බලපිටිය කදුළු සයුරේ ගිල්වා හිතවතුන්ගේ කරමතින් අවසන් ගමනේ

මලිදු පුතා බහුදින ධීවර යාත්‍රා අනතුර //හත් දෙනාම බළපිටියේ පදිංචිකරුවෝය

සටහන සහ ඡායාරූප බලපිටිය ජයකාන්ත ලියනගේ විසිනි

සිද්ධිය වූ දිනයේ රෑ දොළහට (12.00) විතර බෝට්ටුවේ වීල් එක කල්හාර අයියට දීල මම නිදාගන්න පිටි පස්සට ගියා. පැයක් විතර යන විට එක පාරටම විශාල ශබ්දයක් ඇවිත් මම වතුරට වැටුණා යැයි මුහුද මැදදී බෝට්ටුව නැවක වැදීමෙන් සිදු වූ අනතුරෙන්  දිවි ගලවාගත් බළපිටිය, හීනටිය, පන්සල පාරේ පදිංචි එරන්ද පුෂ්ප කුමාර මහතා (23) සිය බිහිසුණු අත්දැකීම විස්තර කරමින් එසේ ප්‍රකාශ කළේය.

පසුගිය අගහරුවාදා (11) රාත්‍රී බේරුවල ධීවර වරායෙන් මුහුදු රස්සාවේ ගිය මලිදු පුතා බහුදින ධීවර යාත්‍රාව මෙසේ අනතුරට ලක්ව තිබේ. මෙම යාත්‍රාවෙන් ධීවරයින් 07 දෙනෙකු මුහුදු රස්සාවේ ගොස් තිබෙන අතර එම හත් දෙනාම බළපිටියේ පදිංචිකරුවෝය. අනතුරෙන් හතර දෙනෙතු ජීවිතක්ෂයට පත් ව තිබෙන අතර දෙදෙනකු අතුරුදන්ව තිබේ.

බළපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි අලව්වගේ සිසිර සම්පත් (29), බළපිටිය වැලිවත්තේ පදිංචි හඳුන්නෙත්ති කමල් පියසිරි මැන්දිස් (35), බළපිටිය ශ්‍රීමත් සිරිල් ද සොයිසා නිවාස සංකීර්ණයේ පදිංචි ඇම්. ඩබ්ලිව්. ධනුෂ්ක මධුසංක (25) සහ කොස්ගොඩ පදිංචි අමිල පුෂ්ප කුමාර (27) යන සිව් දෙනාගේ මෘත දේහයන් පසුගිය සිකුරාදා (14) ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන විත් තිබුණි. බළපිටිය වැලිවත්තේ පදිංචිකරුවන් වන අගම්පොඩි තුෂාර ද සොයිසා (31) සහ සනත් කල්හාර ද සිල්වා (26) යන දෙදෙනාගේ මෘත දේහයන් මේ වන තුරුත් සොයා ගෙන නොතිබුණි.

අලව්වගේ සිසිර සම්පත් (29) යන අයගේ මෘත දේහය විවෘත කර නොතිබුණ අතර ඔහුගේ සහ කමල් පියසිරි (35) යන අයගේ දේහයන් ඊයේ (15) සවස බළපිටිය වැලිතර සුසාන භූමියේදීත් අමිල පුෂ්ප කුමාර (27) යන අයගේ මෘත දේහය කොස්ගොඩ පොදු සුසාන භූමියේදීත් මිහිදන් කෙරුණි. ධනුෂ්ක මධුසංක (25) නැමති අයගේ මෘතදේහය බළපිටිය වැලිතර සුසාන භූමියේදී අද (16) සවස මිහිදන් කෙරුණි. මෙම ධීවරයින් සිව් (04) දෙනාට අවසන් බුහුමන් දැක්වීම සදහා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි විය. බළපිටිය, වතුරේගම, අහුන්ගල්ල, කොස්ගොඩ ප්‍රදේශය එකම මලගෙයක් සේ දිස්විය. ප්‍රදේශයේ සෑම තැනකම පාහේ සුදු කොඩි ලෙල දෙන්නට විය.

මෙම බිහිසුණු අනතුරින් දිවි ගලවාගත් එරන්ද පුෂ්ප කුමාර (23), තව දුරටත් ඒ බිහිසුන අත්දැකීම පිළිබදව කරුණු දක්වමින් මෙසේද කීය.

මම අවිවාහකයි. දැන් අවුරුද්දක පමණ කාලයක සිටයි, මුහුදු රක්ෂාව කරන්නේ. 11 වැනිදා සවස 6.30 ට පමණ අපි මලිදු පුතා බෝට්ටුවෙන් මුහුදු රස්සාවේ ගියා. මමයි, සුදුවයි, කල්හාරයි, රාජයි, කමලුයි, සම්පත් අයියයි, අමිලයි ගියේ. බෝට්ටුවේ වීල් එක මට රෑ අටට විතර සුදුවා දුන්නා. රෑ 12.00 ට විතර මම වීල් එක කල්ලාර අයියට දුන්නා. නිදිමතයි කියල කිව්වම විහිළු කරන්නෙ නැතුව වීල් එක ගන්න කිව්වම ගත්තා. මම මෙට්ටයකුත් අරගෙන පිටිපස්සට ගියා නිදා ගන්න.

පැයකට විතර පස්සෙ එක පාරටම විශාල ශබ්දයක් ආවා. ඒ එක්කම මම පිටිපස්සට වීසි වී වතුරට වැටුණා. ඒ අසල නැවක් තිබෙනවා දැක්කා. ඉස්සරහට පීනන විට බෝට්ටුව තිබෙනවා දැක්කා. ඒ බෝට්ටුවේ ඒල්ලිලා පසුදා (12) උදේ වන තුරු හිටියා. මම කෑ ගහන්න කෑ ගහන්න නැව ඈතට ගියා නැවැත්තුවේ නැහැ. සුදුවෝ සුදුවෝ කියල මම කෑගැසුවා. ඇන්ජිම ඇතුළෙ ඉන්නවා කියල කිව්වා. එළිය වැටෙන විට ඔවුන් කතා කළේ නැහැ. උදේ දහයට (10) විතර නේවි එකේ බෝට්ටුවක් ඇවිත් මම බේරා ගත්තා යැයිද එරන්ද පුෂ්ප කුමාර (23) කීය.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් අලව්වගේ සිසිර සම්පත් (29) දෙදරු පියෙකි. ඔහුට වයස අවුරුදු හයක කුඩා දියණියක් සහ මාස හයක කුඩා පුතෙක් සිටිති. ඔහුගේ බිරිය වන හක්කිණි මල්ලිකා කුමුදුනී මහත්මිය (24) අප සමග මෙසේ කීවාය.

අවුරුදු පහළොවක කාලයක සිට මගේ මහත්තයා මුහුදු රස්සාව කරන්නේ. අපි විවාහ වෙලා අවුරුදු හතක් විතර වෙනවා. දෙපාරක් රට ගියා. බේරුවල රංමල්ලි නැමති අයට අයිති මලිදු පුතා බෝට්ටුවේ වැඩ කරන්නේ. 11 වැනිදා උදේ නමයට විතර මුහුදු යන්න ගියේ. හැමදාම බුදු පහන තියලයි යන්නේ. එදා බුදු පහන තියන විටම නිවුණා. සවස හතරට විතර කෝල් එකක් ගත්තා. ආයෙත් රෑ අටට විතර කෝල් එකක් අරගෙන උදේට ගිහින් මුදලාලිගෙන් සල්ලි ඉල්ල ගන්න කිව්වා. දුව තාත්තේ තාත්තේ කියල කියන විටම කෝල් එක කට් වුණා. 12 වැනිදා සවස තුනට විතර තමයි අපට ආරංචි වුණේ. දරුවෝ දෙන්නට පණ වගේ ආදරේ මගේ මහත්තයට මේ වගේ විපතක් ඇයි දෙයියනේ වුණේ.

හඳුන්නෙත්ති කමල් පියසිරි මැන්දිස් (35) නැමැති අයද මෙම අනතුරින් මියගොස් තිබේ. අවිවාහකයකු වන ඔහුගේ ඥාති සහෝදරියක් වන එදිරිමුණි සුරේකා ලසන්ති ද සොයිසා මහත්මිය (36) සිද්ධිය සම්බන්ධයෙන් අප සමග මෙසේ කීවාය.

කමල් මල්ලි රස්සාව වශයෙන් කළේ කුරුඳු තැලීම හා මේසන් වැඩයි. ඇල්පිටියේ කුරුඳු තලන්න ගිහින් ඉරිදා හවසයි, ගෙදර ආවේ. කට්ටිය එක්ක කතා කරගෙනයි මුහුදු ගියේ. මේ මුහුදු ගිය පළමු වතාවමයි. දේවාලයට ගිහින් පූජා වට්ටියකුත් තියල කට්ටිය එක්ක ගියේ. බෝට්ටුවේ ස්කීපර් හැටියට ගියේ තුෂාර හෙවත් සුදූයි. ඔහුගේ අයියගේ ෆෝන් එකට කෝල් එකක් ඇවිත් තිබුණා මල්ලිලා ගිය බෝට්ටුව අනතුරට පත්වෙලා කියල. මල්ලි විනෝදයට වගේ මුහුදු ගියේ. පීනන්නවත් බැහැ. ඇයි අපිට මෙහෙම කරදරයක් වුණේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් ඇම්. ඩබ්ලිව්. ධනුෂ්ක මධුසංක (25) හෙවත් රාජා, පදිංචිව සිටියේ බළපිටිය වැලිවත්තේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගම්මානයේය. මාස 11 ක් වයසැති කුඩා දියණියකගේ පියා වන ඔහුද මෙම අනතුරින් මියගොස් තිබේ. ධනුෂ්කගේ බිරියගේ මව වන ඇම්. නන්ද කාන්ති පෙරේරා මහත්මිය (51) සිය බෑණාගේ වියෝව පිළිබදව මෙසේ කීවාය.

අවුරුදු 18 කාලයේ සිටම බෑණා කරන්නේ මුහුදු රස්සාව. මීට පෙර මේසන් බාස්ලාට අත් වැඩ දීම කළා. නිලෙන්ති සුජීවා කුමුදුණී මගේ දුව සමග විවාහ වෙලා ඉන්නේ. 12 වැනිදා බළපිටිය බස් නැවතුම් පොළ ඉදිරිපිට ලොතරැයි කූඩුව ළඟට ඇවිත් යාඵවෙක් කිව්වා, නැන්දා දන්නෙ නැද්ද, නැන්දගෙ බෑණා ගිය බෝට්ටුව නැවක හැපිලා කියල. ඒ වෙලාවේ තමයි අපි දැන ගත්තේ මේ අනතුර පිළිබදව. මේ වගේ විපතක් වුණේ මොන කරුමයක් කළාට දැයි කියල දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරක් යැයිද කීවාය.

අගම්පොඩි තුෂාර ද සොයිසා (31) බළපිටිය වැලිවත්තේ පදිංචි අයෙකි. අනතුරින්  මේ වන විටත් අතුරුදන්ව සිටින තුෂාර ද සොයිසා අවිවාහකයෙකි. ඔහුගේ මව වන හෙන්දාදුර සමන් කුමාරි මහත්මිය (51) අනතුර පිළිබදව මෙසේ කීවාය.

පුතා අවුරුදු අටක විතර කාලයක සිට කළේ ධීවර රස්සාව. ස්කීපර් හැටියටයි වැඩ කළේ. මගේ නංගිගේ පුතා වන අමිලත් එදා රස්සාවේ ගියා. සුසිල් කුමාර නැමති අයියගේ බෝට්ටුවේ කලින් වැඩ කළේ. ඒකෙන් අයින් වෙලයි, බේරුවල බෝට්ටුවේ වැඩට ගියේ. මීට පෙර ගිහින් දවස් 11 න් ආවා. පුතාගේ තාත්තත් කළේ ධීවර රස්සාවමයි. මීට අවුරුදු දෙක තුනකට ඉහතදී බළපිටිය මුහුදේ ඇතිවූ කුණාටුවට හසු වෙලා තාත්තා මිය ගියා. ඉන් පස්සේ මේ ගෙවල් දොරවල් හදල අපට කන්න බොන්න දුන්නේ මේ පුතා තමයි. මගේ කොල්ල දැන් නැහැ. අඩන්නේ නැතුව ඉන්න පුඵවන්ද.

අලව්වගේ සිසිර සම්පත් (29) සහ කමල් පියසිරි (35) යන දෙදෙනාගේ මෘත දේහයන් ඊයේ (15) සවස බළපිටිය වැලිතර සුසාන භූමියේදී මිහිදන් කිරීමේ අවස්ථාවේ ආගමික වතාවත් වලින් අනතුරුව අනුශාසනාවක් කල අමරපුර සද්ධම්මවංශ මහ නිකායේ ලේකඛාධිකාරි බළපිටියේ සිරි සීවලි හිමියෝ මෙසේ කීය.

මේ ලෝකේ අපි හිතන දේවල් අපි හිතන අයුරින් සිදු වන්නේ නැහැ. රැකියාවේ යන බව කියල පිටත් වූ මේ අය අවසන් ගමන් යන බව දැන සිටියේ නැහැ. එහෙම දැන සිටියානම් පවුල්වල අය මොවුන්ට යන්න දෙන්නේ නැහැ. අපගේ ජීවිත කවදා අවසන් වේවිද කියල දන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් හොද වැඩ කරන්න. හොදින් ජීවත් වෙන්න. එහෙමයි බුදුන් වහන්සේ දේශනා කරල තිබෙන්නේ.

මෙය හදිසි ව්‍යසනයක් කියල හිතන්න පුළුවන්. තමන් ගෙනා ආයුෂ ප්‍රමාණය ඉවර වුණාම මරණයෙන් ගැලවෙන්න බැහැ. සමහර ජෝතිෂවේදියෝ අපල තියෙනවා කියල ඇතැම් අයට ගෙදර ඉන්න කියනවා. සල්ලි තියෙන අය අහසේ ගුවන් යානයක හිටියත් ගැලවෙන්න විදියක් නැහැ. මේ ව්‍යසනයෙනුත් බුදුබණ සත්‍ය වෙනවා යැයිද කීය.

මෙම අවමංගල්‍යයන් සදහා ඉඩම් අමාත්‍ය ගයන්න කරුණාතිලක, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශම්මු ආරියවංශ, අශෝක ධනවංශ, චන්න මෙන්ඩිස්, බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ද සිල්වා යන මහත්වරුන්ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *