රත්ගම සුදු හාමුදුරුවන්ගේ අවසන් කටයුතු සිදුකෙරේ

මාධ්‍යවේදීන්ට බෝට්ටු හිමියන් විරෝධය පලකිරීම සැකයි

ඝාතනය කර රත්ගම කලපුවට දමා තිබිය දී රත්ගම පොලිසිය මගින් සොයා ගන්නා ලද රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ භූමදාන කටයතු අද (11) සවස රත්ගම, කිරිමැටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (10) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්විණ. කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වර්ෂාහැන්නදි  මහත්මිය විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදුන් අතර වැඩිදුර විමර්ශණ කටයුතු සදහා ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත සහ රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යැවීමටද පියවර ගෙන තිබුණි.

එම නිසාම මෙම ස්වාමින් වහන්සේගේ දේහය ආදාහනය නොකර භූමදානය කිරීමට පියවර ගෙන තිබුණි. ඒ ඉදිරි පරීක්ෂණ වලදී දේහය නැවත ගොඩ ගැනීමට අවශ්‍යය වුවහොත් ඒ සදහා අවස්ථාව සැලසෙන පරිදිය. උන් වහන්සේගේ භූමදාන කටයුතු වල මාධ්‍ය ආවරණ සදහා ගිය මාධ්‍යවේදීන්ටද කලපුවේ බෝට්ටු ධාවනය කරන්නන් විසින් සහය නොදක්වා යම් විරෝදතාවයක්ද දක්වා ඇත. මෙම ස්වාමින් වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් රට හමුවේ තොරතුරු හෙලිදරව් වීම බෝට්ටු හිමියන්ගේ විරෝදයට හේතු වන්නේ ඇයිද? සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුවිය යුතු බවද ප්‍රදේශවාසීන්ගේ අදහස වී තිබේ.

නෙදර්ලන්ත ජාතික මෙම භික්ෂූන් වහන්සේගේ අපවත්වීම සියදිවි නසා ගැනීමක් බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ මහ නායක ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය තහවුරු වූ බවත් එහිදී එය සෘජුව ප්‍රකාශ නොකර විවෘත තීන්දුවක් ලබා දී තිබෙන බවත් උන් වහන්සේගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. එසේ තිබියදී මෙය ඝාතනයක් බව හුවා දැක්වීමට ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටින බවටද ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියෝ සිය නිවේදනය මගින් ජනමාධ්‍ය ආයතන වෙතද බරපතල චෝදනාවක් එල්ල කර තිබේ.

මෙම ස්වාමීන්වහන්සේගේ අභිරහස් අපවත්වීම පිළිබඳව විමර්ශන කඩිනම් කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයාටද දැනුම් දී තිබේ.

පසුගිය 08 වැනිදා පස්වරුවේ මෙම ස්වාමින් වහන්සේගේ මෘතදේහය රත්ගම පොලීසිය මගින් සොයා ගන්නා අවස්ථාවේ දී උන්වහන්සේගේ දෙපා කොන්ක්‍රීට් කැබැල්ලක්ද සහිතව වයරයකින් ගැට ගසා තිබූ බව රත්ගම පොලීසිය කියයි. නෙදර්ලන්ත ජාතිකයෙක් වන මෙම ස්වාමින් වහන්සේ නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරමින් සිට ඇති අතර ප්‍රදේශවාසීන් උන් වහන්සේ සුදු හාමුදුරුවෝ නමින් හදුන්වා තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. පසුගිය 06 වන දින සිට මෙම ස්වාමින් වහන්සේ ආරණ්‍යය සේනාසනයෙන් අතුරුදන්ව සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබිණ.

වයස අවුරුදු 19 දී පැවදි වී ඇති මෙම ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2008 වර්ෂයේදීය. 2011 සිට රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩ වාසය කර තිබේ. වසරින් වසර වීසා ගමන්බලපත්‍රය දීර්ඝ කර ගනිමින් ශ්‍රී ලංකාවේ රැදී සිට ඇති බවද පොලීසිය කියයි. 35 වසරක පැවිදි දිවියකට හිමිකම් කී උන්වහන්සේ මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල මීට පෙර වැඩ වාසය කර තිබේ. ආරණ්‍ය සේනාසනයට අයත් ඔරුවකින් රත්ගම කලපුව හරහා උන්වහන්සේ පිණ්ඩපාතය සඳහා ගොඩබිමට වැඩම කිරීම ප්‍රදේශවාසීන්ට සුලබ දසුනක්ව තිබී ඇති බවද පොලීසිය කියයි. උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින ඔරුව රත්ගම කලපුවේ පාවෙමින් තිබිය්‍දී සොයා ගෙන තිබූ අතර උන් වහන්සේ කවුරුන් විසින් හෝ ඝාතනය කර අනතුරුව සිරුර දියේ ගිල්වා දැමීමට උත්සාහ දරා ඇති බවට පොලීසිය සැක පළකරයි. වයස අවුරුදු පනස් නවයක් පමණ වන මෙම හිමිනම මීට දින හතරකට පමණ පෙර මිය යන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි.

ඝාතනයට ලක් වූ මෙම ස්වාමින් වහන්සේගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල ප්‍රධාන මාහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් පසුගිය 09 දා පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට  පැමිණ පවත්වන ලදී. ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වරුෂාහැන්නදි මහත්මිය ද එම ස්ථානයට පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාල මූලික කටයුතු සිදුකර තිබේ. වයස අවුරුදු පනස් නවයක් පමණ වන මෙම හිමිනම 03 දින හෝ 04 දින මිය යන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.  

දකුණු දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා මහතා විසින් මෙම ඝාතනයේ සුලමුල සොයා ගැනීම සදහා පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙයින් එක් කණ්ඩායමක් රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා යටතේත් තවත් කණ්ඩායමත් ගාල්ල කොට්ඨාශ භාර අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාදිපතිවරයා යටතේත් යොදවා තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එයට අමතරව නියෝජ්‍යය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද කොළඹින් ගෙන්වාගෙන පරික්ෂණ ආරම්බකර තිබෙන බවද දකුණු පළාත් නියෝජ්‍යය පොලිස්පති කාර්යාලය කියයි. ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද මෙම පරීක්ෂන සදහැ මැදිහත්ව තටයුතු කරන බව දකුණු පළාත් නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා 13 නමකගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එයට අමතරව මෙම භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතය සදහා වැඩමකල නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් ඝාතනයට ලක් වූ හිමියන්ගේ ජංගම දුරකතනයට ලැබුණු හා උන්වහන්සේ ලබාගත් දුරකතන ඇමතුම් ඔස්සේද පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට සම්බන්ධ ආරංචිමාර්ග සදහන් කරයි.

නෙදර්ලන්තයේ ජිනවංශ නම් වූ මෙම භික්ෂූව් වහන්සේ අතිදක්ෂ පිහිණුම් ශූරයෙකු බවත් එවන් තත්ත්වයක් තුල දියේ ගිලි මිය යෑම ගැටළු සහගත බව ප්‍රදේශවාසීන් රැසක්ම පොලීසියට ප්‍රකාශ කර තිබේ. උන් වහන්සේ තමන් විසින්ම ඔරුව පැදගෙන එගොඩට ගොස් පිණ්ඩපාතය සදහා වැඩම කරන බවද ප්‍රදේශවාසී ප්‍රකාශ කල බව රත්ගම පොලීසිය කියයි. මෙම භික්ෂූන් වහන්සේ ඉතා සිල්වත් ගුණවත් හිමිනමක් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වි තිබේ.

රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් විතානාච්චි මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් පුෂ්පකුමාර, පොලිස් පරීක්ෂක මධුසංඛ, උප පොලිස් පරීක්ෂක ජයසිංහ, උප පොලිස් පරීක්ෂක දේවසිංහ, පොලිස් සැරයන් ප්‍රියන්ත (13413) ඇතුළු  නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *