කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රගතිය සමාලෝචනය

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම සභාපති සෞඛ්‍ය දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍යය කේෂ්ත්‍රෙය්, ත්‍රිවිධ හමුදාවන් හා පොලීසියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී කොවිඩ්-19 වෛරසයයේ වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචනය කිරීම හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කල බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පළමුවෙන් ඉතා උණුසුම් අයුරින් පිළිගනිමින් සාකච්ඡාවේ අරමුණ පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කළේය. එයින් පසු පොසොන් සමයත් සමඟ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබදව සෞඛ්‍යය අමාත්‍යාංශයේ බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍යාරක්‍ෂක උපදෙස් සහ නව උපාය මාර්ග පිළිබඳව මෙහිදී තවදුරටත් කරුණු සාකච්ඡා කෙරිණි.

උපායමාර්ගිකව සිදුකළ යුතු අදාළ ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කරමින් නිවැරදි සැලැස්මක් යටතේ විදේශීකයන් මෙරටට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන් අතර වඩාත් හොඳ කළමනාකාරීත්වයකින් නිරෝධායන මධ්‍යස්ථාන වැඩි දියුණු කර එම විදේශිකයන් ඒ වෙත යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදි කරුණු සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡාව අතරතුරදී කොවිඩ්-19 වෛරසයේ වත්මන් අවදානම් තත්ත්වය පවතින ප්‍රදේශවල PCR පරීක්ෂණ සිදුකිරීම, විදේශිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම, නිරෝධායන ක්‍රියාපටිපාටිය සහ නිරෝධායන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යන කරුණු පිළිබඳව තත්ත්ව වාර්තාවක් වෙත අවධානය යොමු කරමින් ඉතා දීර්ඝ වශයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කල බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *