දකුණු සභාව ඉදිරිපිට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණ

ප්‍රජාතන්ත්‍රවිරෝධී රටක් විදියට අප අද හංවඩු ගැහිලා

ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස පාර්ලිමේන්තුව විසිරවීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් නව අගමැතිවරයෙක් පත් කිරීමට විරෝධය ප්‍රකාශ කරමින් 13 දින  එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම විසින් විරෝධතාවයක් පවත්වන ලදී. 13දින දකුණු පළාත් සභා සැසිවාරය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් දකුණු පළාත් සභාව ඉදිරිපිට මෙම විරෝධතාවය සහ උද්ඝෝෂණය පවත්වන ලදී. මෙහි දී එජාප දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් කළු පටි බැද විරෝධතා පුවරු රැගෙන විරෝධතා පාඨ කියමින් විරෝධතාවයේ නිරත විය.

කන්න දුන්න අත හපා කෑවා, පොලොන්නරුවේ පර බල්ලා, සිරෝ සිරෝ මේ අහපිය 19 ට හිස නමපිය, 19 ට ගරු කරපිය, යන සටන් පාඨ කියමින් මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.

මෙහි දී අදහස් දැක් වු දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා,

මේ ජනාධිපතිවරයා පලමුව ව්‍යවස්ථාවේ 43 වන වගන්තිය උල්ලංඝණය කරා. ඊට පසුව 70 වන වගන්තිය ඇතුළු මුළු 19 වන ව්‍යවස්ථා සංශෝධනයම උල්ලංඝණය කරමින් මේ වන විට වැඩ කටයුතු කර තිබෙනවා. අද ලෝකයෙන් අපේ රට කොන් වෙන තත්වයට ඇවිල්ලා. ප්‍රජාතන්ත්‍රවිරෝධී රටක් විදියට අප අද හංවඩු ගැහිලා. එදා මේ ව්‍යවස්ථාව හදන කොට කිව්වා මේක බුද්ධිමතෙක් අතට ගියොත් හොදයි. පිස්සෙක් අතට ගියොත් ඉවරයි කියලා. අද ඒක වෙලා තියනවා. අද මේක පිස්සෙක් අතට ගිහිල්ලා තියනවා. අපි කියනනේ නීතියට , ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්න කියලා. මේ රටේ රාජාවලියේ සිටි දුෂිතම පිස්සුම රජා මේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා.

මෙම උද්ඝෝෂණය ආරම්භ කරන අවස්ථාවේ දී දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රී චන්න සාලිය මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පැමිණි අතර එජාප මන්ත්‍රීවරුන් විසින් චනන මන්ත්‍රීවරයා ද බලෙන්ම මෙම උද්ඝෝෂණය සදහා සහභාගී කරවමින් ඔහුට ද කලු පිටියක් පැලදවීමට උත්සාහ කිරීමේ දී උණුසුම් තත්වයක් ඇතිවිය. එහි දී එජපෙ මන්ත්‍රීවරුන් කියා සිටියේ මේ විරෝධතාවය චන්න මන්ත්‍රීවරයා මුල සිටම කර නිසා ඔහු ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපයට විරුද්ධ බවයි. එහි දී එජාප මන්ත්‍රීවරුන්ගෙන් බේරී මාධ්‍යයට අදහස් දැක් වු චන්න සාලිය මන්ත්‍රීවරයා එජාප මන්ත්‍රීවරුන්ගෙන් අසා සිටියේ, මේ ප්‍රජාතන්ත්‍රවාදය මතක් වුනේ දැන් ද? මහ බැංකුව කොල්ලකන කොට කොහේද හිටියේ, අගවිනිසුරු ඉවත්කරන කොට ඔය ප්‍රජාතන්ත්‍රවාදය නැද්ද,විපක්ෂනායක කම අපිට නොදී ඉන්නකොට කෙහේද ඔය ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ. තමන්ට උනාම තමයි අමාරුව. අපි පසුගිය කාලේ කිව්වේ ඕක තමයි. කියමින් අදහස් දක්වන්නට වු අතර පසුව එජාප මන්ත්‍රී අශෝක ධනවංශ මහතා මැදිහත් වී ඔහුව එම ස්ථානයෙන් ඉවත් කර නැවත කළු පටි පැලද ගනිමින් විරෝධතා පුවරු ගනිමින් විරෝධතාවයේ නිරත විය. පසුව පළාත් සභා සැසිවාරය ආරම්භ වු අතර දකුණු පළාත් සභා එජාප මන්ත්‍රීවරුන් පළාත් සභා සැසිවාරයට පැමිණියේ ද කළු පටි පැලඳ ගනිමිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *