මිස්සක පව්වේ සිට දුන්න සහ ඊතලයේ ගැන පුරාණයට

ගාල්ලේ අල්ගේවත්ත ගෙනෙන ගවේෂණාත්මක සටහන

දුන්න දුනු ගමුවේ.ඊතල කිතල ගමුවේ. රාල මීගමුවේ.මුවෙක් පැන්නලු සබරගමු වේ යැයි, අප දන්නා වු කවියකි.මෙය විවිධාකාරයට අර්ථ දැක්විය හැකිය.මේ පොසොන් සමයේ දී මිහිදු හිමියන් වහන්සේ,මිහින්තලය,දේවානම් පියතිස්ස,දුණු අරගෙන දඩයමේ ගියා,අඹ මිහින්තලය මිස්සක පව්ව ආදි විවිධ සිද්ධීන් ගැන කතා කරන යුගයකි.දේශනාවද සිදු කරන්නේය.

නමුත් අප මේ කියන්නට යන්නේ දුන්න ගැනයි.දුන්න කීවාම විවිධ කතා තිබේ.නමුත් සමහර කතා කියන්න අමාරුයි ලියන්න.අමාරුයි.නමුත් දුන්න ගැන දුන්නක් වගේ දේ දුන්නක් මෙන් කරුණු කාරන තියනවා කියලා ප්‍රකාශ කළ හැකියි.එහෙමනම් දුන්න ගැන කෙලින්ම කතාවට බහිමු.

දුන්න දේදුන්න,දුන්හිද ඇල්ල,දුන්දේ,දුන්බත්,දන්දුන්, දුනුවිදීම,දුනුශිල්ප,දුනු කරවලා,දුනු තරාදිය,දුනු විදීමේ නිලවරණය,දුනු මාල ඇල්ල,දුනු විදීම,දුනු ඊතල ආදි කතාන්දර ඇත.

දුනු විදීම යනු දුන්නක් භාවිතයෙන් ඊතල විදීම සිදු කරනු ලබන ක්‍රීඩාවකි.අභ්‍යාසයක් හෝ නිපුණතාවයක් වේ. මේ සඳහා භාවිත වන ඉංග්‍රීසි වදන වන archery යන්න සැකසී ඇත්තේ ලතින් භාෂාවේ එන arcus යන්නෙනි.අතීතයේදී දුනු විදීම භාවිත වී ඇත්තේ දඩයම සහ සටන් කිරීම සඳහායි. වර්තමානයේ දී මෙය ප්‍රධාන වශයෙන් ක්‍රීඩාවක් සහ විනෝදාත්මක ක්‍රියාකාරකමක් වශයෙන් සිදු කරනු ලබයි.දුනු විදීම ඔලිම්පික් ක්‍රීඩාවකි.

දුනු විදීම සඳහා සහභාගී වන පුද්ගලයා සාමාන්‍යයෙන් දුනු විදින්නා හෝ දුනුවායා ලෙසට හඳුන්වනු ලබයි.එමෙන්ම දුනු විදිමෙහි අති දක්ෂ පුද්ගලයෙකු ඇතැම් විට toxophilite ලෙස ද හඳුන්වනු ලබයි.ක්‍රීඩාවේ අන්තර්ජාතික පරිපාලනය සිදු කරනු ලබන්නේ ලෝක දුනු විදීමේ ෆෙඩරේෂණය (WA) මගිනි.

ඉපැරණි ශ‍්‍රි ලාංකේය ලංකාදීපයේ යුද්ධ විද්‍යාව (War science),යුද්ධ සංස්කෘතිය (War culture) හා යුද්ධ තාක්ෂණය (War Technology)පිළිබඳ ව පරික්ෂා කරන විට දුනුවායා සහ ඔහුගේ අවි ආයුධවළට හිමිවන්නේ විශේෂ ස්ථානයකි.වසර වසර 2500 කට අධික ලිඛිත යුද්ධ ඉතිහාසයකට (War History) හිමිකම් කියන මේ දිවයිනට බලපැවැත්වුණු සතුරු ආක‍්‍රමණ,සහ දිවයිනෙහි අභ්‍යයන්තරයෙහි පැණනැගුණු සිවිල් යුද්ධ වල දී ශ‍්‍රී ලාංකේය දුනුවායාගේ කාර්යයභාරය අතිශය වැදගත් සහ තීරණාත්මක විය.

සාමාන්‍ය දුනුවායා,දුනුවා,බලතා,දනුගය,ධනුර්ධර,ධනුද්ධර,ඉස්සාස හා ඉෂ්වාස යනුවෙන් ඓතිහාසික කෘතින්වල සහ ශිලාලේඛනවල හඳුන්වා ඇත. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා කාලය තුළ ශ‍්‍රී ලාංකේය දුනුවායා යුහුසුළුව,ඉවසීමෙන් යුතුව ස්වකීය කාර්යභාරය ඉටු කෙරිණි.ශ‍්‍රි ලාංකේය ලිභිත මුලාශ‍්‍රයවලට අනුව විජය, ඵුස්සදේව,විජයබාහු,කොහුකුඹුරේ රටේරාල හා ප‍්‍රංශ සම්භවයක් සහිත අන්දරේ යනාදීහු ඉතා දක්ෂ දුනුවායන් වශයෙන් හඳුනාගත හැකි ය.

බුදු දහම ලංකාවට ලැබෙන විටත් එවකටත් අනුරාධපුර පාලකයා ස්වකීය සහචරයන් ද කැටුව දුනු හී රැගෙන මුව දඩයමේ ගිය බවට සාධක වංශකතාවල සඳහන් වෙයි. එය මහාවංශයේ වාර්තා කරන්නේ මෙපරිද්දෙනි.

ඒ දෙවන පෑතිස් රජ නුවර වැසියන් දියකෙළි විධාන කොට තෙමේ මුව දඩ කෙළියට ගියේය. සතලිස් දහසකි. මිනිසුන් විසින් පිරිවරණ ලදුයේ පයින්ම දුවමින් මිශ‍්‍රක පර්වතයට ගියේය. ඒ පව්හි වසන දෙවියා රජහට තෙරුන් දක්වනු කැමැත්තේ ගෝණවේද ඇත්තේ තණ පඳුරක් කමින් සිටියා දැක්වීය. රජතෙමේ දැක “පමාවුවහු විදිනට යුතු නොවේ” යැයි සිතා දුනුදිය හෙළීය.

පුරාතනයේ සිටි දක්ෂ දුනුවායකු වශයෙන් ඵුස්සදේව යෝධයාට ද වැදගත් ස්ථානයක් හිමිවෙයි. එළාර පරාජය කොට අනුරාධපුරය ජයග‍්‍රහණය කිරීමෙන් පසුව දුටුගැමුණු රජුට භල්ලුක නම් ආක‍්‍රමණයකු ප‍්‍රමුඛ සතුරු හමුදාවක් පරාජය කිරීමට සිදු විය. ඒ අවස්ථවේ දී දුටුගැමුණු රජුගේ මුඛයට ඊ ප‍්‍රහරයක් එල්ල කිරීමට භල්ලුක ගත් උත්සාහය ව්‍යර්ථ කළ ඵුස්සදේව සතුරු නායකයාගේ මුඛයටම ඊ ප‍්‍රහාරයක් එල්ල කළ බව වංශකතාවල සඳහන් වෙයි.වස්තු වර්ෂ 1818 දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව උඩරැටියන් ආරම්භ කළ විමුක්ති අරගලයේ දී බදුල්ල රෙසිඩන්ට් විල්සන්ට මීටර් 300ක් තරම් ඈත දුරක සිට විද මැරූ කොහුකඹුරේ රටේ රාල එවැනි දක්ෂ දුනුවායෙකි.

ඉපැරණි ශ‍්‍රී ලාංකේය දුනු ශිල්ප විධික‍්‍රම පුහුණුව සත්තකින්ම මිහිරිය.ඉන්දීයාව,ලංකාව, චීනය,මධ්‍යම ආසියාව යනාදි පෙරදිග ප‍්‍රදේශවල අධ්‍යපනයේ මුලික අංගයක් වශයෙන් ධනුසිප්ප හෙවත් දුනු ශිල්පය සලකා ඇත. විශේෂයෙන් රජතුමාගේ සිට ප‍්‍රභූන්,සෙබලුන් පමණක් නොව සාමාන්‍ය වැසියන් පවා දුනු ශිල්පය හැදෑරු බව පෙනේ.පැරණි ලාංකාවේ දුනු ශිල්පය ඉගැන්වු ගුරුවරයා ධනු ආචාර්ය නම් විය. ඉපැරණි යුදධ පුහුණු සැසිවල දී අනිවාර්යෙන්ම ඉගැන් වූ ධනුර්ධ ශිල්පයේ දී චන්දාලෝකයට අනුව විදීම,සතුරාගේ ශබ්දයට අනුව විදීම,සතුරාගේ මරු නිල වලට මාරාන්තික ප‍්‍රහාරය එල්ල කිරීම වැනි ක‍්‍රමවේද 12ක් පැවති බව මුලාශ‍්‍රය වල සඳහන් වෙයි. උක්ත දුනු ශිල්ප රැසම හදාළ අයවලුන් අක්ෂණවේදී,ශරවේදී,ශබ්දවේදී හා වාලවේදී යනුවෙන් ප‍්‍රභේද කොට යුද්ධ සේවයට බඳවාගත් බව පෙනේ.විශේෂයෙන්ම,ඵුස්සදේව යෝධයා දුනු විදීම සම්බන්ධව පරතෙරට පැමිණියෙකු බව ඔහු පිළිබඳව ප‍්‍රශංසා මුඛයෙන් වාර්තා කරන සද්ධර්මාලංකාරය මෙසේ පෙන්වාදෙයි.

එකලැ ඒ ඵුස්සදේව නම් යෝධයා ශබ්දවේදීය, වාලවේදී, විජජුවේධීය, ශරවේධිය යන විශේෂ විදමන්ද නිමවා උගත එසේම වැලි පිරූ ගල් විද පලවයි. සම් සියක් පට විදියි, අටඟුල් බොල තියා පෝරු විදියි. සොළසාගුල් බොල දිඹුල්පෝරු විදියි. එසේම සාඟුල් බොල යපට තඹට විද පලවයි. ගොඩින් අටඉස්බක් නැන් විදියි. දියෙන් ඉස්බක් විදියි. අනිකුත් ආශ්චය්‍යවත් වූ ශරිරප්ජුක ශරපුෂ්කරිණය, ශර ප‍්‍රසාදය යනාදි වූ බොහෝ විදමන් උගත එසේ හෙයින් ඔහු මෙසේ ධනුශ්ශිල්පයෙහි දක්ෂ බව මුළු ලක්දිව ප‍්‍රසිද්ධ විය.

මේ අනුව,අතීතයේ සිටම විවිධ සුක්ෂම ක‍්‍රමවේද රාශියක් යටතේ හදාල ලාංකේය දුනුවායා විසින් ස්වකීය ශිල්ප පුහුණු වීම සඳහා වෘත්ත අදින ලද ලෑලි පුවරු,පිදුරු පඹයන්,පැද්දෙන කුරුම්බා,මැටි කලස් සහ පියාඹන පක්ෂින් වැනි ජීවී අජීවී වස්තුන් භාවිත කරන ලදි. මූලිකව යුද්ධ කාර්යයට පමණක් නොව පණිවිඩ හුවමාරු කිරීම සඳහා ද දුනු ශිල්පීන් සම්බන්ධ කර ගැනින. දුන්නෙන් හී විදිනාකාරය පූජාවලියේ මෙලෙස විස්තර කරයි.

දුන්නතක් ගෙන්වා යටි පිලාව වම්පස මාපට ඇඟිල්ලෙහි නිය පිට තබා දුන්න ….ආදි වශයෙන් සඳහන් කර තිබේ. පැරණි ලංකාවේ චතුරංගනී සේනාවට අමතරව විශේෂ දුනු සේනාංක පැවති බව පෙනේ. පරාක‍්‍රමබාහු රජු සතු රාත‍්‍රීකාලයේ සඳ එළියට අනුව සතුරාට විදිය හැකි චන්දාලෝක ධනුර්ධර් නම් රෙජිමෙන්තුවක් මෙන්ම තීක්ෂණ වේධී,කෂණවේධි යනාදි දුනු රෙජිමෙන්තු තිබුණි. මහනුවර යුගයේ උඩරට සේනාව සතුව දුනුකාර නම් රෙජිමේන්තුවක් පැවති බවත් එය මෙහෙයවන ලද්දේ දුනුකාර ලේකම් නම් නිලදරුවා අතිනි.එම රෙජිමේන්තුව පිහිටුවන ලද්දේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසිනි.

පොළෙන්නරුව සහ මහනුවර යුගවල දී දුණු සේනාංකයට ආදිවාසීන්ද අනුයුක්ත කෙරිණි. ඒ ඔවුන්ගේ දඩයම් කිරීමේ සහජ දක්ෂතාවය තිබෙන නිසාවෙනි.දඹදෙණිය යුගයේ ද 900ක දුණු සේනාංකයක් පැවති බව දඹදෙණි අස්න මහත් අබිරුචියෙන් වාර්තා කරයි. ඉපැරණි දුනු සෙබලු යුද්ධයෙන් පසුව ආගමික ස්ථානවලට යම් යම් පරිත්‍යාග කරමින් දැහැමිව ජීවත් වු බවට සාධක අම්පාර මුල්ලිකුලම් මලේ ප‍්‍රදේශයෙන් හමු වී ඇති ශිලාලේඛන තුනකින් අනාවරණය වෙයි. එවායේ අන්තර්ගත වන්නේ දුනුසෙබල ගුත්ත තම්ත්තෙකු විසින් මහා සංඝරත්නයට පූජා කළ ස්තූපයක්,විහාරයක් සහ ලෙනක් පිළිබඳ විස්තරයකි.

යුද්ධ සඳහා පුහුණු කරන ලද දුනුවායකු සතු ප‍්‍රමුඛතම ආයුධ ද්විත්වය වන්නේ දුන්න (Arrow) හා ඊතලයයි (Bow).අභිධානප්පදීපිකාවේ ඉස්සාස,ධනු,කොදණ්ඩ,සරාසන,චාප යනුවෙන්ද සර,පත්ති,සාධක,බණ,කාණ්ඩ,මුසු,බුරුප්ප,තේජස යන නමින් ඊතලය ද හඳුන්වා ඇත. මධ්‍ය කාලීන යුගයේ රචිත දඹදෙණි අස්නට අනුව යොන් දුනු, තත්තාරි දුනු, ගල් දුනු,මාර දුනු,ඕලක්කම දුනු, කළුදුනු, කළුවැල් දුනු,නඩවැල් දුනු, නඩහඩු දුනු, මැඩහඟු දුනු,මිටි දුනු,උස් දුනු,චන්දාවංක දුනු,තිවංක දුනු යනාදී වශයෙන් දුනු වර්ග 21ක ලැයිස්තුවක් දක්වා ඇත.

නියමාකාර දුන්න මාළුවකුගේ පිටේ හැඩයට සමාන විය. මූලිකවම දුන්න අර්ධ කවාකාරව නවා කෙලවර දෙකට අඟලක් පමණ මෙහායින් කට්ටක් හෝ මැලියම් මිශ‍්‍රිත වරපට හෙවත් දුනුදිය සවිකර ගැනීම සඳහා ලෝහමය මුද්දක් එකතු කරන ලදි. දුනුදිය හෙවත් දුනු ලණුව සඳහා නුග පට්ට,ගෝණ බඩවැල්,නියදි, අරළු යනාදි ශාකමය සහ මාංශමය දාව්‍ය යොදාගත් අතර දුනු ලීය සඳහා කළු,කළුවැල්,වේවැල්,සින්දුරම්,යනාදි ගස්වර්ග යොදා ගන්නා ලදි.

ඊතලය සඳහා ගැටවණ,කොබ්බෑ,කැති දෙමට,වේවැල්,කුකුරුමහන් සහ කරඩු වැනි සැහැල්ලු දැව වර්ග භාවිත කෙරිණි. ඊ හිස් (Arrow head) සඳහා යකඩ, සත්ව ඇට කටු හා තියුණු ලී ප‍්‍රයෝජනයට ගැණිනි.

යුධ ඇතුන්,අශ්වයන් ඝාතනය කිරීම සඳහා ඉපැරණි සිංහල දුනුවායන් ගෝකණ්ණ නම් විශේෂ ඊතලයක් නිපදවා ඇති දුනු ඊතල, ඊ කොපුව යන උපකරනවලට අමතරව දිගු කාලීන සටන් වළට අවශ්‍ය වන සතුරු හී ප‍්‍රහාරයකින් ගැලවිය හී අඩු,පලස්, සත්ව හමින් කරන ලද ශරිරාවරණ හී ප‍්‍රහාරයකින් තුවාල ලබන්නන් සුවපත් කළ හැකි බෙහෙත් යනාදීය ශ‍්‍රි ලංකේය දුනුවායා විසින් භාවිත කරන ලදි.

හීයේ පසු කොණට හංස, කපුටු හෝ මොණර පිහාටු යෙදු බව කාලිදාසගේ රඝුවංශය සඳහන් කරයි.බුරුමය,සියම,කාම්බෝජය,ශ‍්‍රී විජය අධිරාජ්‍යය වැනි අග්නිදිග ආසියාතික රටවල විෂ පෙවු හී තල පාවිචිචි කළ ද මෙරැටියන් ඒවා භාවිත කළේ නැත. මහනුවර යුගයේ දී ත‍්‍රිවිධ යුරෝපියානු ආක‍්‍රමණිකයන්ගේ වෙඩි බෙහෙත් තොග පුපුරුවා හැරීම සඳහා උඩරට සෙබලු විසින් ඇවිලෙන ගිනි කවන ලද කරුංකා ගෙඩි සවි කරන ඊතල විද්ද බව ජනශ‍්‍රැතියේ සඳහන් වෙයි. උක්ත සාධක වලට අනුව පෙනීයන්නේ ශ‍්‍රි ලාංකේය දුනුවායා අතින් යුද්ධ සේවයේ දී විශිෂ්ට කාර්යය භාරයක් ඉටු කළ බවයි.

කන්ද උඩරට සෙබළා විසින් යුද භූමියේ දී භාවිත කළ තවත් වැදගත් අවියක් වන්නේ දුන්න සහ ඊතලය යි. එවක පුහුණු කරන ලද අෂ්ටාදස විද්‍යාවන්ගෙන් ප්‍රමුඛ විද්‍යාවක් වූ ධනු ශිල්පය දේශීය රජවරුන්, ප්‍රභූන් සහ සාමාන්‍ය වැසියා යන සියලු දෙනා විවිධ පරිද්දෙන් හදාරණ ලදි

දේශීය සෙබළා විසින් භාවිත කරන ලද දුනු වර්ග මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

මහදුන්න හෙවත් උසදුන්න හා මිටිදුන්න මූලික වශයෙන් මෙම දුනු වර්ග ද්විත්වය භාවිත වුව ද දඹදෙණි අස්නෙහි දුනු වර්ග 21 ක් පිළිබඳ ව සඳහන් කරයි. කෙසේ වුව ද මහදුන්න හෙවත් උසදුන්න දිගු දුර විදීමටත් මිටිදුන්න කෙටි දුර විදීමටත් භාවිත කරන ලදි. මිටිදුන්න යන්න කුඩා ප්‍රමාණයේ දුන්නක් වූ අතර එය සාමාන්‍ය මහදුන්න භාවිත කරන ආකාරයටත්,තවත් මිටි දුනු වර්ගක් වූ හරස් දුන්න හරස් අතට භාවිත කිරීමටත්,ගල්දුන්න යන්න ගල් හෝ පිළිස්සූ මැටි ගුලි විදීමටත් භාවිත කරන ලද බැවින් එය ආකාර කිහිපයකින් යුක්ත වූ බව පෙනේ.මේ අනුව පැහැදිලි වන්නේ දේශීය සෙබළා විසින් භාවිත කරන ලද මහදුන්න බටහිර යුද භූමිය තුළ භාවිත වූ දිගු දුන්නට බොහෝ දුරට සමාන වූ බව සහ දේශීය මිටිදුන්න සහ හරස් දුන්න ආදිය බටහිර කෙටි දුන්නට තරමක් දුරට සමාන වූ බවයි.

දුන්න සමඟ භාවිත වන අනෙක් උපාංගය වන්නේ ඊතලය යි. දේශීයව භාවිත කරන ලද ඊතලයෙහි ඊ හිස හී දණ්ඩෙහි පළල නොඉක්මවූ බැවින් එය වැඩි කාවැදීමේ ශක්තියකින් යුක්ත වූ බව පැහැදිලිය. එසේ ම දේශීය සෙබළුන් විසින් භාවිත කරන ලද සමහර ඊතල සතුරා වෙත කාවැදීමෙන් පසුව හී දණ්ඩ ගැලවී වැටෙන ලෙස සකස් කළ ඒවා විය. විෂයෙදූ ඊතල පිළිබඳ දේශීය ඉතිහාසයේ සඳහන් වෙතත් ඒ දේශීය සෙබළා විසින් භාවිත කරන ලද ඒවා පිළිබඳ ව නොවේ.දේශීය සෙබළා විසින් ලී හිස්,කඩ හිස් සහ ඇටකටු යොදා ඊතල සෑදුව ද ඒවා විෂයොදා භාවිත කළ බවට සාක්ෂි නොමැත.දුනු නිෂ්පාදනය පිළිබඳ මනා දැනුමක් තත්කාලීන දේශීය ජනයා සතු වූ අතර දුන්නෙහි වරපට සඳහා නුග පට්ට, නියඳ, ගෝන බඩවැල්, අරළු පට්ට ආදිය යොදා ගන්නා ලදි .

දුන්නෙහි ලීය සඳහා සහ ඊතල සඳහා යොදා ගන්නා ලද අමුද්‍රව්‍ය අතර කොබ්බෑ,ගැටවරා, කරඬු, වේවැල්,කුකුරුමහන්,කැතිදෙමට,උල්කැන්ද,මහකෙකෙල වැනි ලී වර්ග ප්‍රමුඛ විය.මෙසේ දේශීය අමුද්‍රව්‍ය භාවිත කොට නිපදවන ලද දුන්න ද කඩුව මෙන් ම එය භාවිත කරන පුද්ගලයාගේ දේහ ශක්තිය අනුව සකස්වන්නකි.

දුන්නෙහි දිග එය භාවිත කරන්නාගේ අත්රියනෙන් රියන් තුනක් වූ අතර දිග අඩු කළ ද වියතකට වඩා දිග අඩු නොකළ යුතු විය.වැඩි කාර්යක්ෂමතාවයක් සඳහා ඊතල වල ප්‍රමාණය දුන්නෙහි දිගෙන් අඩක් වන පරිදි නිමැවුණි.මේ ආකාරයට එකල පැවති දුනු නිෂ්පාදන දැනුම පෘථුල එකක් වූ බව පැහැදිලි ය.

ශබ්දවේදී ක්‍රමය අනුව පුහුණුව ලද දුනු ශිල්පයෙහි සමතුන් දේශීය හමුදාවෙහි සිටි බැවින් සතුරාගේ ශබ්දය අනුව ඉලක්ක ගෙන පහරදීමේ හැකියාව ඔවුන් සතු විය.තව ද, සඳ එළියෙහි ඉලක්කය ගෙන විදීමේ හැකියාව ඇති දුනුවායන් එකල චන්ද්‍රාලෝක ධනුර්ධර යන නාමයෙන් හඳුන්වා ඇත.එසේ ම දේශීය ජනයා විසින් දඩයම් කටයුතු සඳහා ද බහුල වශයෙන් යොදා ගන්නා ලද අවිය වූයේ දුන්නයි. වැදි ජනතාව විසින් තම පුද්ගලික අවි වශයෙන් නිතර ම පාහේ භාවිත කරන්නට පුරුදුව සිටි අවියක් වූයේ දුන්නයි.ගමේ සාධයන් අනුව පැහැදිලි වන්නේ දුනුවායන් කන්ද උඩරට හමුදාවේ මූලික යුද කාර්යයක නියැලුණ බව සහ දේශීය සෙබළා සතු ව දුනු ශිල්පය පිළිබඳ මනා දැනුමක් පැවති බවයි.

දුන්න භාවිතය කන්ද උඩරට ප්‍රදේශයේ දී සටන් සඳහා කොතෙක් දුරට වාසිසහගතතත්වයක් ජනිත කරේද යන්න එවකට බටහිර ජාතිකයින් විසින් භාවිත කරන ලද දුන්නට සාපේක්ෂ අවිය සමඟගෙන විශ්ලේශනය කළ යුතු කරුණකි.

මෙහි දී සමකාලීන ව බටහිර සෙබළුන් විසින් භාවිත කරන ලද සාපේක්ෂ අවිය හඳුනා ගැනීමේ ගැටළුවක් පැණනගියි. මන්ද යත්,සමකාලීනව බටහිර සෙබලුන් විසින් හරස් දුන්න භාවිත කළ ද ඔවුන් විසින් වැඩි වාසි ලබා ගැනීම සඳහා තරමක් දුරින් සිටින සතුරෙකුට එරෙහි ව භාවිත කරන ලද ප්‍රධාන අවිය වූයේ තුවක්කුවයි.ගනමුත් එය කන්ද උඩරට සෙබළාගේ දුන්න සමඟ ගෙන විග්‍රහ කිරීම ගැටළු සහගත වන්නේ කන්ද උඩරට සෙබළා විසින් ද තුවක්කු භාවිත කරන ලද බැවිනි.

මධ්‍යතන යුගයේ අවසානය වන විට බටහිර යුද භූමියේ වෙඩි බෙහෙත් භාවිත කරන අවි භාවිතය දියුණු වීමත් සමඟ දුන්න භාවිතය අඩු වෙමින් ඒ වෙනුවට තුවක්කු භාවිතයට ගත් බවක් දැකගත හැකිය. නමුත් දේශීය සෙබළා දේශීය භූමියේ යුද වාසිය තකා තුවක්කු පැවතිය ද දුන්න භාවිතය තව දුරටත් දියුණු කරන ලදි. එබැවින් බටහිර සෙබළා විසින් තරමක් දුරින් සිටින සතුරෙකුට එරෙහිව භාවිත කළ මන්දගාමී තුවක්කුවට සාපේක්ෂව කන්ද උඩරට සෙබළා විසින් කාර්යක්ෂම ව භාවිත කළ හැකි දුන්න යොදා ගැනීම දේශීය යුද ඥානය සම්බන්ධ තවත් වැදගත් සාක්ෂියක් සපයයි.

ආයුධ දියුණුවීමත් සමගින්,ගෝත්‍ර විදියට එකතුවෙලා හිටපු පිරිස තවත් ගෝත්‍රයක් ආක්‍රමණය කරන්න පවා තීරණය කරන්නේ ද මේ දුනු ඊතල අවිය නිසාය.තම අණසක පතුරුවා ගන්නට ගෝතිකයෝ පියවර ගත් බැව් පැරණි සමාජ කුමය පිළිබඳව විශ්ලේශණය කරන විට දැකගත හැකිය.

දුන්නේ කතාව දුන්නේ නොදන්නා පිරිසට දැන් දුන්නක් වාගේ මෙවර මිස්සක පව්වේ දුනු ඊතල දසුන් දහම් කතා දේවානම් පියතිස්ස රජු පිළිබඳව දඩයමේ ගිය කතාන්දරය පෙරට වඩා තේරුම්ගත හැකිය.ඉතිං ඊලඟ ඉලක්කය.දුන්නද?ඊ තලයද? …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *