අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව කුඹුරක් ගොඩකර පාරක් හදලා

අම්බලන්ගොඩ, තිලකපුර ප්‍රදේශයේ සිය දෙමාපියන්ගෙන් ලැබුණ 1980 සිට අස්වැද්දූ කුඹුර මැදින් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව බලහත්කාරයෙන් කපන ලද පාර සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියට කල පැමිණිල්ලට මෙතෙක් සාධාරණයක් ඉටු නොවූ බව පැමිණිල්ල කරන ලද කාන්තාව ඊයේ (18) ප්‍රකාශ කළාය.

මෙම පැමිණිල්ල කර ඇත්තේ අම්බලන්ගොඩ, තිලකපුර පදිංචි අන්තෝනි කුසුම් (49) නැමැති අයයි. ඇය විසින් කරන ලද පැමිණිල්ල CIB 03/120/08 යටතේ අම්බලන්ගොඩ පොලීසි විසින් සටහන් කර ගෙන තිබේ. පසුගිය මාර්තු 03 දින මෙම කාන්තාව විසින් අම්බලන්ගොඩ පොලීසියට අදාල පැමිණිල්ල කර තිබේ.

තිලකපුර, කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන සහකාර ලේඛා කාන්ති මහත්මිය සමග අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ මහතා තවත් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් වැටක් ගසා පසුදින පැමිණ බැකෝ යන්ත්‍ර යොදා පාරකැපූ බව කුසුම් මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලේ සදහන් වේ. අඩි 10 ක් පමණ පලලින් යුක්තව මීටර් 150 ක් පමණ දිගට මෙම පාර කැපූ බවත් කුඹුර 1980 සිට තමන් සහ සිය දෙමාපියන් විසින් අස්වැද්දූ බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් වේ.

කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන සහකාර තුමියද තමන්ගේ කුඹුරට මදක් දුරින් මීට වසර 20 කට පමණ පෙර කුඹුරක් ගොඩකර පොල් හා කුරුදු වගාකර තිබෙන බවද එම ඉඩමට යෑමට පාරක් තිබියදී තමන්ගේ කුඹුර මැදින් තවත් පාරක් කැපීම අසාධාරණ බවද අන්තෝනි කුසුම් (49) මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළාය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටද මෙම පාර කැපීම සම්බන්ධයෙන් තමන් පැමිණිලි කල බවත් ඔවුන්ගෙන්ද සාධාරණයක් ඉටුනොවූ බවත් සදහන් කරන අන්තෝනි කුසුම් (49) මහත්මිය මේ සදහා සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා බලධාරීන් දැනුවත් කරන්නැයි මාධ්‍යයෙන් ඉල්ලා සිටියාය.

මේ සම්බන්ධයෙන් තිලකපුර ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් පී ඩබ්ලිව් පියසේන මහතාගෙන් විමසු විට මෙසේ පැවසීය.

සිද්ධියට අදාල කුඹුර වසර 40 ක පමණ කාලයක සිට අන්තෝනි කුසුම් හා ඇයට පෙර ඇයගේ පියා විසින් අස්වද්දනවා. අක්කර ½ ක් පමණ තිබෙනවා. අපි පොහොරත් අරන් දෙනවා. වී කුරණි 06 ක් ගන්න පුළුවන්. කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන සහකාර ලේඛා කාන්ති මහත්මියගේ ඉඩමට යන්න වෙනත් පාරක් තිබෙනවා. මේ කුඹුර මැදින් පාර කපපු එක වැරදියි. මුලින් වැටක් ගහපු වෙලාවේ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා ඇවිත් වැටත් ගලවල කුඹුරට මොකුත් කරන්න එපා කියල ගියා. මේ පාර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමත් එක්ක ඇවිත් පාර කැපුවා. දැන් පොලීසියත් නිහඩයි, වගේ පේනවා.

තිලකපුර කෘෂිකර්ම පර්යේෂණ හා නිශ්පාදන සහකාර ලේඛා කාන්ති මහත්මිය මෙසේ කීවාය.

මේ ඉඩම අක්කර 14 කින් යුක්ත රජයේ ඉඩමක්. අයිතිය තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට. 1980 සිට 1997 දක්වා අපි නාගරික සංවර්ධන අධිකාරියට බදු මුදල් ගෙවල තිබෙනවා. ඒවායේ කුවිතාන්සි අපි ලග තිබෙනවා. 1997 දී අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම්ට ඉඩම පැවරුව කියල අපෙන් බදු මුදල් ගත්තේ නැහැ. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් යටතේ තිබුණ ඉඩම් හිටපු මහ ඇමති ශාන් විජයලාල් මහත්තයා හා හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි සිරිසුමන මහත්තයා වරින්වර බෙදල දුන්නා. 

අපේ තාත්තගෙන් මටත් ලැබුණ ඉඩම් කොටසක් තිබෙනවා. 1980 ඉදන් මගේ ඉඩමට ගිය පාරක් තිබුණා. ඔය අන්තෝනි කුසුම් කියන අය ඒ පාර වහල තිබෙනවා. මගේ ඉඩමට යන්න වෙනත් පාරක් නොමැති බව නාගරික සංවර්ධන අධිකාරිය පවා කියනවා. 1999 දී බතලගොඩ වී පර්යේෂණ ආයතනය ඇවිත් ගොඩ එළවළු වගාව කරන්න පර්යේෂණ කලා. අපි අපේ කොටසේ එළවළු වගා කළා. ඒ අයත් මගේ ඉඩමට යන්න මේ පාර වෙන් කළා. අපි බලෙන් පාරක් කැපුවේ නැහැ. අපේ ඉඩමට යන්න තිබුණ පාර නැවත සකස් කළා පමණයි. බැකෝ යන්ත්‍ර දාල පාර කැපුවේ අපි නොවෙයි. ඒක කළේ කව්ද කියන්න අපි දන්නේ නැහැ. අපි ඒ වෙලාවේ පොලීසියෙයි හිටියේ.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිරි මහතාගේ 077-3115530 දුරකතනනේ විමසූ විට ඒ පිළිබදව තමන් කිසිවක් නොදන්නා බව ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *