මැතිවරණ නිළධාරීන් කොරෝනා අවධානමෙන් තැති ගනී

සභාපති,
මහින්ද දේශප‍්‍රිය මහතා,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය

සභාපතිතුමනි,

පූර්ව මැතිවරණ රාජකාරී වල නියැලෙන රාජ්‍ය සේවකයින්ට කොරෝනා වෛරසය වැළදීමේ අවධානමෙන් මිදීමට අදාළව ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනීමේ හැකියාවක් පවතීද?
2020 මාර්තු මස 19 වන දින නාම යෝජනා භාරගෙන අපේ‍්‍රල් මස 25 වන විට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් වන බවට මැතිවරණ කොමිසමත් ගරු ජනාධිපතිවරයාත් මේ වන විට පොදු මහජනතාවට දැනුම් දී ඇත.

රටේ පොදු මහජනතාවට මැතිවරණයට අදාළව අවශ්‍ය නම් වෙනත් කිසිදු මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තකට සම්බන්ධ නොවී ඡන්දය පවත්වන දින ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් ඇත. නමුත් මැතිවරණ රාජකාරියේ හා පූර්ව මැතිවරණ රාජකාරීවල යෙදෙන රජයේ සේවකයින්ට මැතිවරණ දිනයට පෙර කණ්ඩායම් ලෙස ඒකරාශී වී පූර්ව මැතිවරණ සූූදානම් කිරීමේ ක‍්‍රියාවලියක නිරත වීමේ අනිවාර්ය තත්වය වැළැක්විය නොහැක.

02. ඒ අනුව මැතිවරණ කොමිසම මෙන්ම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දිස්ත‍්‍රික් මට්ටමින් පවත්වන මැතිවරණ රාජකාරියේ යෙදෙන නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු පන්ති සඳහා රාජ්‍ය සේවකයින් පිරිස් වශයෙන් ඒකරාශී විය යුතුව ඇත.

03. මැතිවරණයට අදාළ ප‍්‍රවාහන, සුබසාධන, ඡුන්ද පෙට්ටි සකස් කිරීම ඡන්ද පත‍්‍රිකා සකස් කිරීම, ඡන්ද පත‍්‍රිකා පාර්සල් කිරීම සඳහා පූර්ව මැතිවරණ ක‍්‍රියාවලියේ යෙදෙන නිලධාරීන් කණ්ඩායම් ලෙස ඒකරාශී විය යුතුව ඇත.

 04. රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්ද භාවිතා කිරීම, රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්ද රාජකාරියේ යෙදවීම, තැපැල් ඡන්ද දිනයේ දී පක්ෂ නියෝජිතයින් සහ වෙනත් සංවිධාන නිරීක්ෂණ සඳහා සහභාගි වීම ආදිය මගින් ඒකරාශී වීම හා මුහුණට මුහුණලා රාජකාරී කිරීමට සිදුවීම.

05. කුමන තත්වයක් යටතේ හෝ මැතිවරණය පවත්වන බව රටේ වගකිවයුත්තන් ප‍්‍රකාශ කළද ඡන්ද පැවැත්වෙන දිනයේ දී ඡන්ද මධ්‍යස්ථාන වලට ඡන්ද දායකයින්ගේ පැමිණීම, පැමිණෙන ඡන්ද දායකයින්ට අදාළව රාජකාරී සිදු කිරීම, මෙන්ම ඡන්දය ගණන් කරන ක‍්‍රියාවලියේ දී විශාල රාජ්‍ය සේවකයින් පිරිසක් හා දේ්ශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් පන්ති කාමරයකට රැස් වී ඡන්දය ගණන් කිරීමේ ක‍්‍රියාවලියේ පවතින අවධානම් තත්වය මේ වන විට අප රටද කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම් තත්වයකට ගමන් කරමින් පැවතීම සරළව බැහැර කළ හැකි තත්වයක් නොවේ. ලෝකයේ රටවල් 140 කට ආසන්න ප‍්‍රමාණයක මාරාන්තික මෙම වෛරසය පැතිරෙමින් සිදුවන මිනිස් ජීවිත බිලිගැනීම් ඇතුළු අවධානම් තත්වය ගැඹුරින් සැලකිල්ලට ගත යුතුව ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හා එය අපේ රටේ ජනතාවට බලපෑම් කළ හැකි අවසන් දිනය කවදාද යන්න මැතිවරණ කොමිසමට හෝ සෞඛ්‍ය බලධාරීන්ට හෝ රටේ ප‍්‍රධානීන්ට සහතික වීමේ හැකියාවක් පවතිනවාද යන්න පැහැදිලි නැත.

රජයේ එක්තරා ඇමතිවරයෙක් ඇතුළු පිරිස් වලින් සිදු කළ බාධා කිරීම් හා ගුවන් තොටුපළවල් හා වරායවල් හරහා රට තුළට පිවිසුණු සියලූ පිරිස් කල් වේලා ඇතුව නිරෝධායනය කිරීමේ ශක්තිමත් වැඩපිළිවෙලක් නොතිබීම හේතුවෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් පිරිසක් රට තුළට ඇතුළත් වූ බව පැහැදිලි කරුණකි. එවැනි තත්වයක් මත වෛරසයේ ව්‍යාප්ති සීමාව සහ අවධානම් සීමාව නිශ්චිත දිනකින් අවසන් වෙතැයි කිව හැකිදැයි යළි ප‍්‍රශ්න කරමු.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පෙර පැවති පාර්ලිමේන්තුව විසින් අපේ‍්‍රල් මස 30 දක්වා මුදල් අනුමත කර ඇති වටපිටාවක රාජ්‍ය සේවකයින් අවධානමට ලක් කරනවා වෙනුවට විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවා කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහාත් රටේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ශක්තිමත් කිරීමටත්, ඕනෑම අවධානම් තත්වයකට මුහුණ දීමට හැකිවන පරිදි රෝහල් පද්ධතිය සකස් කිරීම සඳහාත් ජාතික වැඩපිළිවෙලක් කඩිනමින් දියත් කිරීම රජයේ ප‍්‍රමුඛ කාර්යයක් සේ පෙන්වා දෙමු.

එමෙන්ම රාජ්‍ය සේවකයින් පූර්ව මැතිවරණ කටයුතු සූදානම් කිරීමේ කාර්යය ඒකරාශී වීම වැළැක්වීම සඳහා රාජ්‍ය සේවකයිනුත් සුරක්ෂිත, ඡන්ද දායකයිනුත් සුරක්ෂිත වන ඡන්දය පාවිච්චි කිරීම හා ගණන් කිරීම ඩිජිටල් හා විද්‍යුත් ක‍්‍රමවේදයකට ඡන්දය පැවැත්වීම කෙරෙහි රජයේත්, මැතිවරණ කොමිසමේත් අවධානය යොමු වන්නේ නම් මිනිස් ජීවිත සුරක්ෂිත බවද පෙන්වා දෙන්නෙමු.

රාජ්‍ය සේවයේ විවිධ සේවාවන්හි නියුතු රාජ්‍ය සේවකයින් විසින් මතු කරමින් පවතින අවධානම් තත්වය පෙන්වා දීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් බවද සඳහන් කරමු. කෙසේ වෙතත් ලොව වෙනත් රටවල් මෙම වෛරසය නිසා මුහුණ දී ඇති අභාවාචක තත්වයන් අපේ රටට අත් නොවීම අප කාගේත් ප‍්‍රාර්ථනය හා උත්සහය වන අතර මැතිවරණය නිසා පූර්වයෙන් වැඩි අවධානමකට ලක් වන රාජ්‍ය සේවකයින් පිළිබඳවත් වැඩි අවධානය යොමු කරමින් සැබෑ ලෙස මෙම තත්වයෙන් මිදීම සඳහාත් බුද්ධිමත් හා විද්‍යාත්මක මෙන්ම සෞඛ්‍යාරක්ෂිත පියවර ගැනීමට කටයුතු කරන මෙන් සියලූ බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

ස්තූතියි.
                                                                                                             
මෙයට,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *