අර්ජුන් මහේන්ද්‍රන්,රතු නිවේදනය සහ බැදුන්කරය

1958 නිව්යෝර්ක් සම්මුතිය

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය අද (20) රතු වරෙන්තුවක් නිකුත් කර තිබේ. අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත් අඩංගුවට ගැනීමෙන් පසු උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට බාරදිය යුතු බවද එහි සදහන් වේ.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව ගොනු කර ඇති නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාය. ඔහු දිගින් දිගටම අධිකරණය මඟහැර සිටින බැවින් අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වරෙන්තු නිකුත් කර තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

2015 ජනවාරි 09 දින පත් වූ රජය විසින් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කරන ලද්දේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාය. මීට පෙර මහ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතේ පැවති අතර එම රජය යටතේ මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ යටතට පත් කර තිබුණි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කල බැවින් අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් සෘජුවම ඒ මහතාට චෝදනා එල්ල විය. 2017 අගොස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවද මහ බැංකුව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේම පැවති අතර එහි අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා යටතේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා තව දුරටත් කටයුතු කළේය.

ඉංග්‍රීසි පාලන සමයේ දී ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය පවත්වාගෙන යනු ලැබුවේ 1884 අංක 32 දරණ කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටවන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මඟිනි. නමුත් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමඟ රටේ සිදු කිරීමට නියමිත සංවර්ධන අවශ්‍යතා සඳහා මෙම මුදල් මණ්ඩල පද්ධතිය ප්‍රමාණවත් නොවූ නිසා මහ බැංකුවක් පිහිටුවීමට මෙරට රජය විසින් තීරණය කළේය. ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බ්‍රිතාන්‍ය රජයෙන් ලබාගත් අතර ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වූ ජෝන් එක්ස්ටර් මහතා මෙරටට පැමිණ මහ බැංකුව සඳහා අවශ්‍ය නෛතික සහ තාර්කික රාමුව සකස් කළේය. එම තොරතුරු වාර්තාව හදුන්වනු ලැබුවේද එක්ස්ටර් වාර්තාව නමිනි. ඒ අනුව 1949 අංක 58 දරණ මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටවන ලද්දේ 1950 අගෝස්තු 28 වෙනිදා. මහ බැංකුවේ ප්‍රථම අධිපතිවරයා වූයේද ජෝන් එක්ස්ටර් මහතාය. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමෙන් පසු 1985 දී එය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත ස්ථිපිත කර තිබේ.

මහ බැංකුවේ රහස්‍ය තොරතුරු සිය දියණියගේ සැමියා වන අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම මෙම නඩුවේ දෙවන සහ සිව්වන සැකකරුවන් ලෙස නම් කර ඇත්තේද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන්ය. ඔවුන් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති බවත් අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාද විශේෂ ප්‍රකාශයක් කරමින් පසුගියදා සදහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව පිළිබඳ විශේෂ ප්‍රකාශක් කරමිනි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ හා මහ බැංකු නිලධාරීන්ගේ සහයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදල් ඉපැයු බව මහ බැංකු බැදුම්කර වංචාව පිළිබද සොයා බැලීම සදහා පත්කරන ලද විශේෂ ජනාධිපති කොම්ෂන් වාර්තාවේ සදහන් වේ. මේ අතර ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස්  තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීමෙන් බැඳෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට විරුද්ධවද අල්ලස්   පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බවත් මෙම බැඳුම්කර කොමිෂන් වාර්තාවේ සඳහන් වේ.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට භාර නොවී දිගටම සිංගප්පුරුවේ සිටිනවා නම් ඒ මහතා කිසිදු දිනක අත්අඩංගුවට ගැනීමට නොහැකි බවත් සිංගප්පුරුව ජාත්‍යන්තර පොලීසියත් සමග කිසිදු ගිවිසුමක් අත්සන් නොකිරීම ඊට හේතුව බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කරයි. සිංගප්පුරුව මෙක්සිකෝව නයිජිරියාව යන රටවලට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කිරීමට නොහැකි බවත් ඊට හේතුව එම රටවල් ජාත්‍යන්තර පොලිසිය සමග කිසිදු ගිවිසුමකට අත්සන් නොකර තිබීම බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හා සිංගප්පුරුව පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල් බැවින් දෙරට අතර උදර්පන ගිවිසුමක් ඇති කරගතහොත් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගත හැකි බවද එවැනි උදර්පන ගිවිසුමක් අත්සන් කිරීමට නම් සිංගප්පුරුවේ එකඟතාවය තිබියයුතු බවද ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිගටම සැඟවී සිටියද මහාධිකරණය මඟින් ඒක පාර්ශවීයව නඩු විභාගයක් පවත්වා වරදකරු වූ පසුව 1958 නිව්යෝර්ක් සම්මුතියට අනුව සිංගප්පුරුවේ ඔහුට හිමි වාණිජ වටිනාකම ශ්‍රී ලංකා රජයට අයකර ගත හැකි බවත් 1958 නිව්යෝර්ක් සම්මුතියට ශ්‍රී ලංකාව මෙන්ම සිංගප්පුරුවද අත්සන් කර තිබෙන නිසා ශ්‍රී ලංකාවේ මහාධිකරණයෙන් ලබාදෙන නඩු තීන්දුවකට අදාළ දේපළ පවරාගැනීමත් සිංගප්පුරුවේ අධිකරණය හරහා සිදුකර ගත හැකි බවද ප්‍රතිභා මහානාම හේවා මහතා  පෙන්වා දුන්නේය. මේ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සිරදඩුවම් ලබාදීමට නොහැකිවුවත් ශ්‍රී ලංකා මහ බැංකුවට ඔහු සිදුකළ අලාභය සිංගප්පුරුවේ ඔහුට තිබෙන වත්කම් වලින් අයකරගත හැකි බවද ප්‍රතිභා මහානාම හේවා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *