මම ඔබට නායකත්වය දුන්නා නොවෙයි, ඔබේ නායකත්වයට එකතු වුණා. ගම්වල ඔබයි අපේ නායකයෝ–.ඉන්දික අනුරුද්ධ

මම ඔබට නායකත්වය දුන්නා නොවෙයි, ඔබේ නායකත්වයට එකතු වුණා. ගම්වල ඔබයි අපේ නායකයෝ–.ඉන්දික අනුරුද්ධ

මම මේ දිනවල ගෙයින් ගෙට යනවා. පක්ෂ සාමාජිකයින් හමු වෙනවා. ශාඛා සමිති පීහිටුවනවා. ජනතාවත් හමු වෙනවා. එහෙම වෙලාවලදි මළ ගෙදර ආවේ නෑ කියනවා. සහන මල්ල ලැබුනෙ නෑ කියනවා. සහන බෙදපු හැටි වැරදියි කියනවා. හොදට බැණුම් අහනවා. මගේ නෑදෑයො ඔබලා විතරයි. ඒක නිසා මගේ අම්මා තාත්තා බනිනවා හා සමානයි කියලා හිතාගෙන, මට බැන්නත් අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මගේ අඩුපාඩුවක් තිබෙනවා නම් ඒක හදා ගන්නත්, වරදක් වුණා නම් සමාව ගන්නත් මම නිහතමානීව සූදානම් යයි දිවුලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ දිවුලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන මධ්‍යම බල මණ්ඩලය අමතමිනි.ඉන්දික අනුරුද්ධ හිටපු ආමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

අපේ රටෙන් කොරෝනා වසන්ගතය තුරන් වී ගෙන යද්දී මැතිවරණ උණුසුම ඇති වෙමින් පවතිනවා. ඒ වුණත් එක්සත් ජාතික පක්ෂයටවත්, සමගි ජන බලවේගයටවත්, ජනතා විමුක්ති පෙරමුණටවත් එහෙම උනන්දුවක් නැහැ. ඒ අපේක්ෂකයෝ එකාට එකෙක් අදුරන්නෙත් නෑ. නමුත් අපේ පොදුජන පෙරමුණේ සාමාජිකයෝ බොහෝම අභිමානයෙන් දේශපාලන කටයුතු වල නිරත වෙනවා. ඒ අභිමානයට එක හේතුවක් තමයි කොරෝනා වසංගතය ඒ නිසා ලෝකයේ බොහෝ රටවල් කඩා වැටෙද්දී අපේ රට සෘජුව නැගී සිටින්නට ගෝඨාභය ජනාධිපතිතුමා දුන් නිවැරදි නායකත්වයයි.

මම ආඩම්බර කාරයෙක් නෙමෙයි. මට ආඩම්බර වෙන්නට දෙයක් ඇත්තෙත් නෑ. මම මගේ වගකීම හරියට ඉටු කළා. අපේ නායකයින් මට වගකීමක් පැවරුවා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදියට. සමහර දවස් වල මම උදේ පහේ සිට රෑ දෙක තුන වෙනතුරුත් වැඩ කලා. එහෙම වැඩ කරද්දි මම ඔබට නායකත්වය දුන්නා නොවෙයි, මම ඔබේ නායකත්වයට එකතු වුණා. මගේ ගම්වල ඉන්න ඉන්න ඔබයි අපේ නායකයෝ.

අවුරුදු තිහක් තිස්සේ මේ දිවුලපිටියට මන්ත්‍රීවරයෙක් හිටියේ නෑ. කිසිම දෙයක් කර ගන්න හැකියාවක් තිබුණෙත් නෑ. ඒ වගේ වෙලාවක ඔබ තමයි මට පාර්ලිමේන්තු යන්න ශක්තියක් දුන්නෙ. ඒ නිසා මගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරන්නත් ඔබට අයිතියක් කියනවා.

ඔබේත් රටේත් සියලු අපේක්ෂා ඉටු වෙන්නේ එලැඹෙන අගෝස්තු පස් වෙනිදායින් පස්සේ. ප්‍රාදේශිය සභාවේ සභාපති වෙලා ඉන්න වෙලාවේ මම හැම තැනකටම ගිහිල්ලා කරන වැඩවල අඩුපාඩු හොයලා කටයුතු කළා. ඒ විශ්වාසය නිසා අපේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න ප්‍රසන්න රණතුංග මහතා අපට වැඩ කරන්නට ඉලක්කයක් දුන්නා. පසුගිය මැතිවරණයේ දී එතුමා කිව්වේ සීයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් ගත යුතුයි කියලා මට කිව්වා. මම සීයට 59.2 ගත්තා. මෙවරත් අපට ඉලක්කයක් දී තිබෙනවා. අංක 14 ත් මුලට දාගෙන, අපි ඒ ඉලක්කයට යන්නේ ආනන්ද හරිස්චන්ද්‍ර සහ කෝකිලා ගුණවර්ධන එක්කයි.

සමහරු හිතනවා මම මගේ ඡන්ද පදනම වැඩි කර ගැනීමට තමයි මෙහෙම මහන්සි වෙන්නේ කියලා. ඒක වැරදියි. මගේ පදනමේ ඉන්නවා ඉන්දික ජයසිංහලා, නෙලුක් දර්ශන වගේ අයත්. මම හදන්නේ ඒ අයටත් රැදිලා ඉන්න පුළුවන් තැනක්. ඒ උවමනාව විතරයි මට තියෙන්නෙ. ඒක අද සාර්ථක වෙලා තියෙනවා. මම පාර්ලිමේන්තු මහ මැතිවරණයට පත්වෙද්දී දිවුලපිටියට ආසන බල මණ්ඩලයක්වත් තිබුණේ නෑ.

ඉන්දික අනුරුද්ධ කියන්නේ දේශපාලන කේළාම් අහන මිනිහෙක් නෙවෙයි. එහෙම අහපු අය විනාශ වුණ හැටි දැක්ක කෙනෙක් මම. කෙසේ වෙතත් අද අපි ලොකු ගමනක් ඇවිත් තියෙනවා. ඒක තමයි අපේ ජයග්‍රහණය. අපට දිවුලපිටිය ගොඩනගන්නට, අලුත් දේශපාලන සංස්කෘතියක් සහ වැඩපිළිවෙළක් තිබෙනවා. අරමුණත් තිබෙනවා. ඒ අරමුණට ළං වීමේ දී අපේ ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති, මන්ත්‍රීවරු 25 දෙනා සහ ආදරණීය ඔබ තමයි උපරිම සහයෝගය ලබා දෙන්නේ. මේ වැඩපිළිවෙළේ, මේ යාන්ත්‍රණයේ ශක්තිය මේ ආසන බල මණ්ඩලයේ ඔබයි.

අද එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් දිය වෙලා ඉවරයි. ඒ නිසා අපට තුනෙන් දෙකක් ලබා ගැනීම පිළිබඳ දැඩි විශ්වාසයක් තිබෙනවා. දැනි යූඇන්පී බලකොටු බිඳිලා. ඔවුනුත් අප සමඟ එක් වෙනවා. දැන් අපට තිබෙන්නේ ගෝඨාභය ජනාධිපති තුමා සමග වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක් තෝරලා, පාර්ලිමේන්තු යවන එකයි. ඒක තමයි යුගයේ කාර්ය භාරය. ඒ වෙනුවෙන් තමයි ප්‍රසන්න ඇතිතුමා සමග ආනන්දත් කෝකිලාත් මමත් අත්වැල් බැඳගෙන ඉන්නේ.

මම ගෙනාවා යෝජනාවක්. ඒ ආසනයෙ කලාපවලට බෙදලා එක කොටසක් ආනන්ද හරිශ්චන්ද්‍රටත් අනෙක් කොටස කෝකිලා ගුණවර්ධනටත් දෙන්න. කලාපයක ග්‍රාම සේවා වසම් හැටක් හැත්තෑවක් තිබෙනවා. ඒ හැම ගුාම සේවා වසමකින්ම අංක 14 ටත්, ඔවුන්ටත් මටත් මනාප ලැබෙන බව ස්ථිරවම මම දන්නවා. ආනන්දට දිවුලපිටියෙන් මනාප 20000 ක් සහ කෝකිලාට 20000 මනාප ලබාදීලා ප්‍රසන්න රණතුංගටත් මටත් සීයට සීයක් ලබාදීලා දිවුලපිටිය ආසනය ඓතිහාසික වාර්තාවක් සහිතව ජයග්‍රහණය කරවමු.

මේක කල්පනාවෙන් සිටිය යුතු අවස්ථාවක්ද. පොලොන්නරුවෙ උකුස්සා ඉන්නවා ඡන්ද ඩැහැ ගන්න බලාගෙන. එක එක්කෙනා උඩින් ගෙනත් බස්සනවා. සල්ලියි, බොරුවයි විසිකරලා තමයි ඔවුන් මැතිවරණය මෙහෙය වන්නේ.

දිවුලපිටිය ගොඩනගන මේ වැඩපිළිවෙළට ඔබගේ සහයෝගය ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *