COVID 19 සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය විය හැකියි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි!!

නව කොරෝනා වෛරසය හෙවත් COVID 19 වෛරසය ව්‍යාප්තිය අනුව එය සමාජ ව්‍යප්තියක් දක්වා වර්ධනයවී ඇති ආකාරයක් පෙන්නුම්කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තාවන රෝගීන්ගේ භූගෝලීය ව්‍යාප්තිය දෙස බැලීමේදී සහ මෙම රෝගී අසාධිතයන් වාර්තාවන ප්‍රදේශ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ඒ බව පෙන්නුම් කරන බව මෙරට විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය පෙන්වා දෙයි

විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය එල්.ඒ. රණසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් අනතුරු අඟවා ඇත්තේ මෙම තත්ත්වය දැඩි සත්කාර මට්ටමට වර්ධනය වුවහොත් රටේ සෞඛ්‍ය පහසුකම් සමග සැලකීමේදී බරපතළ තත්ත්වයක් උද්ගතවිය හැකි බවයි.

නොපමාව තත්ත්වය වර්ධනයවීම වැළැක්වීමට අවශ්‍ය සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.විශේෂයෙන් සඳහන් කරන්නේ ජනතාව ඒකරාශීවන දේශපාලන රැස්වීම් තවදුරටත් පැවැත්වීම, උපකාරක පංති පැවැත්වීම සහ පාසල් යළි විවෘත කිරීම පිළිබඳව නැවත සමාලෝචනය කරන ලෙසයි.

එමෙන්ම පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් සෞඛ්‍යමය සීමා යළි පැනවීමේ අවශ්‍යතාව ද ඔවුන් අවධාරණය කරයි.විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ අහඹු පරීක්ෂණ සමාජය තුළ සිදුකිරීම වැදගත් බවත් රෝගීන් හදුනා ගැනීම සදහා සිදුකරණ PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීම ද අත්‍යාවශ්‍ය බවයි.

මේ අතර මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැදි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තෝරාගෙන පරීක්ෂණ සිදුකිරීමේ අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයත් අවධාරණය කරයි.මෙතෙක් රටතුළ සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි.

මසකට අවම වශයෙන් පරීක්ෂණ හැටඅටදහසක් සිදුවිය යුතු බව පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සඳහා දිනකට 2500 ක්වත් පරීක්ෂණ සිදුකළ යුතු බව අවධාරණය කරයි.සංචරණ සීමා නොමැති නිසා මුළු රටම ආවරණයවන පරිදි අහඹු නියැදි පරීක්ෂා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *