රතන හිමියෝ නංගි පෙන්නලා අක්කා දෙන්නයි හදන්නේ.

රතන හිමියෝ නංගි පෙන්නලා අක්කා දෙන්නයි හදන්නේ.

පී. එස්. ටී. බන්ඩාර

රතන හාමුදුරුවන් වහන්සේ විසින් මුද්‍රණය කොට දුන් මේ පත්‍රිකාවේ උඩින්ම තියෙන්නේ මොකක්ද? බලකාම අග්නිය නිවාලන මහ වැස්ස කියලයි. බලකාමයේ අග්නියට අසුවෙලා ඉන්නෙ රතන හාමුදුරුවොයි, දැනට සැඟවිලා ඉන්න වේදානිගම විමලතිස්ස හාමුදුරුවොයි. අපි කියන්නේ මුලින් කරුණාකරලා ඔබ වහන්සේලා දෙනමගේ බල කාම අග්නිය නිවා ගන්න කියලයි. වෙනත් පක්ෂවල බල කාමය ගැන කතා කරමින් ඔබ වහන්සේලා බලකාම අග්නියෙන් වියරු වැටිලා වැඩ කරන්න එපා. හාමුදුරුවනේ,  ඔබවහන්සේලාට අයිති නැති සහ ජනතාව විසින් ඔබ ඔබවහන්සේලාට නුදුන් පාර්ලිමේන්තු අසුනක් වෙනුවෙන් වියරු වැටිලා වැඩ කරන්න එපා. මේ තුච්ඡ වැඩේ නවත්තලා චීවරයේ ගෞරවය රකින ලෙස අපි ඉල්ලනවා යනුවෙන් අපේ ජන බල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ජීවන් චතුරංග මහතා  අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

තව දුරටත් කතා කළ චතුරංග මහතා මෙසේ ද කියා සිටියේය.

මේ වන විට අපේ ජන බල පක්ෂයට අත්ව ඇති ඉරණම පිළිබඳව ජන මාධ්‍ය වලත් රටේත් අවධානය යොමු වෙමින් පවතිනවා. අපේ පක්ෂයට මහ මැතිවරණයෙන් ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බෙදා ගැනීම සම්බන්ධව විවිධ පාර්ශව අයිතිවාසිකම් කියමින් තිබෙන මොහොතක, අපේ පක්ෂයේ හිටපු ලේකම් වේදානිගම විමලතිස්ස හාමුදුරුවෝ සැඟවී සිටින මොහොතක, තමයි අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. මේ ප්‍රශ්නයේ යථා ස්වභාවය රටට පැහැදිලි කිරීමේ යුතුකමක් හා වගකීමක් අපට තිබෙනවා. උන්වහන්සේ සැඟවී සිටිමින් විවිධ ප්‍රකාශ හා  මතවාද මාධ්‍යට නිකුත් කරනවා. ඒ ප්‍රකාශ වලටත් පිළිතුරු දීමේ වගකීමක් අපට තිබෙනවා. මන්දයත් මේ පක්ෂය ගොඩ නඟන්නට, මේ තැනට ගේන්නට අපි දර දිය ඇද්ද නිසා. විශේෂයෙන් ම මම අපේ ජන බල පක්ෂයේ දිස්ත්‍රික් නායකයා වශයෙනුත් මේ මොහොතේ රටට යමක් කීම මගේ අනුල්ලංඝනීය වගකීමක් බව මා විශ්වාස කරනවා.

අපි මේ වන තුරුත් බලාගෙන හිටියේ මොකක්ද වෙන්නේ කියලා. අපි බලාගෙන හිටියා මේ පක්ෂයට, මේ රටට ආදරය කරන කවුරු හරි ඉදිරිපත් වෙලා කිසියම් සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරයි කියලා. අඩුම ගණනේ පක්ෂයේ ඉහළින්වත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. පක්ෂ  නායකත්වයත් පක්ෂයට සම්බන්ධ භික්ෂූන් වහන්සේත් එලෙස නිහඬව සිටින්නේ ඇයි දැයි යන්න අපට ප්‍රශ්නයක්.

සියල්ලටම කලින් මම කියන්න ඕන ඔය තියෙනවා කියන ගිවිසුම් වලට වඩා පක්ෂයත් ජනතාවත් අතර තියෙනවා පුබල ගිවිසුමක්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ තිබෙන වැදගත් ම ගිවිසුමක් තමයි පක්ෂයත් ජනතාවත් අතර තිබෙන ගිවිසුම. වෙනත් වචන වලින් කියනවා නම් පක්ෂයක් විදිහට අපි ජනතාවට කියන කාරණා. පක්ෂය විසින් රට පුරා ම බෙදා හැරපු අත්පත්‍රිකාවක් තමයි මේ තියෙන්නෙ. මේකේ තියෙන්නේ මොකද්ද? මේකෙ පැහැදිලිවම තිබෙන්නේ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවමු කියලයි. ඉතින් මේක නෙවෙයි ද පක්ෂයත් ජනතාවත් අතර තියෙන ගිවිසුම?

ඊලගට මේ පත්‍රිකාව බලන්න. මේක මුද්‍රණය කරලා තිබෙන්නේ අපේ ජන බල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස අතුරලියේ රතන හිමියන් විසිනුයි. මේකෙ මොනවද තියෙන්නෙ? ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවෝ ජාතික ලයිස්තු අපේක්ෂකයා කියලයි. ඒ අනුවත් මුළු රටම දැනගෙන හිටියෙ ඥානසාර හාමුදුරුවෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයා විදිහටයි. මේ තියෙන්නෙ ගම්පහ තවත් අපේක්ෂකයකුට රතන හාමුදුරුවෝ විසින්ම මුද්‍රණය කර බෙදා හැරපු පත්‍රිකාවක්. ඒකෙ තියෙන්නෙත් ඥානසාර හාමුදුරුවෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයා කියලයි.

දැන් මොකද රතන හාමුදුරුවෝ කියන්නේ? දැන් කොහොමද රතන හාමුදුරුවෝ තමන් ජාතික ලැයිස්තු අපේක්ෂකයා කියලා ඉදිරිපත් වෙන්නේ? ඒක සදාචාරාත්මක ද? අනික පක්ෂයක් පිළිබඳ කටයුත්තකදී එහෙම තමන්ට තනි තීරණයක් ගන්න පුළුවන් ද? අඩුම තරමින් පක්ෂයෙන් වත් ඇහුවද? නෑ. පාක්ෂිකයන්ගෙන් ඇහුවද? නෑ. භික්ෂූන් වහන්සේ නමක් විදිහට මේ කරන ක්‍රියාව ඉතාමත් අශෝභනයි. චීවරයක් දරා ගෙන මෙහෙම මුසාවාද කියන්න පුළුවන්ද?

ඒ නිසා අපි රතන හාමුදුරුවන්ට කියනවා, හාමුදුරුවනේ ජනතාවට බොරු කරන්න එපා. රටට බොරු කියන්න එපා. ඔබ වහන්සේ එදා රටට කිව්වේ ඥානසාර හාමුදුරුවෝ ජාතික ලැයිස්තුවෙන් පත් කරනවා කියලා යි. දැන් මොකද වෙන්නේ? ඒක හරියට නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ වැඩක් අපේ හාමුදුරුවනේ.
ඊළඟට මේ ප්‍රශ්ණයේ තවත් ජවනිකාවක් රඟ දැක් වෙමින් තියෙනවා. ඒ තමයි වේදානිගම විමලතිස්ස හාමුදුරුවන් සැඟවී සිටිමින් කරන රංගනය. විමලතිස්ස හාමුදුරුවනේ ඔබ වහන්සේටත් පාර්ලිමේන්තු යන්න ආසාවක් ඇති. ඒක වෙනම කතාවක්. මේ පක්ෂය හදන්න දුක් වින්දෙ අපි. පක්ෂයේ  මතය ගමට අරගෙන ගියෙත් අපි. ජනතාව සංවිධානය කළෙත් අපි. ඒ කාලයේ ඔබ වහන්සේ මේ පක්ෂයේ සාමාජිකයෙක්වත් නෙවෙයි. ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවෝ පක්ෂයට සම්බන්ධ වීමත් සමඟම පක්ෂයේ කීර්තිය ඉහළ ගිය බව කීම අසත්‍යයක් නෙවෙයි. ඔබ වහන්සේ මොනවද කළේ? ඒ නිසා ඔබ වහන්සේ ඔය සැඟවිලා කරන නාඩගම නවත්තන්න හාමුදුරුවනේ. මේ රටේ සිංහලයා වෙනුවෙන් බිහි වුණු පක්ෂය විනාශ නොකර වගකීමක් ඇතුව වැඩ කරන්න. විනයක් ඇතුව වැඩ කරන්න.  

එක මේසයකට ඇවිල්ලා සාකච්ඡා මාර්ගයෙන් මේ අවුල විසඳාගමු කියලයි අපි යෝජනා කරන්නේ. එහෙත් මොන මතවාදය සාකච්ඡා කළත් මෙහි අවසාන ප්‍රතිඵලය විය යුත්තේ ගලගොඩ අත්තේ ඥාණසාර ස්වාමින්වහන්සේට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය හිමිවිය යුතු බවමයි. ඉන් මෙහා කිසිදු විසඳුමකට ඒමට අපට අවශ්‍ය නෑ. ඒ නිසා රටේත්, අපේ පාක්ෂිකයන්ගේත් අපේ බහුතර සංඝරත්නයේත් එකම මතය එයම බව අපි තරයේ විශ්වාස කරනවා.

අවසාන වශයෙන් අපි රතන හාමුදුරුවන් ගෙන් ඉල්ලන්නේ, ඔබ වහන්සේගේ ඔය පුද්ගලික න්‍යාය පත්‍ර අකුලා ගන්න කියලයි. ඒ වගේ ම අපේ ජන බල පක්ෂයේ නායකයා වන සමන් පෙරේරා මහතාට චෝදනා එල්ල කිරීම අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ. එසේ කරන්නට ඔබ වහන්සේට අයිතියකුත් නෑ. එතුමා තමයි අපේ ජනබල පක්ෂය නිර්මාණය කිරීමේ ඓතිහාසික කාර්යභාරය ඉෂ්ට කළේ. ඔහු ඒ අතින් ගෞරවනීය පුද්ගලයෙක්. ඔබවහන්සේ එතුමාටත් මේ දිනවල විවිධ චෝදනා එල්ල කරමින් යන බව අපි දකිනවා. ඒ ජාතිමාමක මනුස්සයාගේ චරිතය ඝාතනය කරන්න එපා හාමුදුරුවනේ. සම්බුද්ධ චීවරය දරාගෙන එවැනි පහත් තත්වයකට වැටෙන්න එපා. මෙහෙම කියන්න සිදුවීමත් බෞද්ධයෙක් විදිහට මට විශාල කණගාටුවක්.

15 වනදා වන විටත් ඒ ප්‍රශ්නයට විසඳුමක් නොදුනහොත් පක්ෂයේ අපේක්ෂකයෝ, සාමාජිකයෝ, පාක්ෂිකයෝ හා තරුණ ක්‍රියාධරයින් සමඟ පාරට බහින්නට සූදානම් බව පක්ෂයේ ඉහළ තලයේ නායක කාරකාදීන්ට අපි මේ වෙලාවේ අනතුරු හැඟවීමකුත් කරනවා. සහතික වශයෙන්ම අපි දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙනවා.

අවසාන වශයෙන් අපි විශ්වාස කරනවා පක්ෂයේ බහුතරයක් වූ අපේ ඉල්ලීමට රතන හිමියෝත් වේදානිගම විමලතිස්ස හිමියෝත් මේ ප්‍රශ්නය කෙරෙහි සංවේදී වනු ඇතැයි කියා. අපි එය යළි යළිදු ගෞරව නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා.
Attachments area

Leave a Reply

Your email address will not be published. Required fields are marked *