ශ්‍රීලනිපයේ පිරිසක් පක්ෂයට නව නායකයෙකු ඉල්ලයි

බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගන්නා ලෙසට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියාකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමේ කුමන්ත්‍රණයක නිරත වන පොදුජන පෙරමුණේ ක්‍රියාකාරකම්වලට ඉඩ නොදී බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගන්නා ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු ඇතුළුව තරුණ බල මණ්ඩල නියෝජිත පිරිසක් ඊයේ (3) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලකර සිටියේ ය.

කොළඹ මහජන පුස්තකාලයේදී ඊයේ (3) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් ජනාධිපතිවරයාට බල කරමින් එක හඬින් මෙම ඉල්ලීම කළේ කැස්බෑව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක නීතිඥ රජික කොඩිතුවක්කු, බේරුවල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක එම්.එම් අම්ජාඩ්, කෑගල්ල ශ්‍රීලනිප දිස්ත්‍රික්ක සංවිධායක බණ්ඩාර අතුකෝරල, කඩුවෙල ශ්‍රීලනිප සම සංවිධායක ජී.එච් බුද්ධදාස මහරගම ශ්‍රීලනිප කොට්ඨාශ භාර තුෂාර රංග, ගම්පහ ශ්‍රීලනිප තරුණ බල මණ්ඩලයේ සභාපති සුරංග මහත්වරු ඇතුළුව කළුතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේ සභාපතිනි නිමන්ති පීරිස් මහත්මියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයට ආසන සංවිධායකවරු විසිහතර දෙනෙකු, මන්ත්‍රීවරු දහ අට දෙනෙකු සමග ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාද සිටින අතර ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැදි දේශපාලනඥයින් ඊට එකතුවන බවත් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වුන සැවොම එකහඬින් පැවසූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *