බලපිටිය පොහොට්ටුවේ සභාපතිට විරෝධය

මැතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන

බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විරෝධය දක්වා ඊයේ (21) රාත්‍රීයේ බළපිටිය, වතුගෙදර ප්‍රදේශයේ පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කර තිබේ. මෙම පෝස්ටර් හා බැනර් අද (22) දහවල් කාලයේදීද ප්‍රදර්ශණය වන අයුරු දක්නට ලැබුණි.

බළපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් පැටිවත්ත, වතුගෙදර, සීනිගොඩ, තුඩුවේගොඩ, දකුණු වතුගෙදර, පරගහතොට යන ප්‍රදේශයන්හි මෙසේ විරෝධතා පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කර තිබේ. පසුගිය ප්‍රදේශීය සභා මැතිවරණයෙන් බළපිටිය ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අපේක්ෂකයාට සභාපති තනතුර ලබානොදී එය වෙනත් අයෙකුට ලබාදීම සම්බන්ධයෙන් ඊට විරෝධය දක්වා ප්‍රදේශවාසීන් විසින් මෙසේ පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කර තිබෙන බව වතුගෙදර ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරයි.

පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිය කොට්ඨාශය ජයග්‍රහණය කර ඇත්තේ වතුගෙදර කොට්ඨාශයට තරග කල සුනිල් විජේරත්න මහතාය. ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකු වන අතර මෙවර පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්ව තිබේ. නමුත් සභාපති තනතුර ලබාදී ඇත්තේ ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් පොදු ජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉදිරිපත්ව ආදාදොළ කොට්ඨාශය ජයග්‍රහණය කල සමන් ද සිල්වා මහතාටය. ඒ මහතා ලබාගෙන ඇත්තේ සුනිල් විජේරත්න මහතාට වඩා ඉතා අඩු වැඩි ඡන්ද ප්‍රතිශතයකි.

සුනිල් විජේරත්න මහතා මෙවර නම්කර ඇත්තේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති වරයා ලෙසිනි. මීට පෙරත් බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති සුනිල් විජේරත්න මහතාට සභාපති තනතුර ලබා නොදීමට විරෝධය දක්වා මෙසේ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කර ඇත.

මේ සම්බන්ධයෙන් බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති, සමන් ද සිල්වා මහතාගේ පාර්ශවයෙන් ප්‍රකාශ කරන්නේ ප්‍රාදේශීය සභා කාලයේ දෙවන වසර දෙකක කාලය සුනිල් විජේරත්න මහතාට ලබා දීමට ලංකා සම සමාජ පක්ෂය, පොදු ජන පෙරමුණ සමග ගිවිසුමකට එළෙඹ ඇති බවයි. සුනිල් විජේරත්න මහතාගේ පාර්ශවයෙන් ප්‍රකාශ කරන්නේ පළමු වසර දෙක සුනිල් විජේරත්න මහතාට ලබා දීමට එකග වී පසුව එය වෙනස් කිරීම මෙම ගැටළුවට හේතු වී ඇති බවයි.

කෙසේ වෙතත් බළපිටිය ප්‍රාදේශීය සභාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතය සුනිල් විජේරත්න මහතා ලබා ගන්නා විට දෙවැනි වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබාගෙන ඇත්තේ පොල්අතුපළාත කොට්ඨාශය ජයග්‍රහණය කල දොන් විජේවර්ධන ජයවර්ධන මහතාය. මෙම බල අරගලය හේතුවෙන් සිය කොට්ඨාශයට උප සභාපති තනතුර හෝ නොලැබීම විශාල අසාධාරණයක් බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂකයින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදු ජන පෙරමුණට එක් වූ ඡන්ද දායකයින් නිසා බවත් එසේ නොමැතිව අතීතයේ මෙන් ලංකා සම සමාජ පක්ෂයට වර්තමානයේ බළපිටියේ ඡන්ද දායකයින් නොමැති බවත් බළපිටියේ ජනතාව ප්‍රකාශ කරයි. සුනිල් විජේරත්න මහතාද එසේ සම සමාජ පක්ෂයේ සිට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එක් වූ අයෙකු බව ප්‍රකාශ කරන බළපිටියේ ජනතාව එම හේතුව නිසාම ලංකා සම සමාජ පක්ෂය සුනිල් විජේරත්න මහතාට එරෙහිව කටයුතු කරන බවද ප්‍රකාශ කරයි.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ද සිල්වා මහතා පසුගිය අප්‍රේල් 12 දින සිය රාජකාරි ආරම්භ කරන ලද අතර එම අවස්ථාවට සුනිල් විජේරත්න, විජේවර්ධන ජයවර්ධන යන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු සහභාගි වූයේ නැත. මේ තත්ත්වය මත ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යෑමේදී දැවැන්ත ගැටළු මතුවිය හැකි බව ප්‍රාදේශීය සභාවට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. මෙම අර්බුද නිසාම බළපිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවීමටද බොහෝ සෙයින් ප්‍රමාද විය. මේ සම්බන්ධයෙන් සුනිල් විජේරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *