විල්පත්තුව රකින ගුවන් කැමරා පද්ධතිය සාර්ථකයි

පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නපෙරුම මහතා පවසයි

විල්පත්තු වනයෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් ගුවන් මඟින් කරන කැමරාගත කිරීම්වලට අදළ වාර්තාවන් කෙරෙහි ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කර ඇති බවත් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව කිසිදු කැලයක් කපන්නට අවසර දී නොමැති බවත් පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නපෙරුම මහතා පවසයි

විල්පත්තු කැලෑව කපන බවට සමාජ වෙබ් අඩවිවලින් ප්‍රචාරය වීමත් සමඟ පසුගිය ආණ්ඩුව කාලයේ කැලෑ කැපීමට ලබා දී තිබූ සියලු බලපත්‍ර අහෝසි කරන්නට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් කිසියම් පෞද්ගලික හේතුවක් උදෙසා කැලෑව කැපීම සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාතික හා දිස්ත්‍රික් කමිටුවලට පැහැදිලි කිරීමක් කර අවසර ගත යුතු බවත් ඇමැතිවරයා කීය.

මුලතිව් දිස්ත්‍රික්කයේ වන ඝනත්වය සියයට 60ක් දක්වා ඉතිරිව පවතිනුයේ පසුගිය වසර තිහ තුළ මිනිස් ක්‍රියාකාරකම් ඒ ප්‍රදේශයේ සිදු නොවීම නිසා බවත් යුද්ධය අවසන් වීමත් සමඟ වසර 2010 දී පමණ සිට එක් එක් අයිතිකරුවන් මේ ප්‍රදේශයට අයිතිවාසිකම් කියා ගෙන එන්න පටන් ගත් බවත් ඇමැතිවරයා කීය.

එදා මේ ඉඩම් බෙදා දීම බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛතාවයෙන් යුක්ත කමිටුවක් මඟින් සිදු වූ බවත් පෞද්ගලික ආයතනවලට විල්පත්තු ඉඩම් එදා ලබාදීම සිදු වී ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් වූ පසුව කිසිදු කැලෑවක් කපන්නට අවසර නොදුන්නේ යැයි ද, විල්පත්තු වන සංහාරය සිදු වූයේ වත්මන් ආණ්ඩුව යටතේ නොවන අතර වත්මන් ආණ්ඩුව සිදු කෙළේ සමාජ වෙබ් අඩවිවලින් ප්‍රචාරය වූ ඒ සිදුවීම් නැවැත්වීම බවත් ප්‍රකාශකෛළේය.

2014 වසරේදි මෙරටට දැව හා දැවවලින් නිපද වූ භාණ්ඩ ආනයනය රුපියල් බිලියන 7 ක් පමණ වුවත් එය මේ වන විට බිලියන 13 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් දැව අවශ්‍යතාව සඳහා ආනයනය වැඩි වී ඇති බව එමගින් පැහැදිලි වන බවත් ඇමැතිවරයා අවධාරණය කෙළේය.

උතුරු නැඟෙනහිර පළාත්වල කැලෑවන් පිළිබඳ දැනට ගුවන් හමුදාව මඟින් පරීක්ෂාවට ලක් වන අතර කිසිදු ඉදි කිරීමක් හෝ වෙනත් දෙයක් හඳුනා ගතහොත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීම සිදු කෙරේ.සෙසු රටවල් සමඟ සංසන්දනය කිරීමේදි මෙරට වන ඝනත්වය අඩු වීමේ ප්‍රවනතාව ඉතාම අඩු වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හදුනාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *