හතලිස් වසරක් නාගයන් සමග ජීවත්වන අරුම පුදුම නිවස

බලපිටියේ නයි ගෙදරට එන නයි

බලපිටිය නිවසක නයි හැපින්නියෝ නයි පැටව් බුරුත්තක් දාලා යැයි පසුගිය දා පැතිර ගියේ අමු කැලෑවට ගිනි ගත්තා වාගේය.මේ සිද්ධිය බලන්නට සතර දෙසින් මේ නිවසට පැමිණි පිරිස ද අඩුවක් නම් නොවීය.

මේ නයි ගෙදර විස්තරය සත්තකින්ම මහා පුදුම සහගතය.නයාගේ කතාන්දරය සොයන්නට අප ගිය විට දැකගත හැකි වුයේ මේ ගෙදරට අද  ඊයේ නොව වසර 40කට ආසන්න කාලයක සිට මේ නිවසට නයි එන කතාන්දරයකි. මේ කතාව අපිට මුලින්ම ගෙදර හිමියා කී විට අපිට සිතුනේ මේයා පත්තරේ නම දමා ගන්නට අපට නයි අරින්නට එනවා කියාය.නමුත් නිවැසියා කතාන්දරය පවසන විට මේ නයි කතාව සත්තකින්ම භිහිසුණු පුදුම යම් තැති ගැන්වීමකට අප කැඳවාගෙන යන නයි කතාන්දරයක් ම විය.

මේ නිවසේ හැම තැනම නයි දැකිය හැකිය. ඒ මදිවාට පැටව් ද වේ.නයි 11 ක් අදත් ඇල්ලුවා.නයි බිත්තර 10 කුත් ද මේ නිවසේ තිබුණා.මීට පෙර හැමදාම වගේ නයි අපේ ගෙදරට එනවා.සූනියම් දෙවියන්ට පාන තියනවා. මට ඉල්ලන දේ ලැබෙනවා. ගෙහිමියා වන බලපිටියේ   පාතෙගම,සිරි සෙවණ නිවසේ පදිංචි විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකයෙකු වූ පී.පී. ද එස්. විජේරත්න (80) මහතා පැවසීය.

මහත්තයාලට කියන්න නයි ජැක්සනුත් ගෙන්නලා මේ නයි අල්ලලා මාඳු ගංගාවේ නයි දූපතට දැම්මා. ඒත් තවමත් අපේ ගෙදරට එන නැදෑයෝ වාගේ නයි මේ ගෙදරට එනවා විජේරත්න මහතා පවසයි.

විජේරත්න මහතාගේ බිරිද මිය ගොස් ඇත්තේ නැති නම් නිවසේ කාන්තාව මියගොස් සති දෙකක් පමණ වු කාලයකි.මේ නයි හැපින්නියෝ මියගිය එම  කාන්තාවගේ කාමරේ බිත්තර දාන්න තෝරාගෙන සිටීමද තවත් සුවිශේෂ වු සිද්ධියකි. 

නිතර නිතර වත්ත පිටියේ  නයි ගැවසෙන බලපිටියේ මේ නිවසේ කාමරයක නයි බිත්තර දැකිය හැකි වුහ. සත්තකින්ම මේ නිවස වසර 100 කට අධික පැරණි නිවසකි. වත්තේ ද හුබස් (තුඹස) දැකිය හැකිය. මාදු ගංගාවට ආසන්නයේ නාග දුපතේ ද නයි බොහෝ සෙයින් දැකිය හැකිය. එය ද පුදුම කතාන්දරයකි.

නාගයා. Cobra යන ඉංග්‍රීසි නාමයෙන් නයි හැදිනගත හැකිය.විද්‍යාත්මකව Naja naja ලෙස හැඳින් වේ. ආසියානු කලාපයේ උග්‍රවිෂ හතරදෙනා හෙවත් බිග් ෆෝ අතරට නාගයා ඇතුලත්වේ.නාගයා අයත් වන්නේ ඉලාපිඩේ (Elapidae) කුලයට ය.

අපට හමු වු බලපිටියේ නයි කොයිහැටි වෙතත් නයි පිළිබඳව කතා කිරීමේදී නයා භෞමිකව ජීවත් වන සර්පයෙකි. ඉතා උස් කඳුකරයේ හැර රට පුරාම වගේ දක්නට ඇත. දිවා රාත්‍රී කාල දෙකේම ක්‍රියාශීලී සතෙකි. ක්‍ෂණිකව කොපයට පත්වේ. විශේෂයෙන් තරුණ වයසේ නයෙකු පහසුවෙන් කෝපයට පත්වේ. එවිට පෙනය විහිදුවයි. ඊට අමතරව ෂූ යන ශබ්දයක් නිකුත් කරයි. බොහෝවිට දෂ්ඨ කිරීම් සිදුවන්නේ ප්‍රකෝප වූ අවස්ථාවන් වලදීය. දෂ්ඨ කිරීම පොළවේ සිට අඩියක් පමණ උසකින් බොහෝවිට සිදුවේ.පෙනය විහිදුවා ගත් විට නයෙකු පහසුවෙන් හඳුනා ගන්නට හැකිය.

අපේ කතන්දරයේ නයි ගෙදරට එන නාගයෝද එසේමය.මෙ අය හඳුනා ගන්නටද අපේ කතාන්දරයේ නයි පැක්සන් හෙවත්,බලපිටියේ නයි ඇල්ලීමට දක්ෂයෙකු වූ සර්පවේදී  හීනටියේ ජැක්සන්  වීරකෝන් මහතා පවසන්නේ නයි ගැන පුදුම කතාන්දරයකි.

නයා පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකියි. ශරීර වර්ණය දුඹුරු පැහැයේ සිට කළු පැහැය දක්වා වෙනස් වේ. ශරීරයේ තැනින් තැන සුදු පැහැ තිත් දක්නට ලැබේ. දිගටි ශරීරයක් ඇති අතර හොඳින් වැඩුනු නයෙකු අඩි 6ක් පමණ දික්වේ. ඉතා කලාතුරකින් අඩි 8ක් පමණ වර්ධනය වූ අය වාර්ථා වී ඇත. හඳුනා ගැනීමට පහසුම පෙනය මගිනි. පෙනය විහිදුවා ගත් විට එහි ඉදිරි පසින් ඇති ලප දෙකක් වැනි සලකුණත්,පසු පසින් ඇති “ප“ අකුරේ සලකුණත් හඳුනා ගැනීම පහසු කරනවා.

නයි බෝවීම ද සිදුන ආකාරය නයි සැක්සන් අප සමඟ කීය.

නයාගේ බෝවීම සිදුවන්නේ බිත්තර මගිනි. සැපින්න වරකට බිත්තර 5-25 ත් අතර ප්‍රමාණයක් දමයි. ඒවායෙන් දින 48-60 අතර කාලයකදී අඟල් 8ක් පමණ දිගැති පැටවුන් පිටතට පැමිණේ.

නයි කයිද රෝස් පාන් කියා කතාන්දරයක් තිබේ.සමහරු නයි හරිනවා කියන්නේ තම වත් පොහොසත් කම් ආදිය වෙනත් අයකුට පවසන විටය. එක් රජයේ ආයතනයක රාජ්‍ය සේවිකාවක් තම නිවසට පැමිණි නයා ගමන් කළ ආකාරය කියන කතාව කට කාටත් මතකය.

නයා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ ගෙම්බන් හා මැඩියන්, මීයන්, කුඩා පක්‍ෂින් හා වෙනත් සර්පයින්ය.මේ බලපිටිය නාග ගෙදර නාග වත්තේද මේ අයගෙන්ද අඩුවක් නැති විශාල නිවස හා වත්තද විශාල බිමක පිහිටියේ ය.

අපේ නයිගෙදරට එන නයි හාමිලා නම් දෂ්ඨ කිරීම සිදු කරන්නේ නැත මේය ද සත්තකින්ම පුදුම සහගතය. නාගයා බොහොවිට දෂ්ඨ කරන්නේ ප්‍රකෝප වූ අවස්ථාවන් වලදීය. දෂ්ඨ කිරීම පොළවෙන් අඩියක් පමණ උසකින් සිදුවේ. උග්‍ර විෂ සහිතය. ප්‍රථිතිකාර නොකළහොත් පැය 5කින් පමණ වැඩුණු මිනිසෙකු මරණයට පත්කිරීමට තරම් විෂ ප්‍රභලය. නයාගේ විෂ ප්‍රධාන වශයෙන් බල පාන්නේ ස්නායු පද්ධතියටය. අප රටේ සර්ප විෂ නිසා සිදුවන මරණ වලින් නාග විෂ නිසා වන මරණ සැලකිය යුතු ප්‍රමාණයක් නයි ජැක්සන් අප සමඟ කීය.

බලපිටිය නයි වත්තේ නයි ගෙදර විජේරත්න මහතා පවසන පරිදි මේ නිවසට නයි එන්නේ ද යම් පුදුම සහගත ආකාරටය.

නයි ගැන කියෙන මිත්‍යා මත ද තරමක් සත්‍ය කරවමින් මේ කතාන්දරය එක් දිශාන්තයකට නයා මෙන් ඇදි යන සෙයක් ද විජේරත්න මහතාගේ නයි කතාවෙන් පෙනි යන්නේ ය.

නයා පළි ගන්නා සතෙකු ලෙස සමාජයේ මතයක් පවතී. මෙහි කිසිම සත්‍යා තාවයක් නොමැත.සර්පයෙකුට එසේ මතක තබාගෙන පළි ගන්න තරම් බුද්ධියක් නොමැත.විජේරත්න මහතාගේ නිවසට එන යන නයි නම් ඇත්තටම පලි ගන්නේ නැත.දෂ්ඨ කරන්නේ ද නැත.විජේරත්න මහතා කියයි.

මීට අමතරව, ඇතැම් පිරිස් අතර නයා කාලයක් සැව ඉවත් කිරීමෙන් පසු තටු සහිත කොබෝ නයෙකු වන බවට පිළිගැනීමක් පවතී. එයද මිත්‍යා විශ්වාසයකි. නයා ගැන අප සමාජයේ පවතින පූජනීය පිළිගැනීම නිසා වෙනත් රටවලට සාපේක්‍ෂව අප රටේ නයි මරණ අවස්ථා අඩුය.

බලපිටියේ නයි ගෙදරට එන නයි ද විජේරත්න මහතා මරන්නේ නැත. මාදු ගංගාවේ නයි දුපත හෝ ගංගාවේ පිහිටි වෙනත් දූපතකට මේ නයි රැගෙන ගොස් දමන්නේය.

නමුත්,මෙම සතාගේ පැවැත්මට පරිසර දූෂණය ලඳු කැලෑ එළිවීම නිසා තර්ජනයක් පවතී. මොවුන් අප පරිසරයේ පැවැත්මට වැදගත් මෙහෙයක් ඉටු කරනවා. විශේෂයෙන් ගොවීන්ට මිතුරෙකු ද වන අතර,ගොවිතැනට හානි කරන මීයන් විනාශ කරන නිසා නයා සත්තකින්ම වැදගත්ය.

කෙසේ නමුත්, පසුගියදා 2020.09.03 දින නයි පැටව් ගේ පුරා තැන තැන ගොස් ඇති අතර මේ ගැන සොයා බැලීමේදී පසුගිය මස අගෝතු 15 දින මිය ගිය විජේරත්න මහතාගේ බිරිදගේ කාමරයේ මෙසේ නයි බිත්තර දමා ඇති බව දැක ගත හැකි වු බව විජේරත්න මහතා පවසයි.

විජේරත්න මහතා බියට පත් නොවු නමුත්, විජේරත්න මහතාගේ දරුවන්  නිවැසියන් මහත් භීතියට පත්ව ඇති අතර අවට නිවැසියන් ද පැමිණ නිවස තුලට යාමට බියෙන් තැන තැන බලා සිටින අයුරු  දක්නට ලැබිණ.නයි බිය නිසා ඒ ගම බිය පත්ව ඇති සෙයක් ද දැකිය හැකි වූහ.

කෙසේ වුවද නයි ඇල්ලීමට දක්ෂයෙකු වූ සර්පවේදී  හීනටියේ ජැක්සන්  වීරකෝන් මහතා ද එම ස්ථානයට ගෙන්වා සිටි අතර ඔහු සමඟ එක්ව  අතුල කුමාර තරුණයා  නිවසේ තැන් තැන්වල  සිටි පැටවුන් අල්ලා බෝතලයකට දැමීමට සමත් විය.

පෙර කී පරිදි මෙසේ නයි පැටවුන් හමුවී ඇත්තේ  බලපිටිය පාතෙගම සිරිසෙවන නිවසේ පදිංචි විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකයෙකු වූ පී.පී. ද එස්. විජේරත්න මහතාගේ නිවසේය.

නිවසේ තව  කොතරම් නයි පැටව්   ප්‍රමාණයක් සිටි දැයි සිතාගත නොහැකිව  ජැක්සන් මහතා එහි ඇති බඩු මුට්ටු එකින් එක ගෙන සෝදිසි කරන්නට විය. ගමේ සමහරු පැවසුවේ ඉහළ මහලේ කාමරවල තව නයි පැටවුන් සිටිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතු බවයි.

තවදුරටත් අපට අදහස් දැක් වු මේ ගැන නිවසේ හිමිකරු විජයරත්න මහතා පවසන්නේ මෙවැනි අදහසකි.

දැනට වසර හතළිහක පමණ සිට රාත්‍රී 9.00 න් පස්සෙ සූනියම් දෙවියන්ට මම එළියෙ පානක් තියනවා.ඇවිදින්න බැරි ලෙඩෙක් තොවිලයක් කරල එදාම ඇවිද්දවල තමයි මට පාන තියන්න කිව්වෙ. මට කරදරයක් වෙන දෙයක් තියෙනවනම් රාත්‍රී පාන තියල කිව්වම කියන්නෙ සාධාරණ දෙයක් නම් ඕනම දෙයක් ඉටු කර දෙනවා. ඔය පහනෙ මහා  බලයක් තියෙනවා.

මීට වසර හතළිහකට පෙර සිට මේ නිවසට නයි පැටව් එනවා. මේක අපිට ලොකු අමුත්තක් නෙවෙයි. අල්ලලා මාදු ගඟේ දූපතකට දානවා. කිසි දවසක අපිට කරදරයක් කරන්නෙ  නෑ.

දවසක් මම කුරුණෑගල ඩියුටි ( පොලිස් සේවයේ) ගිහින් ඉන්නකොට මගෙ ලඟට නයි පැටියෙක් ආවා. මම ඒක ගැන ලියලා ගෙදරට ලියුමක් යැව්වා.පස්සෙ නෝනා ( මෙයට සති දෙකක්ට පෙර මිය ගිය මගේ බිරිදට ) ලියුමක් එවල තිබුන එයාගෙ ඇඳ ලඟටත් ඒ දිනේ ඒ වෙලාවෙම නයි පැටියෙක් ආව කියලා.ඒ දිනවල දරුවකු ලැබෙන්න හිටිය නිසා මම සාත්තරයක් ඇහුවා.වාසනාවන්ත පුතෙක් ලැබෙනව කීවා. ඒ වගේම පුතෙක් ලැබුනා. එයත් අද පොලිස් සේවය කරනවා.

ඉතිං ඔන්න තවත් දවසක් ගෙදර වැඩට කෙනෙක් ආව.රාත්‍රී එයාගෙ ඇඳට ලොකු නාගයෙක් ඇවිත්. එයා බය වෙලා කෑ ගැහුව. පස්සෙ මම කලයක් අරන් ඇවිත් කලේට එන්න කිවුවා. නයි හාමි කරදරයක් කරන්නේ නැති ව මේ කලගෙඩියට එන්න කීවා. මහතයාලට කියන්න.මෙන්න මේ සතා ඌ කලේ ඇතුලට ගියා. පහුවදා  මම ඌ කැලේට අතෑරියා.

එහා ගෙදරක සිරිපාල කියල වඩු බාස් කෙනෙක් හිටියා. දවසක් එයා ගෙදරට ආ නයෙක් මැරුවා. මාසයක් යන්නට පෙර එයා වහලෙන් වැටිල මැරුණා. නයි ගැන අපිට වෙච්ච දේ බොහොමයි. මහත්තුරු පස්සෙ දවසක එන්න. කියන්නම්.

තවදුරටත් අදහස් දැකු වු සර්පවේදී  වීරකෝන් ජැක්සන් කීවේ මෙවැන්නකි.

රාහු අපල වලට තමයි නයෙක් ඇඳලා බෝ අත්තක එල්ලන්නෙ. මේ සතුන් ටික මරන්නෙ නැතුව බේරුවාම මිය ගිය ඒ අම්මටත් පින් සිදු වෙනවා. අපල නැති වෙනවා. නයි මරන්න හොඳ නෑ. මම නයි සිය ගණනක් දෑතින් අල්ලල  අරන් ගිහින් තියෙනවා. මම ගෙදර පරික්ෂා කළා.දැන් නයි නෑ.

දැන් මෙතන මාපිල්ලුත් ඉන්නවා. නාගයා  තව තැනක බිත්තර දාන්න යන්න ඇති. මාදු ගඟේ දූපතකට මේ අය අත හරිනවා. කොහොම උනත් මෙම සිද්ධි මාලාව දෙස බලන විට සිතා ගන්නට බොහෝ දේ ඇති බව නම්  කිව යුතුය.

අප දන්නා පරිදි හුබස් බිය.නයා වගේ,නයි පැන පැන දෂ්ඨ කරනවා.නයි මරන්න හොද නෑ.නයා නම් පෙනේ තියෙන්න එපෑයෑ…ආදි වශයෙන් නයි කතාන්දර අතරට බලපිටියේ නාග වත්තේ නාග ගෙදරට එන නයි ද තවත් අලුත් අත්දැකීමක් අපට ගෙන දෙනු ඇත.අප දන්නා පරිදි තුඹස සොයා නයි ගමන් කරන නමුත් බලපිටියේ හමුවන නයි විජේරත්න මහතාගේ නිවස සොය එන සෙයක් දැකිය හැකිය. එයද තවත් කතාන්දරයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *