ඇල්පිටිය බෙරලි ඇල්ලට පාසල් සිසුවෙකු බිලිවෙයි

අනෙක් සිසුන් දෙදෙනා රල පහරින් මිදී පැමිණ

ඇල්පිටිය, බෙරලිඇලේ අද (07) දහවල් දිය නෑමට ගිය 11 හැවිරිදි සිසුවෙක් දියේ ගසාගෙන ගොස් ඇතුරුදන්ව ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.මෙසේ අතුරුදන්ව ඇත්තේ ඇල්පිටිය, වල්අඹගල කණිෂ්ඨ විද්‍යාලයේ 05 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කාලිංග ගිම්හාන (11) නැමැති සිසුවාය.

අද (07) දහවල් 12.00 ට පමණ මෙම සිසුවා, තවත් සිසුන් දෙදෙනකු සමග ඇල්පිටිය, වල්අඹගල, බෙරලිඇලේ දිය නෑමට ගොස් තිබෙන බවත් දහවල් 1.00 ට පමණ සිසුවා දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙන බවත් ඇල්පිටිය පොලීසිය කියයි. අනෙක් සිසුන් දෙදෙනා රල පහරින් මිදී පැමිණ ඒ බැබ් දෙමාපියන්ට පවසා තිබෙන අතර මේ වන විටත් ඇල්පිටිය පොලීසිය, ප්‍රදේශවාසීන් හා එක්ව සිසුවා සෙවීමේ කටයුතු වල නිරත වෙමින් තිබේ.

සිසුවා සෙවීම සදහා නාවුක හමුදාවේ සහය ලබා ගැනීමට ඇල්පිටිය පොලීසිය, ගාල්ල නාවුක හමුදා කදවුරට දැනුම් දුන් බවත් ඒ සදහා සහය ලබා දීමට නාවුක හමුදාව පැමිණීමට නියමිත බවත් ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙම ඇල විශාල ගැඹුරකින් යුත් ඇලක් නොවන බවත් ඊයේ (06) රාත්‍රී ඇද හැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇල හා අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් පිරී ඉතිරී අනතුරු දායක තත්ත්වයකට පත්ව තිබූ බවත් ඇල්පිටිය පොලීසිය කියයි. අතුරුදන්ව ඇති සිසුවා මෙවර 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවෙකු බවද ඇල්පිටිය පොලීසිය වැඩි දුරටත් සදහන් කළේය.

ඇල්පිටිය, මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න මහතාගේ මෙහෙයවීම මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමුදු ප්‍රසන්න මහතා ඇතුළු පිරිසක් නාවුක හමුදාවේ හා ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව සිසුවා සොයා ගැනීමේ කටයුතු වල නිරතව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *