කුඩු ග්‍රෑම් තුනක් ලග තබාගත් කාන්තාව ජීවිතාන්තය දක්වා හිරේට

නඩුව වයස 20 දී නඩුව වැටෙයි තීන්දුව වසර 21 කට පසුව

හෙරොයින් ළග තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් අත් අඩංගුවට ගන්නා ලද අහුන්ගල්ල, වැලිකන්දේ පදිංචි සැකකාරියකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්, බළපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි එම් අබේරත්න මහත්මිය ඊයේ (13) නියම කළාය.

මෙසේ සිරදඬුවම් නියම කරන ලද්දේ අහුන්ගල්ල, වැලිකන්දේ පදිංචි ඉන්දුවාදුර අනුෂා ද සිල්වා (41) නැමැති අයටය.

සැකකාරිය හෙරොයින් ලගතබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකටම වරදකරු වී තිබෙන බවත් අනාගත පරපුර රැක ගැනීමේ අරමුණින් මෙම දඩුවම් නියම කරන බවත් දඩුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කළාය. වසර 21 ක කාලයක් පුරා පැවති මෙම නඩු විභාගයේදී සැකකරාරියට එරෙහිව පැමිණිල්ල චෝදනා ඔප්පු කර තිබෙන බවත් මහාධිකරණ විනිසුරුවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

අත්අඩංගුවට ගත් සැකකාරියට එරෙහිව කොස්ගොඩ පොලීසිය මගින් හෙරොයින් සන්තකයේ තබා ගැනීම හා හෙරොයින් ජාවාරම් කිරීම යනුවෙන් චෝදනා දෙකක් ගොනු කර අංක 24963 යටතේ බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ. සැකකාරිය හෙරොයින් ජාවාරම් කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටියදී අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේ දී 2000 අගොස්තු 23 දින හෙරොයින් ග්‍රෑම් 08 යි මිලිග්‍රෑම් 404 ක් සමග ඇල්පිටිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඉදිරි විමර්ශණ කටයුතු සදහා කොස්ගොඩ පොලීසියට බාර දී තිබේ. ඒ වන විට සැකකාරිය වයස අවුරුදු 20 ක අයෙක්ව සිට ඇති බවද කොස්ගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළාය.

කොස්ගොඩ පොලීසිය, අත් අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමටද පියවර ගෙන තිබේ. රස පරීක්ෂක වාර්තාව අනුව හෙරොයින් තොගයේ හෙරොයින් ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 210 තිබූ බවට තහවුරු වූයේ යැයි කොස්ගොඩ පොලීසිය කියයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකටයුතු අවසන් වීමෙන් අනතුරුව නඩුව අංක 1873 යටතේ බළපිටිය මහාධිකරණයට යොමුකර තිබෙන අතර මහාධිකරණ නඩු විභාගයෙන් පසු ඉහත සදහන් තින්දුව මහාධිකරණ විනිසුරුවරිය විසින් ලබා දී තිබේ.

ඇල්පිටිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ එවකට පොලිස් සැරයන්වරුන් වන පෙරේරා (5736), අසේල (1984), පොලිස් කොස්තාපල්වරුන් වන විමලරත්න (5871), සංජීව (32821), කාන්තා පොලිස් සැරයන් සන්ධ්‍යා (2886) සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබෙන අතර කොස්ගොඩ පොලීසියේ පොලිස් සැරයන් ප්‍රියන්ත (59725) සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුකටයුතු මෙහෙයවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *