රැයක් එළිවෙනකොට මම පාරක් හදලා ඉවරයි. වැඩක් කරන්නෙ අන්න එහෙමයි. — නිමල් ලාන්සා.

රැයක් එළිවෙනකොට මම පාරක් හදලා ඉවරයි. වැඩක් කරන්නෙ අන්න එහෙමයි.
— නිමල් ලාන්සා.

මටම විශේෂවූ අනන්‍යතාවයක් තියෙනවා. වැඩ කිරීම තුළින් තමයි මම ඒක ලබා ගත්තේ. ශ්‍රී පාදස්ථානයේ හාමුදුරුවන් වහන්සේ අපවත් වුනාම මට පාරක් හදන්න කිව්වා. මම රෑ එළි වෙනකොට කි.මී. 4.8 ක පාර හදලා ඉවර කළා. ලක්ෂ 480 ක් වටිනා පාරක් ඒක. වැඩ කරන්නෙ අන්න එහෙමයි යනුවෙන් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීධූර අපේක්ෂක නිමල් ලාන්සා මහතා ගම්පහ දී සඳහන් කළේය.

ගම්පහ පැවති ජන හමුවක් අමතමින් තවදුරටත් කතා කළ නිමල් ලාන්සා මහතා මෙසේද කියා සිටියේය.

බස්නාහිර පළාත් මාර්ග අමාත්‍යවරයා විදිහට මගේ බල ප්‍රදේශයේ වැඩ කරලා ඉවර වුනාම මම වෙන පළාත්වලත් වැඩ කරනවා. දවසක් පාර්ලිමේන්තුවේ දී ජෝශප් මයිකල් මන්ත්‍රීවරයා මගෙන් අහනවා කොහොමද බස්නාහිර පළාත් මාර්ග ඇමැතිවරයා වෙනත් පළාත්වල වැඩ කරන්නේ කියලා. මගේ වැඩ කොටස කාර්යක්ෂමව සහ අඩු වියදමින් ඉවර කළාම, මට ආරාධනා ලැබෙනවා තමන්තගෙ පළාත්වවල තවමත් ඉවර කර ගන්න බැරි වැඩ ඉවර කරලා දෙන්න කියලා. සබරගමුවෙත්, උතුරු නැගෙනහිරත්, වයඹ පළාතෙත් මම එහෙම ගිහිල්ලා වැඩ කරලා දීලා තියෙනවා.

භාණ්ඩාගාර ලේකම් ජයසුන්දර මහත්මයත් මට කියලා තිබෙනවා ඔබ තමයි ඔබ තමයි අඩු මුදලට කාර්යක්ෂමව මේ පාරවල් ටික කරන්නේ කියලා. 2010 – 15 කාලයේ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කවුරු හරි පාරක් ඉල්ලුවා නම්, කාපට් කරල දෙන්න කියලා කිව්වා නම්, සුවතා මංතීරුවක් හදන්න කිව්වා නම්, පොලක් හදලා දෙන්න කියලා කිව්වා නම් ඒ සියල්ල හැදුවේ මම විසින්.

ගම්පහ සමහරු නම් දැකලා නැතුව ඇති. අද වෙන්නැති මුලින්ම දකින්න ඇත්තේ. නමුත් මේ ගම්පහ දියුණුවට මම විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. එ් නිසායි ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය නායකකම මට ලැබුනේ. ඒ විතරක් නෙමෙයි ජනාධිපතිතුමා විසින් මට ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයත් ලබා දුන්නා. මේ අමාත්‍යාංශය රටවල් 160 ක් සමග ගිවිසුම් ගත වෙලා තියෙනවා දුප්පත්කම තුරන් කරන්න. ඒක ලේසි පාසු වැඩක් නෙවෙයි.

මොකෝ දේශපාලකයෝ එන්නේ වැඩ කරන්න කියලා. ඒත් කරන වැඩක් නෑ. කරපු දේකුත් පේන්න නෑ. ඒ වුනාට මම කරපු වැඩ ඕනෑම මොහොතක මට පෙන්වන්න පුළුවන්. මට දේශපාලනයේ දී ඒ ඒ අදාළ පුද්ගලයන් සම්බන්ධීකරණය කරලා, ඒ කටයුත්ත සාර්ථකවම නිමකර ගන්නට පුළුවන්. මට ඒ හැකියා තියෙනවා. මම ඕනෑම අලුත් තැනකට ගියත් එතැනදීත් බලන්නේ අළුත් නිර්මාණාත්මක වැඩසටහනක් කරන්න.

ඒ නිසා මම පාර්ලිමේන්තුවෙත් කියලා තියෙනවා මම තරම් වැඩ කරපු කෙනෙක් තවත් නැහැ කියලා. මට විශේෂ රාජකාරියක් නැත්තම් සතියට දින හයක් ජනතාවට මා හමුවෙන්න පුළුවන්. වසර 27 මෙහෙමයි. ඒ නිසයි මේ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් පවතින්න පුළුවන් වුණේ.

දේශපාලනයට එන සමහර අය එක වතාවයි දිනන්නෙ. දෙවැනි වතාවට ඔවුන්ට එන්න බෑ. මතකද අර ටොෆි බෙදපු නිළිය, ගම්පහෙන් ඉල්ලපු පබා. පරිවාස ආණ්ඩුව කාලේ කොහෙන්දෝ මතුවුණ අන්ජාන් උම්මා. දැන් කෝ එයාලා. ආගිය අතක් නෑ. ඒත් මම දැන් අට වතාවක් ඡන්දය ඉල්ලලා තියෙනවා. ඡන්ද 4600 අරන් නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට දේශපාලනයට ආව මම, අද ඡන්ද එක් ලක්ෂ හය දාහක් අරගෙන ඇමතිවරයෙක් බවට පත් වී සිටිනවා. මේ වතාවෙ ඒ ඡන්ද සංඛ්‍යාව තවත් වැඩි වැඩිවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

මම මාධ්‍යවල දැක්කා, කොරෝනා දෙවැනි රැල්ල පාලනය කරන්න අවශ්‍ය නම් රනිල් බලයට පත්කරන්න කියලා. අපට කියන්න තියෙන්නේ රනිල් බලයෙන් බලයේ හිටියා නම් කොරෝනා දෙවැනි රැල්ල ගැන කියන්න එකෙක්වත් මේ පොළවේ ඉතිරි වෙන්නේ නෑ කියලායි. එයාලා පාලනය කරන්නේ මේ රටේ ජනතාව පැහැදිලිවම දැක්කා රට විනාශය කරා අරගෙන ගිය හැටි. පාස්කු ප්‍රහාරය ගැන 97 වතාවක් දන්වලාත් කිසි දෙයක් නොකරපු රනිල්ලාගේ ආණ්ඩුව, කොරෝනා වසංගතය සම්බන්ධයෙන් යමක් කරයි කියලා හිතෙනවාද? ඕවා නිකං බයිලා විතරයි.දෙවැනි රැල්ලක් නෙමෙයි රැලි දහයක් ආවත් ගෝඨාභය ජනාධිපතිතුමාට ශක්තිය සහ හැකියාව තියෙනවා ඒක පාලනය කරන්න. ඒ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇමෙරිකානු තානාපතිවරියත් කිව්වා, ඉන්දියාව සහ චීනයත් කිව්වා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගත්තා. ඒක නිසා කොරෝනා වසංගතය පාලනය කරන්න රනිල් අවශ්‍ය නෑ.

විපක්ෂයේ අය කොරෝනා දෙවැනි රැල්ලක් එනතුරු තමයි බලාගෙන ඉන්නේ. එයාලා බලාගෙන ඉන්නේ මිනිස්සු මැරෙනකල්. ඒත් රටේ වාසනාවට ඒ කුහක බලාපොරොත්තුව ඉෂ්ට වන්නේ නෑ.

දැන් මේ රටට අවශ්‍ය ආහාර ගැලපෙන නියම නායකයෙක් ඉන්නවා. රනිල් වගේ අය අවශ්‍යම නෑ. එයාලට කිසි දෙයක් කරන්න පුළුවන් අය නෙවෙයි. එයාලා දන්නේ රට විනාශය කරා ඇදගෙන යන්නට විතරයි. ඒ නිසා රනිල්ගේ කෙරුවාව ජනතාව විසින් පුතික්ෂේප කරල ඉවරයි. අර බොත්තම ඔබල ආර්ථිකය හදන්න යන සජිත් ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි. සජිත්ගේ හිස් පුලාප මේ රටේ ජනතාව තවදුරටත් විශ්වාස කරන්නේ නෑ. එයත් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *