පොලිස් නිළධාරියා හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට

හම්බන්තොට, සූරියවැව පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් වරයෙකු ගාල්ල, කොග්ගල සිංහ ධීවර ගම්මානයේදී හෙරොයින් මිලි ග්‍රෑම් දෙදහස් දෙසිය හැත්තෑවක් (2270 mg) සමග හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී හබරාදූව පොලීසිය ඊයේ (29) දහවල් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (30) ගාල්ල වැඩ බලන ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2020 සැප්තැම්බර් 05 දින දක්වා හබරාදූව පොලීසිය භාරයේ තබාගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කිරීමට රැදවුම් නියෝග ලබා දුන්නේය.

සැකකරු සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් හෙරෙයින් තොගය සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් කැදවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී හබරාදූව පොලීසියට දැනුම් දුන්නේය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නො. 177/B, පත්තිනිගේ වත්ත, ඉහළ වදුරඹ ලිපිනයේ පදිංචි ඩිල්ෂාන් ප්‍රභාසර නානායක්කාර (30) නැමැති අයයි.

හබරාදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදි ගුලියක් ආකාරයට තිබූ හෙරොයින් සොයා ගෙන තිබේ. පොලිස් කොස්තාපල් වරයෙකු හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට හබරාදූව පොලිස් ස්ථානාධිපතිවරයාට සිය පෞද්ගලික ඔත්තු කරුවෙකුගෙන් මෙම තොරතුර ලැබී තිබෙන බවට තොරතුරු අනාවරණය කර ගැනීමටද හැකි විය. සැකකරු අත් අඩංගුවට ගෙන පසුව කරන ලද පරීක්ෂණ වලදී පොලිස් නිලධාරියෙකු ලෙස සැකකරු සූරියවැව පොලීසියට අනුයුක්තව සේවය කර ඇති බවත් මීට මාස කිහිපයකට පෙර වැඩ තහනමකට ලක් ව ඇති බවත් තහවුරු කරගත් බව හබරාදූව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. වැඩ තහනමෙන් පසු සැකකරු හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී ඇති බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වූයේ යැයිද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

සූරියවැව පොලීසියේ පොලිස් සැරයන් වරයෙක් සමග ඇති කර ගන්නා ලද ආරවුලකට අදාලව මෙම පොලිස් කොස්තාපල්වරයා වැඩ තහනමට ලක් ව තිබෙන බවද හබරාදූව පොලීසිය කියයි. සැකකරු දුරකතන මාර්ග ඔස්සේ හා විද්‍යුත් ක්‍රම උපයෝගි කර ගනිමින් හෙරොයින් ජාවාරමේ යෙදී තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි හබරාදූව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

සැකකරුද කලක් හෙරෙයින් පානය කර තිබෙන බවත් පොලොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්තාපනය ලබා ඇති බවත් සැකකරු සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමේදී තහවුරු කර ගැනීමට හැකි විය.

හබරාදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උදය කුමාර මහතා ඇතුළු පිරිසක් සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස් සැරයන් පියසිරි (24439) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *