පොහොට්ටුවේ මනාප අරගලය නිසා බලපිටිය ආසනයට අපේක්ෂකයෙකු අහිමි වෙයි!!!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු බළපිටිය ආසනය වෙනුවෙන් පත් නොකිරීමට පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායකත්වය තීරණය කර තිබේ. මේ හේතුවෙන් බළපිටියේ පොදුජන පෙරමුණේ සාමාජිකයින් දැඩි නොසන්සුන්තාවයට හා කල කිරීමට පත්ව ඇත.

ගාල්ල දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ඨාශ 10 කින් සමන්විත වන අතර එක් පක්ෂයක් හෝ සන්ධානයක් නියෝජනය කිරමින් 12 දෙනෙකු තරග කරනු ලබයි. පත්වන සම්පූර්ණ මන්ත්‍රීවරුන් ගණන 09 කි. 2015 පාර්ලිමේන්තු මැතිවරණය දක්වා 13 දෙනෙකු තරග කිරීමේ හැකියාව තිබූ අතර මන්ත්‍රීවරුන් 10 දෙනෙකු තේරී පත්විය.

1948 සිට 2015 දක්වා සෑම මැතිවරණයකදීම සියළු ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම නියෝජනය කරමින් බළපිටියෙන් අපේක්ෂකයින් තරග කර තිබුණි. එයට ප්‍රධානම හේතුව වි තිබුණේ බළපිටිය, ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම මැතිවරණ කොට්ඨාශයක් වන අතර ගාල්ල, මැතිවරණ කොට්ඨාශ 04 ක් තිබූ යුගයේදීද බළපිටිය එක් මැතිවරණ කොට්ඨාශයක් විය.

ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු නායක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩ් හා හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා සමග තිබෙන සීතල යුද්ධය හා බද්ධ වෛරය හේතුවෙන් බළපිටියේ පොදුජන සන්ධාන අපේක්ෂකත්වය අහිමි වී තිබෙන බව බළපිටියේ  පොදුජන පෙරමුණු පාක්ෂිකයෝ ප්‍රකාශ කරති. චන්දිම වීරක්කොඩ් මහතා යහපාලන රජය යටතේ අමාත්‍ය ධූරයක් දරා දැනට පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන සිටී. ඒ මහතාට මෙවර අපේක්ෂකත්වය ලබා දී ඇත්තේද හබරාදූව මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් පොහොට්ටුවට ගාල්ල දිස්ත්‍රික්කයේ හිමි අපේක්ෂක කෝටාව තුලිනි. එය රමේෂ් පතිරණ මහතාට වැලැක්විය නොහැකි පොහොට්ටුවේ ඉහළම තැනකින් ගත් තීරණයක් නිසාවෙන් හබරාදූව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතාට, හබරාදූව මැතිවරණ කොට්ඨාශය නියෝජනය කිරමින් අපේෂකත්වය ලබා දීමට රමේෂ් පතිරණ මහතා කටයුතු කර තිබේ. දිල්ෂාන් විදානගමගේ මහතා ඊයේ (14) දිනයේදි නාම යෝජනා පත්‍රයටද අත්සන් තබා තිබේ. එය චන්දිම වීරක්කොඩ් මහතා පරාජය කිරිමේ අරමුණින් රමේෂ් පතිරණ මහතා විසින් ගන්නා ලද තීරණයක් බව පොහොට්ටුවේ මැදිහත් අයගේ මතය වි තිබේ.

ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය යටතේ හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාටද අපේක්ෂකත්වය ලබා දී ඇත. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අම්බලන්ගොඩ ආසනය නියෝජනය කරමිනි. නමුත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ මහතාද පොහොට්ටුවේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ඊයේ (14) නාම යෝජනා අත්සන් කර තිබේ. හබරාදූවේ හා අම්බලන්ගොඩ මේ අපේක්ෂක අප්‍රභංසය හේතුවෙන් බළපිටියේ පොහොට්ටුවේ නියෝජනය අහිමි වි තිබේ.

මේ අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ බළපිටියේ පොදුජන පෙරමුණු අපේක්ෂකත්වය අහිමි කිරීම, පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් සිදුකර ලද්දක් බව බළපිටියේ පොදුජන පෙරමුණු පාක්ෂිකයින්ගේ මතය වි තිබේ. එය පොහොට්ටුවේ ගාල්ල නියෝජ්‍ය නායක හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් පි ද සිල්වා මහතාද එය සාධාරණීකරනය කරමින් සිටින බව පවසන බළපිටියේ පොදුජන පෙරමුණේ ක්‍රියිකාරීහු රමේෂ් පතිරණ මහතා කුමණ තීරණයක් ගත්තත් බළපිටියට අසාධාරණයක් කිරීම මොහාන් පි ද සිල්වා මහතා විසින් අනුමත නොකල යුතු බව බළපිටියේ ජනතාව පෙන්වා දෙති. මොහාන් ද සිල්වා මහතා වර්තමානයේ සිටින තැන දක්වා ඔසවා තැබීමට රත්ගම හැරුණ විට වැඩිම දායකත්වය ලබා දි තිබෙන්නේ බළපිටියෙන් බව අමුතුවෙන් ඒ මහතාට මතක් කර දිය යුතු නැති බවද බළපිටියේ පොදුජන පෙරමුණු ජනතාවගේ අදහස වි තිබේ.

මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තුව පරදින අයට පළාත් සභාවට තරග කරන්නට අවස්ථාව දෙන්නේ නැහැ වැනි බොරු තර්ක ඉදිරිපත් නොකර බළපිටියේ පොදුජන පෙරමුණු අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බළපිටියේ පොදුජන පෙරමුණු ක්‍රියාකාරීහු එසේ නොකල හොත් මැතිවරණ ප්‍රතිඵලය තුල අමතක නොවන පාඩමක් ඉගැන්වීමට පසුබට නොවන බවද ප්‍රකාශ කරති. මහා මැතිවරණයේදී පරදින අයට පළාත් සභාවට තරග කරන්න දෙන්නේ නැහැ යනුවෙන් කරන ප්‍රකාශය තුල දැනටමත් අම්බන්ගොඩ හා හබරාදූවේ සභාපතිවරුන් පරාජිත අපේක්ෂකයින් ලෙස ගාල්ල දිස්ත්‍රික් පොහොට්ටු නායකත්වය විසින් තීරණය කර තිබෙන බවද බළපිටියේ ජනතාව ප්‍රකාශ කරති.

මෙම තීරණයත් සමග බළපිටියේ පොහොට්ටු අපේක්ෂකත්වය අහිමි වී ඇත්තේ බළපිටිය පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස් මහතාටය. ඒ මහතා 2015 වර්ෂයේද බළපිටිය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කිරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් විය. එයට අමතරව පිට පිටම අවස්ථා 04 කදි දකුණු පළාත් සභාව නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙසද කටයුතු කර ඇති ඒ මහතා පොදුජන පෙරමුණ පිහිටවීමත් සමග එහි බළපිටිය සංවිධායකවරයා ලෙස ආසනය සංවිධානය කිරීමට උපරිම දායකත්වයද ලබා දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ බද්දේගම මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය යටතේ දිවංගත අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුතණුවන් වන ඉසුරු දොඩංගොඩ මහතාටද අපේක්ෂකත්වය ලබා දි ඇත. එයට අමතරව ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය යටතේ ලංකා සමසමාජ පක්ෂයේ නියෝජනය වන බද්දේගම සමිත හිමියන්ටද අපේක්ෂකත්වය ලබා දි තිබෙන නිසාවෙන් බද්දේගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට අපේක්ෂත්වය අහිමි වි තිබේ. ඒ නිසාම මුතුහෙට්ටිගම මහතා අතුරලියේ රතන හිමියන් සමග කොඩ්ය ලකුණ යටතේ තරග කිරීමට සූදානමින් සිටින බවත් දැන ගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *