ශ්‍රී ලංකාවේ ඉපිද ඇමරිකානු හමුදාවේ ප්‍රහාරක යානා පණ ගන්වන ‘අම්පාරේ කොල්ලෙක්’

ශ්‍රී ලංකාවේ ඉපිද ඇමරිකානු හමුදාවේ ‘Apache’ ප්‍රහාරක යානා පණ ගන්වන ‘අම්පාරේ කොල්ලෙක්’

Anuj Poojitha Gunawardhana
ඡායාරූප ශීර්ෂ වැකිය,”මම ඉපදුනේ, ජීවත් වුනේ අම්පාරේ. මමත් එහෙම හිතුවා නම් අම්පාරෙන් ඇවිල්ලා ටෙක්සාස්වලින් ඉවර වුනු ජීවිතයක් මට නැති වෙන්න ඉඩ තිබ්බා”

“ඉස්කෝලෙදි මට යාළුවෝ කිව්වේ ‘අම්පාර’ කියල. මට ඒ කාලෙත් ඒක ගාණක් වුණේ නැහැ. අදත් ඒ ගැන කියන්න ලැජ්ජ වෙන් නැත්තේ ඒක මා විසින් කිව යුතු දෙයක්. මගේ කතාව විශේෂ වෙනව නම් විශේෂ වෙන්නෙත්, මම අම්පාරෙන් ආපු කොල්ලෙක් නිසයි …”

“කොළඹ ඉගෙන ගත්ත කෙනත්, අම්පාරේ ඉගෙන ගත්ත මමත් ගත්තම මම බොහෝ තැන් පසු කර යම් තැනකට ගියා නම් ගියේ මම, මා ගැන අනෙක් අයත් සමග සංසන්දනය නොකළ නිසයි.”

එසේ පවසන්නේ ශ්‍රී ලංකාවේ ඉපිද ඇමරිකාවට ගොස් එරට හමුදා සේවයට එක්ව සිටින ශ්‍රී ලාංකිකයෙකි. ඔහු ඇමරිකානු හමුදාවේ වඩාත්ම බලගතු ප්‍රහාරක හෙලිකොප්ටරය ලෙස සැලකෙන ‘අපාචි AH 64 D/E’ යානා පිළිබඳ කාර්මික නිලධාරියෙකි.

ඇමරිකානු හමුදාවට එක්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිස් සේවයේ සම්මුඛ පරීක්ෂණවලින් තෙවරක්ම ප්‍රතික්ෂේප වුවත් පසුව ඇමරිකානු හමුදාවට එක්වීමට අවස්ථාව ලද අනූජ් පූජිත ගුණවර්ධන නම් ඔහු පිළිබඳ පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ අසන්නට ලැබිණි. ඔහු කුඩා කළ පටන් හමුදා නිලධාරියෙකු වීමට සිහින දුටු තරුණයෙකි.

සම්මුඛ පරීක්ෂණයකින් ප්‍රතික්ෂේප වීම සහ ඇමරිකාවට සංක්‍රමණය වීම යන කාරණාවලින් ඔබ්බට ගිය කතාවක් තමා පිටුපස ඇති බව එහිදී අනූජ් මා සමග කියා සිටියේය. ඔහු පවසන පරිදි එය අම්පාර වැනි කොළඹින් බැහැර වෙසෙන බොහෝ තරුණ තරුණියන් හමුවේ පවතින අවස්ථා (Opportunities) හිමි වීම සහ ඒ සමඟ බැඳී පවතින අභියෝග පිළිබඳ කතාවකි.

තම සිහින රැකියාව (Dream job) හෝ වෘත්තීය ඉලක්ක සඳහා යන ගමනේදී ශ්‍රී ලංකාවේ ඇතැම් ක්ෂේත්‍ර තුළ අධ්‍යාපන සුදුසුකම්වලට වඩා පෞද්ගලික පසුබිම පිළිබඳ අවධානය යොමු කර අවස්ථා ලබා දීමේ තත්ත්වයක් පවතින බව අනූජ් පවසයි. පාසල, තම ගම්පළාත, ස්ත්‍රී පුරුෂ භාවය ඇතැම් විට ජාතිය වැනි කාරණා ද ඒ අතර වන බවත් වයස ඉන් ප්‍රධාන වන බවත් ඔහු පෙන්වා දෙයි.

තමන්ට සිය සිහින ජය ගැනීමට අවශ්‍ය නම්, දැඩි අධිෂ්ඨානයක් පවතී නම් ඉහත කී කරුණු බාධාවක් කර නොගෙන තම ඉලක්කය ගැන පමණක් අවධානය යොමු කළ යුතු බව අනූජ් සඳහන් කරයි.

“O/L, A/L කරලා නැත්නම් වයස ගැන හිතන්න එපා, ආපහු කරන්න. විශ්වවිද්‍යාල උපාධියක් ගන්න වයස බලපෑමක් වෙයි කියල මම හිතන්නේ නැහැ. ඉගන ගන්න එක නවත්තන්න සිහින හඹා යන්න වයස හේතුවෙක් කර ගන්න එපා. තමන්ට හීනයක් තිබෙනවා නම් තමන්ගේ වයස, ඉන්නේ කොහෙද, ආවේ කොහෙන්ද, තමන් පිරිමියෙක් ද ගැහැණියෙක් ද ඒ කිසිම දෙයක් අදාළ නැහැ. මොකද මම ඉපදුනේ, ජීවත් වුනේ අම්පාරේ. මමත් එහෙම හිතුවා නම් අම්පාරෙන් ඇවිල්ලා ටෙක්සාස්වලින් ඉවර වුනු ජීවිතයක් මට නැති වෙන්න ඉඩ තිබ්බා. අදාළ වෙන්නේ තමන්ට යන්න ඕනි කොහෙට ද කියන දේ විතරයි.

අනූජ් තම කතාව ආරම්භ කළේ, “මම කවුද කියන දේ කියද්දී මේවත් කියන්න වෙනවා” යනුවෙන් ඌණ පූර්ණයක් එක්කරමිනි.

“මම හැදුනේ වැඩුනේ ලංකාවේ. උසස් පෙළ කළේ 2003 අවුරුද්දේ. කොළඹට එන්න කලින් මම ජීවත් වුනේ අම්පාරේ. මොකද මගේ තාත්තා රැකියාව කළේ අම්පාරේ නිසා. 11 වසරට එනකම් අම්පාර ගාමිණී විද්‍යාලයේ ඉගෙන ගත්තා. උසස් පෙළ කරන්න කොළඹ අශෝක විද්‍යාලයට ආවා. A/L වලින් පස්සේ ජීවිතේ ගොඩක් හැලහැප්පීම් වුණා. මට අවුරුදු 19 වෙද්දී තාත්තා අපිව දාල ගියා. මම පවුලේ වැඩිමලා. මට නංගිලා තුන් දෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඊට පස්සේ අම්මා තමයි අපිව හදා ගත්තේ.”

A Boeing Apache helicopter.
ඡායාරූප ශීර්ෂ වැකිය,’Apache’ වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටරයක්

හැලහැප්පීම් මැද වුවත් අනූජ් සිය අධ්‍යාපන කටයුතු නතර නොකරයි. ඔහු එම කාලයේ රැකියා කීපයක නිරත වෙයි. ඒ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් බාහිර උපාධි ඩිප්ලෝමාව අවසන් කරයි.

“ඊට පස්සේ මගේ යාළුවෙක් තමයි මගේ නම දාල ග්‍රීන් කාඩ් ඇප්ලයි කළේ. මට ඒ ගැන එතරම් විශ්වාසයක් තිබුනේ නැහැ. කොහොම හරි මට ඒක කාඩ් එක හම්බ වුනා. ඒ එක්ක තමයි ඇමරිකාවට එන්න අවස්ථාවක් ලැබුනේ.”

“නැතුව මම එක රැයකින් ඇමරිකාවට ආපු කෙනෙක් නෙමෙයි. මම අවුරුදු තිහක් වෙනකම් ජීවත් වුනේ ලංකාවේ.”

ශ්‍රී ලංකාවේ හමුදා සිහිනය

දහඅට වෙනි වියේදී පළමු වරට ශ්‍රී ලංකා යුද හමුදාවේ කැඩෙට් නිලධාරී තනතුරට අයදුම් කරන අනූජ් ඉන් ප්‍රතික්ෂේප වන්නේ නියමිත බර සහ පපුවේ ප්‍රමාණය සපුරා නොතිබීම නිසාය. එවිට ඔහුගේ වයස අවුරුදු 18 කි.

“2005 ආපහු දෙවෙනි පාරට සම්මුඛ පරීක්ෂණයට ගියා. නමුත් පපුව සහ බර ආයෙත් ප්‍රශ්නයක් වුනා,”

“එතනදී මගෙන් ඇහුවා “මේකට ඔයාව ගන්න බැහැ. ඔයා ගිය අවුරුද්දෙත් ආවා නේද?” කියලා. මම ඔව් කිව්වා. “ඊලඟට එනවනම් හොඳට කාල බීලා ඇඟ පොඩ්ඩක් හදාගෙන එන්න, මේවා කරන්න ඔහොම බැහැ,” කියලා, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය එතනදී හිනා වෙලා කිව්වා. මට එතනදී පොඩ්ඩක් කඩා වැටුනා. කවදාවත් මේක කරගන්න බැරි වෙයිද කියල මට එතනදී ඔළුවට ආවා. ඒ කොච්චර ඔළුවට ආවත් අපි අධිෂ්ඨාන කර ගන්නවනේ අපි යම් තැනකට යනවා කියලා, අන්න ඒ හීනය අත ඇරෙන්නේ නැහැ. හැබැයි ඕනම කොල්ලෙකුට වගේ මටත් යම් දුකක් දැනුනා,” අනූජ් සිය අතීත අත්දැකීම සිහිපත් කරයි.

“පස්සේ මම කාටවත් නොකියා CID එකට ඇප්ලයි කළා. මාව ගන්න බැහැ කියලා දැන්නුවා. ඒත් ඒකට හේතුවක් දක්වලා තිබුනේ නැහැ. වෙන සම්මුඛ පරීක්ෂණයකට ගියත් අඩුපාඩු නිසා මාව කැපිල යයි කියල හිතුනා. නමුත් හමුදාව රැකියාවක් සඳහා නියමිත සුසුදුකම් සපුරා තිබිය යුතුයි. ඒක අපි හැමෝම දන්නා දෙයක්.”

බාධා එල්ල වුවත් තම හමුදා සිහිනය බොඳ කර නොගෙන තමා තුළ තබා ගත් බව අනූජ් පවසයි.

ඇමරිකානු හමුදාවට එක්වුණු හැටි

Anuj Poojitha Gunawardhana
ඡායාරූප ශීර්ෂ වැකිය,”මම හිතන්නේ විවිධත්වය එක්ක තමයි ඒ සාර්ථකත්වය එන්නේ. ඇමරිකානු හමුදාව කියන්නේ හරිම විවිධත්වයක් සහිත තැනක්. හැම ජාතිකයෙක්ම, හැම පාටක්ම මට හම්බ වුණා,”

“මම ඇමරිකාවට ගියේ ඔය අතරේ. ඇවිත් මම උසස් අධ්‍යාපනය සඳහා කොලේජ් එකකට සම්බන්ධ වුනා. ඒ අතරේ ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරීන් බඳවා ගැනීම් සඳහා එහි ආවා. එතන මාත් හිටියා. මාව අනෙක් අය අතරේ කැපී පේනවා. මොකද මම වෙන පාටක් නිසා. එක ඔෆිසර් කෙනෙක් ඇහුවා, “ඔයා කැමති නැද්ද හමුදාවට එන්න” කියලා. මට දෙපාරක් හිතන්න දෙයක් තිබ්බේ නැහැ. මම ඔව් කිව්වා. ඊට පස්සේ අර ඔෆිසර් තමයි ඉන්ටර්විව් කරලා දිගටම ඒ පස්සෙන් හිටියේ.” අනූජ් සිය සිහිනය යථාර්තයක් වූ ආකාරය විස්තර කරයි.

ඔහු පවසන පරිදී අධිෂ්ඨානයක් (Determine) පැවතියත් ඕනෑම අයෙකුට ජීවිතයේ උදව් අවැසි මොහොතක් පැමිණෙයි. එහිදී වඩාත්ම වැදගත් වන්නේ යමෙකුගෙන් ලැබෙන පෙළඹවීමයි (Motivation).

“එක තැනක් ආවා මට හමුදා ට්‍රේනින් එක අමාරු වුණු. මම කිව්වා “මට මේක කරන්න බැහැ සාජන්, මට මේක අමාරුයි, කියලා.”

මේ කියන සාජන්වර්යා අනූජ්ගේ හමුදා සිහිනය ගැන දැන සිටි අයෙකි.

“එතකොට සාජන් කිව්වා ‘ඔයාගේ හීනයක් තිබ්බා. ඒ හීනය සැබෑ කර ගන්න ඕනි. මම ඔයාට ඒ හීනෙන් අයින් වෙන්න දෙන්නේ නැහැ’ කියලා.”

“ඇතැම් අවස්ථා තියෙනවා අපේ හිතේ කොච්චර ධෛර්ය තිබ්බත් වැඩක් නොවෙන. ඇදගෙන වැටෙන වෙලාවල් එනවා. නමුත් ඒ වගේ වෙලාවක අපිව මෝටිවේට් (පෙළඹ වීමට) කරන්න කෙනෙක් ඉඳීම වැදගත්. ඒ නිසා තමයි ට්‍රේනින් එක සාර්ථකව අවසන් කරලා අද ඉන්න තැනට එන්න පුළුවන් වුනේ.”

“මම ඒ සාජන්වරයාට ස්තූති කළ යුතුයි.”

අභියෝග ජයගත් හැටි

Anuj Poojitha Gunawardhana
ඡායාරූප ශීර්ෂ වැකිය,අරමුණක් සහිත මනුස්සයෙකුට ආපු තැන අදාළ වෙන්නේ නැහැ. දුෂ්කර පළාත්වලින් ඇවිත් ගොඩක් ඉස්සරහට ගිය, ලෝකයාට වැඩක් කළ දැන උගත් මිනිස්සු අපි දැකලා තියෙනවා. ඒ හැම කෙනෙකුගේම කතාව තුළ එක දෙයක් දකින්න පුළුවන්. ඒ තමයි අනෙකා හිතන දේ ඔවුන් තමන්ගේ ඇඟට දාගෙන නැහැ

හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමට “ඇඟපත හයියට වඩා හිතේ හයිය” උපකාරී වූ බව අනූජ් පවසයි.

“ලෝකේ ඉන්න මිනිස්සු ගත්තොත් හැමෝම ලොකු මිනිස්සු නෙමෙයි. ඇඟපතේ ප්‍රමාණය වගේ දේවල් මනුෂ්‍යයෙකුට වැදගත්ම සාධකයක් වෙන්නේ නැහැ. වඩාත් වැදගත් වෙන්නේ මානසික ශක්තිය. ඇඟ කියන එක කොතැනකදීවත් වැදගත් වුනා කියල මම හිතන්නේ නැහැ. අපිට හැම වෙලාවේම කියන්නේ මේක මෙන්ටල් ගේම් එකක් කියලා.”

“හමුදාවේ ට්‍රේනින් හරිම ටෆ් (දැඩියි). එතනදී දාල යන්න හිතුනොත් තමා කරන්න ආපු දේ වෙන්නේ නැහැ. මොකද මග දාල යන අය ඕනි තරම් ඉන්නවා. දරා ගැනීමේ හැකියාවයි අවශ්‍ය. එහිදී ඇඟපත බලපානවා කියල මම හිතන්නේ නැහැ. බලපාන්නේ මානසික ශක්තිය. අපි සියලු දෙනා ගාවම මේ මානසික ශක්තිය තියෙනවා. නමුත් අපි පිළිගන්නේ නැහැ එහෙම දෙයක් තමන් සතු බව. මේක මට බැරි වෙයි, බයයි කියල හිතෙන්නේ. පළමු පියවර තිබ්බ නම් අනිවාර්යයෙන් ඉස්සරහට යන්න පුළුවන්. පළවෙනි පියවර තබන එක තමයි අමාරු.”

“වයස ඉලක්කමක් පමණයි”

Anuj Poojitha Gunawardhana
ඡායාරූප ශීර්ෂ වැකිය,”හමුදාව තුළදී අපි, අපේ සංස්කෘතිය බෙදා ගන්නවා. එතනදී ගොඩනැගුනු සම්බන්ධකම් ගොඩක් ශක්තිමත්. ඒක හරිම විරල අත්දැකීමක්,”

තමාට සිහින තිබේ නම් ඒවා ජය ගැනීමට වයස බාධාවක් කර නොගත යුතු බව අනූජ් පවසයි.

“මම ඇමරිකාවට එනකොට වයස තිස් එකයි. මගේ ජීවිතේ සෑහෙන්න කාලයක් ගිහින් තියෙන්නේ කියලා එතකොට මම හිතාගෙන හිටියා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ විට කියන්නේ “රස්සාවක් හොයා ගන්න, ඔයාගේ වයසත් එක්ක අනික් දේවලුත් හිතන්න” වැනි කාරණා. මම ඒවාට ඇහුම්කම් දුන්නා, නමුත් ඒ දේවල් මගේ ජීවිතයට බලපෑමක් කර ගත්තේ නැහැ. මම ආවේ ඇමරිකාවට. එතකොට මෙහි තියෙනවා කියමනක් ඇමරිකාව කියන්නේ ‘ලෑන්ඩ් ඔෆ් ඔපොචුනිටීස්’ කියල. අවස්ථාවන් තිබෙන තැනක්.”

“ලංකාවේ හෝ කෙහෙ ජීවත් වුනත් සමහර අය හිතනවා අවුරුදු තිහෙන් පස්සේ කසාද බදින්න ඕනි, ළමයෙක් හදන්න ඕනි, වාහනයක් ගන්නවා, ගෙයක් හදනවා එතනින් පස්සේ ජීවිතේ ඉවරයි කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. ඒ තමන්ගේ කොම්ෆර්ට් සෝන් (Comfort Zone) එක. ඒ දේවල්වලින් පස්සේ ජීවිතේ වෙන ඉලක්කයක් නැහැ,”

කෙසේ නමුත් ඒ ආකාරයේ ජීවිතයක් තම ප්‍රර්ථනාව නොවූ බව අනූජ් කියා සිටී.

“ඔය කලින් කියපු දේවල් සම්පූර්ණ කර ගන්නකොට ගොඩක් වෙලාවට තිහ පැනලා. ඊට පස්සේ බොහෝ දෙනෙක් තමන්ගේ හීන පස්සේ දුවන්නේ නැහැ. තමන්ගේ සිහින රැකියාව අතහැර කුමක් හෝ රැකියාවක් කරමින් ජීවත් වෙනවා. නමුත් මේ කිසිම දේකදී වයස කියන එක අදාළ නැහැ. මම විශ්වවිද්‍යාලයට ගිහාම මම අවුරුදු තිස් දෙකක් වුණු මම අවුරුදු දහනවය, විස්සේ ළමයි එක්ක තමයි ඉගෙන ගත්තේ. හමුදාවෙත් එහෙමයි. නමුත් මට හිතුනේ නැහැ මම දැන් වයසයි, මේක කරන්න පුලුවන්ද වගේ දේවල්. වයස කියන දේ ඉලක්කමක් පමණයි. වයස තිස් පහේදී මම දැන් හිතන්නේ මම දැනුයි ජීවිතේ පටන් ගත්තේ කියලා. මම තිස් ගණන්වලින් ජීවිතේ ඉවර කරපු කෙනෙක් නෙමෙයි. මේක තමයි මගේ මූලික පියවර. ඒ මූලික පියවරට එන්න තමයි ගොඩක් අයට අමාරු.”

“ඕනිම කෙනෙකුට අමාරු කාලයක් එනවා. එතනදී ගොඩක් අය තමන්ගේ හීන අතහැරලා දානවා. ඔයා අම්පාරේ ඉඳන් ආපු කෙනෙක් වගේ දේවල් අහන්න ලැබෙයි. හැබැයි මම ඒ වගේ දේවල්වලින් වැටුනේ නැහැ. අරමුණක් සහිත මනුස්සයෙකුට ආපු තැන අදාළ වෙන්නේ නැහැ. දුෂ්කර පළාත්වලින් ඇවිත් ගොඩක් ඉස්සරහට ගිය, ලෝකයාට වැඩක් කළ දැන උගත් මිනිස්සු අපි දැකලා තියෙනවා. ඒ හැම කෙනෙකුගේම කතාව තුළ එක දෙයක් දකින්න පුළුවන්. ඒ තමයි අනෙකා හිතන දේ ඔවුන් තමන්ගේ ඇඟට දාගෙන නැහැ.” අනූජ් වැඩිදුරටත් පැවසීය.

හමුදා පුහුණුවේදීත් හමුදා සේවයේදීත් ඇමරිකාවේ පමණක් නොව ලොව නන් දෙසින් පැමිණි පුද්ගලයන් හා මුහුවීමට අවස්ථාව ලැබුණු බව අනූජ් පවසයි.

“ඇමරිකානු හමුදාව කියන්නේ හරිම විවිධත්වයක් සහිත තැනක්. හැම ජාතිකයෙක්ම, හැම පාටක්ම මට හම්බ වුණා. හමුදා වෘත්තියෙන් එහාට ගිහින් මනුෂ්‍යයෙක් වශයෙන් ලෝකයේ අපි වගේ තවත් මිනිස්සු ආශ්‍රය කරන්න මේක අවස්ථාවක් වුනා.

“මම හිතන්නේ විවිධත්වය එක්ක තමයි ඒ සාර්ථකත්වය එන්නේ. අපි අපේ සංස්කෘතිය බෙදා ගන්නවා. එතනදී ගොඩනැගුනු සම්බන්ධකම් ගොඩක් ශක්තිමත්. ඒක හරිම විරල අත්දැකීමක්.”

උපුටාගැනීම බීබීසී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *