුණා මල්ලිලා ගිය බෝට්ටුව අනතුරට පත්වෙලා කියල. මොහු විනෝදයට වගේ ගියේ. පීනන්නවත් බැහැ. ඇයි අපිට මෙහෙම කරදරයක් වුණේ.

අගම්පොඩි තුෂාර ද සොයිසා (20) බළපිටිය වැලිවත්තේ පදිංචි අයකි. අවිවාහකයකු වන ඔහුගේ මව වන හෙන්දාදුර සමන් කුමාරි මහත්මිය (51) පුතාගේ වියෝව ගැන මෙසේ කීවාය. මොහු අවුරුදු අටක විතර කාලයක සිට කළේ ධීවර රස්සාවයි. ස්කීපර් හැටියටයි වැඩ කළේ. මගේ නංගිගේ පුතා වන අමිලත් එදා රස්සාවේ ගියා. සුසිල් කුමාර නැමති අයියගේ බෝට්ටුවේ කලින් වැඩ කළේ. ඒකෙන් අයින් වෙලයි, බේරුවල බෝට්ටුවේ වැඩට ගියේ. මීට පෙර ගිහින් දවස් 11 න් ආවා. මොහුගේ තාත්තත් කළේ ධීවර රස්සාවමයි. මීට අවුරුදු දෙක තුනකට ඉහතදී බළපිටිය මුහුදේ ඇතිවූ කුණාටුවට හසු වී තාත්තා මිය ගියා. ඉන් පස්සේ මේ ගෙවල් දොරවල් හදල අපට කන්න බොන්න දුන්නේ මේ පුතා තමයි. මගේ කොල්ල දැන් නැහැ. අඩන්නේ නැතුව ඉන්න පුඵවන්ද.

බළපිටිය වැලිවත්තේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගම්මානයේ පදිංචි ඇම්. ඩබ්ලිව්. ධනුෂ්ක මධුසංක හෙවත් රාජා (25) එක් දරු පියෙකි. මාස 11 ක් වයසැති කුඩා දියණියකගේ පියා වන ඔහුද මෙම අනතුරින් මියගොස් තිබේ. ඔහුගේ බිරියගේ මව වන ඇම්. නන්ද කාන්ති පෙරේරා මහත්මිය (51) සිය බෑණාගේ වියෝව පිළිබදව මෙසේ කීවාය.

අවුරුදු 18 ක කාලයක සිට සැමියා කරන්නේ මුහුදු රස්සාව. මීට පෙර මේසන් අත් වැඩ කළේ. නිලෙන්ති සුජීවා කුමුදුණී මලේ දුව සමග විවාහ වෙලා ඉන්නේ.

බළපිටිය බස් නැවතුම් පොළ ඉදිරිපිට ලොතරැයි කූඩුව ළඟට ඇවිත් යාඵවෙක් කිව්වා නැන්දා දන්නෙ නැද්ද, නැන්දගෙ බෑණා ගිය බෝට්ටුව නැවක හැපිලා කියල. ඒ වෙලාවේ තමයි අපි දැන මේ අනතුර පිළිබදව. ගත්තේ. මේ වගේ විපතක් වුණේ මොන කරුමයක් කළාටදැයි කියල දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරක් යැයිද කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *