වැරදි ප්‍රචාරයක් නිසා ගමක් වහලා ජනතාව අසරණවෙයි!!

රෝගියකු නැතිවත්හුදෙකලා කළ විල්ගොඩ
වැරදි ප්‍රචාරයක් නිසා අපි හිරකාරයන් වුණා ..

“අපේ ලැයිමේ  කාටවත් කොරෝන තිබුණේ  නෑ. කොරෝනා ආසාදිත කෙනා පදිංචි වෙලා ඉන්නේ අස්වැද්දුම. ඒත්, ලොක්ඩවුන් කළේ අපේගම . මේ බොරු ප්‍රචාරයක් හින්දා අපිට ඉදිරියේදී කවුරුවත් කුලියක් වත් දෙන්නෙ නැති වෙයි. අපි කියන්නෙ, එහෙම කෙනෙක් පෙන්නලා ලයිම වහන්න තිබුණා. අද  අපිට කන්න, බොන්න තිබුනේ  නෑ. අපිට බඩුවක් මුට්ටුවක් ගන්න වෙලාවක් තිබුණෙන් නෑ. දවසේ කුලියට යන කාටවත් කුලී වැඩක් කරගන්න විදිහක් නෑ. වගකිවයුත්තන්ට  කියන්න විදිහක් නෑ. පොලිසියෙන් විතරයි ඇතුළට ආවෙ .”
කුරුණෑගල නගර සීමාවේ විල්ගොඩ පදිංචිකරුවෙක් එසේ පැවසුවේ දැඩි වේදනාවෙනි. ප්‍රධාන නගරයක දිවි ගෙවූවද කිසිවකුගේ අවධානයට හසු නොවී කොන් වූ  හා අවවරප්‍රසාධිත ජීවිත ගත කළ ඔවුන් පසුගියදා මුළු රටේම අවධානයට ලක් විය. ඒ කුරුණෑගල නගර සභා සේවකයන් හය දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවටත් විල්ගොඩ ප්‍රදේශය සෞඛ්‍ය නීතිවලට අනුව ආරක්ෂක අංශ විසින් පසුගිය ඔක්තෝබර් මස තිස් වන දා සිට වසා දැමූ බවටත් පළ වූ ප්‍රවෘත්තිය හේතුවෙනි.
නමුත් ඒ වසාදැමීම සාධාරණ නොවන බවත්, ප්‍රචාරය වූ පුවත් අසත්‍ය බවත්  විල්ගොඩ  ප්‍රදේශවාසීහු කියා සිටිති. මේ හේතුව නිසා නිවෙස්වල ගෘහ සේවයට  සහ දෛනික කම්කරුවන් ලෙස රාජකාරි කටයුතු කරන අයට ජීවන මාර්ග අහිමි වූ බවත් ආණ්ඩුවෙන් ලැබිය යුතු සහන නිසි පරිදි නොලැබුණු බවත් ඔවුහු පැවසූහ .
මොකක්ද මේ විල්ගොඩ?
අවුරුදු සියයකට වඩා පැරණි ලැයිම් කාමරවල ජීවත්වන මෙම ජනතාව දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වීම,  නිවාස ලබා දෙන බවට ඒ ඒ කාලවල බලය දරන පාලකයන්ගේ කඩවුණු පොරොන්දුවල ප්‍රතිඵලයකි. එහෙත්, ඔවුන්ගෙන් කීපදෙනෙක් ගමෙන් පිටව ගොස් වෙනත් ප්‍රදේශවල පදිංචිව සිටින අතර, කවදාක හෝ කඩවුණු පොරොන්දුව ඉටු වේ යැයි අපේක්ෂාවෙන් විල්ගොඩ වත්තේ පදිංචිකරුවන් බවට ලියාපදිංචිව සිටිති. පසුගියදා කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත්තේ එසේ ගමෙන් පිටව ගොස් පදිංචි වූ අයකුටය. බලධාරීන් කළේ ඔහු දැනට පදිංචිව සිටින ප්‍රදේශයට නොව ඔහු නීත්‍යානුකූලව ඡන්ද නාම ලේඛනයට ලැයිස්තුව නම යොදා ඇති විල්ගොඩ ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා හුදෙකලා කිරීමයි. රෝගියකු හමු වූ පමණින් ප්‍රදේශයම හුදෙකලා කිරීම අවශ්‍ය වූයේ මක්නිසාදැයි පැහැදිලි නැත. එක්කෝ එය කිසිදු සොයාබැලීමකින් තොරව ගත් තීරණයකි, නැතහොත් හිතාමතාව මෙම පදිංචිකරුවන්ට වෙනස් කොට සැලකීමකි. ගෘහ සේවයේ යෙදෙන සහ දෛනිකව කුලී වැඩවල නිරත පිරිසක් වෙසෙන මෙම ප්‍රදේශයේ ජනතාව එදිනෙදා ආහාර වේල පමණක් සරිකර ගන්නා පිරිසකි. පසුගිය  තිස් වන (30) දා පෝය දවසක් ව තිබියදී  හිටිහැටියේ ලයිම වසා දැමීමෙන් අටසියයක් පමණ පදිංචිකරුවෝ දැඩි අසීරුතාවකට ලක්වූහ.

ග්‍රාම නිලධාරීවරයාත් ස්වයං නිරෝධායනයට!
හරි හෝ වැරදි හෝ ආණ්ඩුව නිල වශයෙන් යමක් තීරණය කළහොත් රාජ්‍ය නිලධාරීන්ට ඒ අනුව කටයුතු කිරීමට සිදු වේ. ඒ අනුව විල්ගොඩ ප්‍රදේශය අයත් ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී සම්පත් රස්නායක මහතාටද ස්වයං නිරෝධායනට ලක් වීමට සිදුව තිබේ. ඔහු ඒ ගැන මෙසේ කියා සිටියේය.
 “ආමි එකේ බුද්ධි අංශය දුන් රිපෝට් එකකට අනුව විල්ගොඩ ප්‍රදේශයේ එක් අයෙකු ආසාදනය වුණු   බවට තොරතුරු වාර්තා වනවා. ඡන්ද නාමලේඛන ලැයිස්තුවට අනුව ඔහු මේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වුවත්, ඔහු දැනට පදිංචිව ඉන්නේ අස්වැද්දුම ප්‍රදේශයේ. නමුත් මේ ප්‍රදේශයේ කොවිඩ් ආසාදනය වූ අය ඒ වෙද්දි හිටියෙ  නැහැ. මේ අයගේ PCR පරීක්ෂණ කළා. ඒ අනුව කිසිදු ආසාදිතයෙක් විල්ගොඩින් වාර්තා වෙලා තිබුනෙ  නෑ. ඒත් නිලවශයෙන් මගේ වසමේ ආසාදිතයකු සිටින බව වාර්තා වෙලා තිබුණු  නිසාත්, මම රාජකාරි කටයුතුවලටදී මේ පදිංචිකරුවන් සමඟ කටයුතු කර තිබෙන නිසාත් මමත් ඉන්නෙ ස්වයං නිරෝධානයට ලක් වුණා. විල්ගොඩ පදිංචිකරුවන් ඔවුන්ගෙ ගැටලු මට කතා කරල කියනවා. මමත් දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා හැකි පමණින් ඒවා විසඳන්න උත්සාහකළා . ඔවුන්ට කෑම බීම යවන්න කටයුතු කළා. මේ අයට බලපාන සංවේදී කාරණා කීපයක් තියනවා. ඉතින් නිරන්තරයෙන්ම  ඒ පිළිබඳව මට කතා කරනවා. අපේ හාමුදුරුවරු මැදිහත් වෙලා මේ අය පිළිබඳව සොයා බලන එක ලොකු දෙයක්.” ඔහු කීවේය. විල්ගොඩ පදිංචිකරුවන් පිළිබඳ ගැටලුවේ සුලමුල ඉතාම හොඳින් දන්නා ඔහු ඒ පිළිබඳව කළ පැහැදිලි කිරීමද ඉතා වැදගත්ය.

“විල්ගොඩ ප්‍රදේශය සාමාන්‍යයෙන් පවුල් 154 ක් පදිංචි බවට ඡන්ද නාමලේඛන ලැයිස්තු තිබුණත්, සැබෑවටම පවුල් පදිංචිව ඉන්නේ පවුල් එකසිය විසි හතරයි. මේ අයගේ එක නිවසක් අපේ එක කාමරයක් වගේ. ඒක ඇතුලේ පවුල් හතරක් විතර ඉන්නවා. සමහර අය රෑට නිදාගන්න තුරු තව කොටසක් එළියෙ ඉන්නවා. පරම්පරා ගාණක් තිස්සේ ඔවුන් මේ කාමරවල ජීවත් වෙනවා. දැන් අනු පරම්පරා බිහිවෙලා. මේ විදියට ඉඳීමට අකමැති වුණ පිරිසක් වෙනත් ප්‍රදේශවල පදිංචිව සිටියත්, ඔවුන්ට නිවාස දෙනවා කියන පොරොන්දු නිසා ඔවුන්ගේ පදිංචිය විල්ගොඩ  තියෙනවා. ඒක අපි දන්නා කාරණාවක්. කාලෙන් කාලෙට බලයට පත්වෙන හැමෝම මේ අයට නිවාස හදලා දෙනවා කියනවා. අපි සංඛ්‍යාලේඛන හදනවා. ව්‍යාපෘති සකස් කරනවා. නමුත් තාම ඒ අයට නිවාස ලැබිලා නෑ. මං අවුරුදු හයක් මේ වසමෙ වැඩ කරන නිසා මේ වසම ගැන මං හොඳට දන්නවා. මේ වගේ වැඩ කටයුතු කරගෙන යනකොට අපිට තේරෙනවා මේ අය කොච්චර අසීරුවෙන්ද මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ කියලා. මේ අය මාසිකව සැලකියයුතු ආදායමක් ලැබුවත් නමුත් මේ ගොල්ලන්ගෙ ආර්ථිකය පිළිබඳව සැලැස්මක් නෑ. ඉතිරි කිරීමක් නෑ.” ග්‍රාම නිලධාරීවරයා පැවසුවේය.
විල්ගොඩ ජනතාව පත් වූ අපහසුතාව පිළිබඳව සැලකිල්ලක් දැක්වූ කුරුණෑගල ඇස් කන්ද රජ මහා  විහාරාධිකාරී ස්වාමින්වහන්සේ දින පහළොවක් පුරා ඔවුන්ගේ දෛනික ආහාර වේල සකස් කර දෙමින්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලමින් කටයුතු කළහ. ඔවුන්ගේ මානුෂීය අවශ්‍යතා පිළිබඳව සොයා බැලුවේ ඇත්කඳ විහාරය මූලික කොටගෙන විවිධාකාරයේ පරිත්‍යාගශීලීන් විසිනි. හුදෙකලා ප්‍රදේශ බවට පත් කරනු ලැබූ ඉලුප්පුගෙදර වසමට අයත් විල්ගොඩ, ගල් වල, එළුගල, ආදී ප්‍රදේශවල ජීවත්වන දමිළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ දීපාවලි උත්සවය පිළිබඳව පවා සොයා බලමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා අවශ්‍ය පහසුකම් සැලසූහ.
‘හුදෙකලා කිරීම ගැටලුවක්’
කුරුණෑගල නගර සභාවේ නාගරික මන්ත්‍රීනී මුත්තයියා සෙල්වනායගී මහත්මිය විල්ගොඩ ප්‍රජාව අතරින් මතු වූ මහජන නියෝජිතවරියකි. ඇය මේ ගැටලුව පිළිබඳව මෙසේ පැවසුවාය.
“විල්ගොඩ කියන්නේ මගේ ගම. මගේ වසමටයි අයිති වෙලා තියෙන්නේ. විල්ගොඩ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් හයදෙනෙක් ඉන්නවා කියලා ප්‍රචාරය වුණ කතාව බොරුවක්. ඉලිප්පු ගෙදර වසමේ හතර දෙනෙක් ආසාදිත බව තහවුරු වුණා. එක්කෙනක් එළුගල ගමේ. දෙන්නෙක් ගල්වල ගමේ. නමුත් විල්ගොඩ එක්කෙනා ඡන්ද නාමලේඛන ලැයිස්තුවට නම දාලා  තිබුනට, එයා පදිංචි වෙලා ඉන්නේ අස්සැද්දුමේ. මේ ගැන ටිකක් හරි හොයලා බැලුවනම් එදා විල්ගොඩ ‍ලොක්ඩවුන් කරන්නේ  නෑ.  දැන් විල්ගොඩ මිනිස්සු අසරණ  භාවයට පත්වෙලා. එදිනෙදා වේල හොයාගෙනයි එයලා කන්නෙ. සීනි සීයක් තේකොල ග්‍රෑම් 50ක්  වගේ තමයි කඩෙන් ගන්නේ. එහෙම දවස පිරිමහගන්න මිනිස්සු තමයි මේ ප්‍රදේශයේ ඉන්නේ. ඇඳිරි නීතිය දාපු දවස පෝය දවසක්. කඩ වහලා නිසා අයට මොකුත් ගන්න තැනක් තිබුණෙ නෑ. මම මේ පිළිබඳව  කුරුණෑගල පොලිස් ස්ථානයට දැනුම් දුන්නා. එතකොට පොලිස් ස්ථානාධිපති අධිකාරි මහත්තයා කීවා. ගම ඇතුළේ කඩයක් ඇරලා දෙන්නම් කියලා. ගමේ ආසාදිතයකු ත් නැතුව ගමේ හිර වෙච්ච එකයි ගැටලුව. ඊට පස්සේ පොලිසිය මැදිහත් වෙලා කෑම බීම ලබා දීලා තිබුණා. නමුත් මේ ගමේ අය කියන්නේ කවුරුවත් ආවෙ නෑ කියලා. ඒකට හේතුව ගම ඇතුළට කාටවත් එන්න දෙන්නෙ නෑ. ඇතුළට යන්න පුළුවන් පොලිස් නිලධාරීන්ට විතරයි. නමුත් හොයන්න පුළුවන් හැම කෙනෙක්ම මේ පිළිබඳව සොයා බලනවා. නගර සභාවෙන් ආහාර මල්ලක් දීමට කටයුතු කරලා තියෙනවා. නමුත් මේ අය දන්නේ නැති නිසා කියනවා කවුරුත් ආවෙ නෑ කියලා. ඒ කතාව නම් වැරදියි. හැමෝම උදව් කරනවා. නගර සභාවේ වැඩ කරන  සේවකයෝ 50ක්  විතර විල්ගොඩ ඉන්නවා. ඉතුරු අය දවසේ කුලියට වැඩ කරන අය. මේ ගැටලුව නිසා අද විල්ගොඩ ජනතාව ලොකු අසීරුතාවකට ලක්වෙලා. බොහෝ දෙනෙක් කාන්තාවෝ නිවෙස් වල ගෘහ සේවයට යන අය. මේ ප්‍රශ්නය නිසා ඔවුන්ට ඉදිරියේ දී රැකියාවන් අහිමි වේ යැයි කියන ගැටලුවක් තියනවා. මේ නිසා මාධ්‍ය මගින් හරි දේ ප්‍රචාරය වුණොත් හොඳයි. දැනට පදිංචිව සිටින  කිසිවෙක් ආසාදිතයන් නොවන බවට පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා.”ඇය කීවාය.
කුරුණෑගල නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඒ. ජී. උපතිස්ස  මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙලෙස අදහස් පළ කළේය.
“කුරුණෑගල නාගරික බල ප්‍රදේශයේ එළු ගල,  ගල් වල, අම්මාන් කෝවිල් පාර,  විල්ගොඩ වගේ ප්‍රදේශවල අවදානම් තත්වයක් තිබුණා . අපි මුලින්ම PCR  පරීක්ෂණය කරපුවාම විල්ගොඩ ප්‍රදේශයේ ආසාදිතයෙක් හමුවුණා. ඊට පස්සේ ආශ්‍රිතයන් සම්බන්ධව  අපි දෙවැනි වටයේ පරීක්ෂණයක් කරා. එහි ප්‍රතිඵල ඔක්කොම නෙගෙටිව්. දැනට කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව  සෞඛ්‍යය නීති පිළිවෙත් අනුගමනය කරනවා.” ඔහු කීවේය.
කුරුණෑගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගෙන්ද මේ  තත්ත්වය පිළිබඳව අපි විමසීම් කළෙමු. “කුරුණෑගල නගර සීමා බල ප්‍රදේශයේ විල්ගොඩ, අම්මාන් කෝවිල් මාවත, සෞම්‍ය මාවත  වැනි ප්‍රදේශ වල සංචරණ සීමා කළා.  නමුත්, දුර ගමන් සේවා ක්‍රියාත්මකයි. තවදුරටත් ඒ ආශ්‍රිතයන් සම්බන්ධව PCR පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. දැනට ඒ ප්‍රදේශවලට අවශ්‍ය පහසුකම්, ආරක්ෂාව ලබාදීමට සියලුම ආරක්ෂක අංශ කටයුතු කරනවා.
කුරුණෑගල නගර සභා සීමා බල ප්‍රදේශය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් ප්‍රචාරය වී තිබේ. මහජනතාවට නිවැරදි තොරතුරු ගලා නොයෑම නිසා, කුරුණෑගල නගරයේ සත්‍ය තත්ත්වය පිළිබඳව ඇත්තේ ව්‍යාකූල අදහසකි. කුරුණෑගල නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න මහතාගෙන් අපි මේ ගැන කරුණු විමසුවෙමු.
‘අසාදිතයකු නැතත් හුදෙකලා කිරීම හොඳයි’
“පසුගිය දා කුරුණෑගල නගරය බස්ටෑන්ඩ් එක ආශ්‍රිත කරගෙන අපි PCR පරීක්ෂණ  දාහතක් (17) අහඹු ලෙස සිදු කළා. එහිදී අපිට පොසිටිව් වුණු ආසාදිතයන් අටදෙනෙක්  හමු වුණා. ඉන් හයදෙනෙක් කුරුණෑගල නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් විදියට වැඩ කරන, පිට වැඩ වලටත් සම්බන්ධ වෙන අය. ඉන් දෙන්නෙක් මාළු ලෑල්ලක වැඩ කරලා තියෙනවා. ඒ නිසා පසුවදා  කුරුණෑගල නගර සභා සේවකයන් සියයක් (100) PCR පරීක්ෂණයට ලක් කළා. ඒ සියලුම වාර්තා සාමාන්‍යයයි (Negative) . 
නමුත් කුරුණෑගල නගරය  සියලුම නගර වලට ඉතා පහසුවෙන්  සංක්‍රමණය විය හැකි  මධ්‍යස්ථ නගරයක්. ඒ නිසා සංක්‍රමණිකයන් අවම කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ එකතු වෙලා  ගත්ත තීරණයකට අනුව කුරුණෑගල නගරයට සංචරණ සීමා පැනෙව්වා. කුරුණෑගල නගර සීමා බල ප්‍රදේශයේ විල්ගොඩ, ගල් වල එළු ගල වගේ ප්‍රදේශවල ආසාදිතයන් හමු වුණු නිසා  සංචරණ සීමාවන් පැනෙව්වා. නමුත් විල්ගොඩ ප්‍රදේශයට මුලින්ම සංචරණ සීමා පනවන විට  ආසාදිතයෙක් සිටින බවට වාර්තා වුවත්, ඔහු එම  ප්‍රදේශයේ පදිංචිකරුවෙක් නොවන බවට  පසුව වාර්තා වුණා. ඒ වන විට ඒ ප්‍රදේශයට සංසරණ සීමා පනවලා ඉවරයි.
එලෙස  මුලින්ම හමු වූ ආසාදිතයා එම ප්‍රදේශයේ ඡන්ද නාම ලේඛනයේ සඳහන් වුවත් ඔහු වෙනත් ප්‍රදේශයක පදිංචි අයෙකු බව වාර්තා වුණා. ඒ අනුව අපි ඔහු දැනට පදිංචි අස්සැද්දුම ප්‍රදේශයේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කළා. නමුත් සංචරණ සීමා පැනවූ විල්ගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයෙක් නොමැති වුවත් දිගටම සංචරණ සීමා තිබීම හොඳ බව අපි හිතනවා. ඒකට හේතුව ඒ ප්‍රදේශයේ ජනතාව නගරසභා සභාවේ සේවයෙන් පසුව පිට ස්ථානවල, විශේෂයෙන්ම නිවාස, මාලු කඩ වැනි තැන්වල වැඩ කරන  නිසාත්, මේ අයගේ නිවෙස්වල තදබදය නිසාත්,  ඒ සංචරණ සීමා දැමීම යෝග්‍යයි කියලා දැන් අපි හිතනවා. අපි  ඒ අයට නිවාස යෝජනා ක්‍රමයකුත් ගෙනත් තිබෙනවා. ඒ අයට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය, පිසන ලද ආහාර,  කුරුණෑගල නගර සභාව, ප්‍රාදේශීය සභාව, පොලිසිය, වෙනත් ආයතන ලබාදෙමින්  සියලු  කටයුතු කරමින් ඉන්නවා”  යැයි  නාගරික කොමසාරිස්වරයා කීවේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *