මැතිවරණයද ජන ජීවිතයද වටින්නේ රට සුවපත් කර ඡන්දය තියන්න

අපි කොරෝනා දේශපාලන වාසියට ගත්තේ නැහැ එදා විපක්ෂය පාස්කු බෝම්බ ප්‍රහාරය පාවිච්චි කළා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කියයි

මොහොතේ ආණ්ඩුව ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවරු කිරීමට වඩා බලය ඩැහැ ගැනීමට කල්පනා කලත්, වගකිව යුතු ජනතාවාදී පක්ෂයක් ලෙස තම පක්ෂයට ආණ්ඩු බලයකට වඩා මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ජීවිත ගැන සැලකිල්ලට ගැනීමට සිදුවන බව ‘සමගි ජන බලවේගය’ පවසයි.

එහි මහ ලේකම්, හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර එබව සඳහන් කලේ බාරකාර රාජපක්ෂ ආණ්ඩුව, කොරෝනා වසංගත තත්වය නිමානොවී ඇති පසුබිමක මහ මැතිවරණය පැවැත්වීමට දරන උත්සාහය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.

කොරෝනා වසංගතය දුරු කිරීම මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ වගකීමක් ද මාධ්‍ය වෙත පැවරී තිබෙන බව ඔහු එහිදී කියා සිටියේය. ”ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරන්න රජයට වගේම විපක්ෂයටත් එකවගේම අයිතිය ලබා දෙන්න කියලා මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.” යයි හෙතෙම කියා සිටියේය.

එහිදී ඔහු වත්මන් දේශපාලන පසුබිම ගැන මෙසේ කරුණු පැහැදිලි කළේය.

”ලැබුවා වූ අලුත් අවුරුද්දේ අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු මේ කොරෝනා වසංගතයෙන් මේ රට බේරගෙන ජනතාවට ශක්ති සම්පන්නව ජීවත්වීමේ වාසනාව ලැබේවා කියලා.

අද මේ රටේ වැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් තියෙනවාද? අපේ රටේ වෛද්‍යවරු, හෙදියන් රෝහල් කාර්යාමණ්ඩලය, ත්‍රිවිධ හමුදාව පොලිසිය ඉතාමත්ම කැපවීමකින් වගකීමකින් වැඩ කරනවා. ඒ සියලු දෙනාට සමගි ජනබලවේගයේ ගෞරවයත් ස්තූතියත් පිරිනමනවා, තමන්ගේ ජීවිතය ගැන නොසිතා මේ රාජකාරි ඉටු කිරීම සම්බන්ධව.

”අපි මේ අවස්ථාවේදී දේශපාලන වාසි ගන්නට ගියේ නැහැ”
‘පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය එදා මේ රටේ හිටපු විපක්ෂය තම දේශපාලන වාසියට යොදා ගත්තා.

ජාති, ආගම් කුල මළ නොතකා මේකට මුහුණ දෙන්න අපි අපේ සියලු ශක්තීන් යොදවනවා. සමගි ජන බලවේගය නිශ්ශබ්ද ඇයි කියලා සමහරවිට අහයි. සමගි ජනබලවේගය කිසිම විටෙක මේ තත්වය තුළින් දේශපාලන වාසි ගන්නට ගියේ නැහැ.

මට මතක් වෙන්නේ අවුරුද්දට ඉස්සෙල්ලා සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය මේ රටේ එදා හිටපු විපක්ෂය දේශපාලන වාසිය සඳහා හරවගත්තා.

අද අපි මේ සිද්ධිය දේශපාලනයට හරවා ගන්නේ නැහැ අපි වෛද්‍යවරු, හමුදාව, පොලිසිය දුන්න උපදෙස් පිළිඅරගෙන නිශ්ශබ්දව සිටියේ මේකෙන් දේශපාලන වාසි නොගෙන රටක් විදිහට අපි මේ ප්‍රශ්නෙට මුහුණ දිය යුතු නිසයි.

අපි විපක්ෂයක් විදිහට මේ අවස්ථාවේ කොතනක හරි වැරදීම් සිද්ධවෙලා තියෙනවා නම් ඒවාට කතා කරන එක අපේ කාර්යයයි.

”වෛද්‍යවරුන්ගේ උපදෙස් අරගෙන පරීක්ෂණ ගණන වැඩි කරන්න”

පහුගිය දවස්වල වෛද්‍ය සංගමය ප්‍රකාශ කරා ජර්මනිය, කොරියාව වගේ රටවල් කොරෝනා සම්බන්ධ පරීක්ෂණ වැඩි වශයෙන් කරලා මේ තත්වය වැඩ පැවත්වා ගනිමින් තිබෙන ආකාරය. අපේ රටේ තාම එම පරීක්ෂණ 5000 යි කරේ. අපිට චීනයෙන් හතලිස් දාහක් කට්ටල හම්බවුනා. රජයෙන් අපි ඉල්ලා සිටිනවා වෛද්‍යවරුන්ගේ උපදෙස් අරගෙන මේ පරීක්ෂණ වැඩි කරන්න කියලා.

අද වෙනවිට පොලිස් ඇඳිරිනීතියට දින 24 ක් වෙනවා. එදිනෙදා හම්බකරගෙන ජිවත්වෙන උදවිය රෝගීන් මහළු අය, දවස් 24 ක් එක තැන ජීවත්වීමේ අරගලයක් යෙදෙනවා. මේ රටට නොයෙක් ආපදා ගංවතුර, සුලිසුලං, නායයාම්, නියඟයන් වගේ තත්වයන් ආව හැම විටම රජයක් විදිහට අපි ඒ සියල්ලට මුහුණදීලා ඒ සියලු අවස්ථාවල ජනතාවට අපි උදවු කරා කෙටි කාලසීමාවක් ඇතුළත.

එවැනි ආපදා රටේ කොටසකට වෙන්න පුලුවන්. නමුත් මේ වසන්ගත තත්වය මුලු රටේම ජනතාව පීඩාවට පත්කරමින් සිටිනවා.

ජනතාව බඩගින්නෙන් මුදවා ගැනීමට රාජ්‍ය යන්ත්‍රනයක්!

රජයේ යුතුකම තමයි ආපදාවකදී වගේම මෙවැනි ව්‍යසන තත්වයකදී ජනතාව බඩගින්නෙන් මුදවා ගැනීම. හිටපු ආපදා කළමනාකරණ ඇමතිවරයෙක් විදිහට මම දන්නවා එවැනි අවස්ථාවල රජයේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. අමාත්‍යතුමා, අමාත්‍යංශ ලේකම්වරයා, දිසා ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවක කියන යාන්ත්‍රණය තමයි ක්‍රියාත්මක වුනේ.

මේ යාන්ත්‍රණය අපි හොඳින් ක්‍රියාත්මක කරා එවැනි අවස්ථාවල. මෙතනදී පක්ෂ පාට බලන්න හොඳ නැහැ. අපිට හොඳ ශක්තිමත් රජයේ නිලධාරීන්ගේ යාන්ත්‍රණයක් තිබෙනවා. අපි‌ මේ අවස්ථාවේ කොරෝනා මර්ධනය කරන කටයුතු වලට ප්‍රශංසා කරනවා වගේම ගමේ පීඩාවිඳින මනුස්සයාගේ පැමිණිල්ලක් තියෙනවා නම් අපි ඒ සම්බන්ධව කතාකරන්න ඕනේ විපක්ෂයක් විදිහට.

අද මේ ආපදා යාන්ත්‍රණයත් දේශපාලනීකරණය වෙලා තිබෙනවා. ඇමතිවරයා වෙනුවට දේශපාලන පක්ෂයක ජාතික සංවිධායකවරයෙක් මේ ආපදා ඒකකයේ කාර්ය සාධන සභාපති කරලා තියෙනවා මැතිවරණයක් ප්‍රකාශයට පත්කරලා තිබෙන මොහොතක.

ගම්මට්ටමේ මේ ආපදාවට මුහුණ දෙන අයට මූල්‍යමය සහ අනෙකුත් සහනාධාර දෙන අවස්ථාවේදී ඒකේ නායකයා කරලා තියෙනවා මැතිවරණයක් වෙලාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක්.

අපි දේශපාලන වාසි නොගන්න වෙලාවක මම කියනවා රජය දේශපාලන වාසි තකා දේශපාලන යාන්ත්‍රණයක් යොදවලා තියෙනවා කියලා. මේක හොඳ දෙයක් නොවෙයි. අපිට පැමැණිලි ලැබිලා තියෙනවා අනෙක් පාක්ෂිකයින්ට රජයේ දෙන සහනාධාර ලැබෙන්නේ නැහැ කියලා.

කරුණාකරලා මම ඉල්ලා සිටිනවා මේකෙන් දේශපාලන වාසි ගන්නේ නැතුව මේක රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයට දීලා ක්‍රියාත්මක කරන්න කියලා.

දවස් 24 ක් පොලිස් ඇඳිරිනීතිය තිබෙන අවස්ථාවක අද රජයෙන් රුපියල් 5000 ක් විතරයි මූල්‍යමය ආධාරයක් විදිහට ලබා දෙන්නේ. සමහරක් අයට හම්බවෙලා තියෙනවා තවත් සමහරුන්ට ඒ පන්දාහත් නෑ.

අද අපි දන්නවා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, චීනය ඇතුලුව තවත් රටවල් අපිට ආධාර ලබා දීලා තියෙනවා. අපි ඉල්ලා සිටිනවා ඒ ආධාරවලින් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන්න කියලා. රුපියල් පන්දාහකින් මාසයක් ජීවත්වෙන්න පවුලකට පුලුවන්ද?

මෙහෙම කොහොමද මැතිවරණයකට යන්නේ ?

අනිත් කාරණාව තමයි මෙවැනි තත්වයක් තුළ අපි කොහොමද මැතිවරණයකට යන්නේ කියන එක. 20 වැනිදා මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියා මැතිවරණයක් තියන්න රටේ වාතාවරණයක් නැහැ, මේ මැතිවරණය තියෙනවා නම් නිලධාරීන් පුහුණු කරන්නට ඕනේ. අපේක්ෂකයින්ට සහ මහජනතාවට මැතිවරණයකට මුහුණ දෙන්න රටේ සෞඛ්‍ය ආරක්ෂාව තියෙන්නට ඕනේ කියලා.

නාමයෝජනා දීල දවස් 28 ක් වෙනවා තාම මැතිවරණ අපේක්ෂකයින්ට තමන්ගේ මැතිවරණ අංකයවත් දීලා නැහැ. නමුත් ජනාධිපති ලේකම් කියනවා තව දවස් 14 කින් මැතිවරණය පවත්වනවා කියලා. මම අහනවා මේක ප්‍රජාතන්ත්‍රවාදයද කියලා.

අලුත් අපේක්ෂකයින්ට තමන්ගෙ නම සහ අංකය ප්‍රචාරය කරන්න ඕනේ. අද මැතිවරණයක් තියන්නට තියා රැස්වීමක්වත් තියන්න බැරි තත්වයක අපි ඉන්නේ. විපක්ෂයේ අපිට එකට මේ ව්‍යසනය සම්බන්ධව කතාකරන්න සාකච්ඡාවක්වත් තියන්න බැරි තත්වයක අපි ඉන්නේ. ඉතින් මැතිවරණයක් ගැන‌ කොහොමද මේ ආණ්ඩුව කල්පනා කරන්නේ.

”අලුත් අපේක්ෂකයින්ට තමන්ගෙ නම සහ අංකය ප්‍රචාරය කරන්න ඕනේ.
අද මැතිවරණයක් තියන්නට තියා රැස්වීමක්වත් තියන්න බැරි තත්වයක අපි ඉන්නේ.
මේ ආණ්ඩුවෙන් අහනවා මේක ද ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ”

අපි ජනතාවට කියන්න ඕනේ විපක්ෂයක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදීව, සෞඛ්‍ය ආරක්ෂිතව කොරෝනාවෙන් තොර රටක් තුළ මැතිවරණයක් පැවැත්වීමටයි අපි කැමති කියලා. මැතිවරණ කොමසාරිස්තුමාට අපි ශක්තිය දෙනවා හරි තීරණ අරගන්න කියලා ජනතාව වෙනුවෙන්.

පාර්ලිමේන්තුව කැඳවනවා නම් සහය දෙන්න සුදානම්..

2019 අගෝස්තු මාසේ 17 වැනිදා පත්වූ රජයට 2020 සැප්තරම්බර් පළවෙනිදා වෙනකන් කාලය තිබුනා. ජනාධිපතිතුමා බලය පාවිච්චි කරලා ආණ්ඩුව විසිරෙව්වා.

මොකද එතනදී ආණ්ඩුවේ මැතිඇමතිවරු කිව්වේ? කොරෝනා 28 ක් හිටියට අපිට ප්‍රශ්නයක් නොවයි අපිට බලය ගන්නට, දැන් විපක්ෂය කැඩිලා ඉන්නේ කියලා.

මම කියනවා මෙවැනි වසන්ගතයක් වෙලාවේ ඒ වගේ දේවල්වලින් ප්‍රයෝජනය ගන්න එපා. ආණ්ඩුවට කැමතිනම් ජනතාව අවුරුදු 5 කට බලය දීලා තියෙනවා. ජනාධිපතිතුමාට ආපහු පාර්ලිමේන්තුව කැඳවන්න පුලුවන්.

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීන් 80 දෙනෙක් තරඟ කරන පක්ෂයක් තමයි සමගි ජනබලවේගය කියන්නේ. අපි කැමතියි මේ කොරෝනා වසන්ගතය සම්බන්ධව ඒ අවශ්‍ය මුදල් ලබාගන්න සහ අනෙකුත් දේවල් වලට අපේ අනුමැතිය ලබා දෙන්න විපක්ෂයක් විදිහට පාර්ලිමේන්තුව කැඳවනවානම්.

මොකද මේ කඩි මුඩියේ පාසැල් අරින්නේ ?

තව පැතිතකින් දෙමව්පියන් කල්පනා කරනවා තවම මේ කොරෝනා වසන්ගතය අවසන් වන්නටත් පෙර මොකද මේ කඩි මුඩියේ පාසැල් අරින්නේ කියලා.

කරුණාකරලා රජය මේ ගැන කල්පනා කරන්න. විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියන් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න. විශ්ව විද්‍යාල අරින එක ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරු විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා.

ආණ්ඩුවට කල්පනා කරන්නේ රටේ ජනතාවගේ ජීවිතවලට වැඩිය බලය ලබාගැනීම ගැනයි. අපි කියනවා අපි බලයට වැඩිය ජනතාවගේ ජීවිත ගැන කල්පනා කරනවා කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *