වෙළද කලාපයේ සේවක සේවිකාවන්ගේ ඉල්ලීමට රජය එකග වෙයි!!

වෙළද කලාපයේ සේවක සමිති සහ අන්තර සමාගම් සේවක සංගමයේ ඉල්ලීම පල දරයි

විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල කටයුත්ත සම්බන්ධීකරණය කරයි

රට පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමත් සමග නිදහස් වෙළද කලාප වල සේවය කරන සේවක සේවිකාවන් අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති කමින් දැඩි අසීරු තාවයකට පත්ව ඇති බව පසුගිය දින දෙක පුරා කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වන ලදී අන්තර් සමාගම් සේවක සංගමය මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී කරුණු පැහැදිලි කරන ලදී මේ අනුව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කල දා බිදු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක චමිලා තුෂාරි මහත්මිය සදහන් කලේ කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවීමත් සමග කටුනායක ඇතුළු ආයෝජන කලාපවල සේවයේ නියුතු සේවක සේවිකාවන් ඔවුන් සිටි බෝඩිම්වලම හිරවීමත්, ඔවුන්ට එදිනෙදා ගතකිරීමට අවශ්‍ය මුදල් නොමැතිවීමත් මත දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බවයි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ හමුවේ අනාවරණය කිරීමෙන් පසු ඊයේ (25) ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සහ දා බිදු සාමූහිකයේ චමිලා තුෂාරි මහත්මිය ඇතුළු පිරිසක් කටුනායක අයෝජන කලාප සේවක සේවිකාවන් මුණ ගැසී ඔවුන් මුහුණදෙමින් සිටින දුෂ්කරතා සම්බන්ධයෙන් සාකච්චා කර තිබිණි.මෙම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව කඩිනමින් ඒ පිළිබද තීරණ ගැනීමට විෂයභාර අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත දැනුම් දීමෙන් අනතුරුව ආයෝජන කලාපවල සේවකරන සේවක සේවිකාවන් බස්රථ මාර්ගයෙන් ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන යාමට මේ වනවිට රජය තීරණය කර ඇත.

මහින්ද ජයසිංහ මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපිය පහතින් පල වේ.

  1. 26
    ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

අරලියගහ මන්දිරය,

කොළඹ.

කටුනායක අසරණ වී සිටින සේවක, සේවිකාවන් සම්බන්ධව.

මේ වනවිට කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ සේවය කරන විශාල සේවක, සේවිකාවන් ප‍්‍රමාණයක් දැඩි අසීරුතාවයකට පත්ව ඇත. ඔවුන් ප‍්‍රමාණයෙන් 30,000කට ආසන්න බව මා වෙත වාර්තා වී ඇත. මේ පිළිිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරමු.

විශේෂයෙන්ම පසුගිය මාර්තු 16 සදුදා සිට රාජ්‍ය සේවකයින්ට ලබාදුන් විශේෂ නිවාඩුව ලබා නොදී මාර්තු 20 ඇදිරි නීතිය පනවන තෙක් ගොඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත අත්‍යවශ්‍ය සෙවාවන් බවට පත්කිරීම නිසා මෙම ආයතන මෙලෙස ඔවුන්ගේ සේවය ලබාගෙන ඇත. ඒ නිසාම ඔවුන්ට තම නිවෙස් බලා යාමට නොහැකි වී ඇත.

රටපුරාම ඉතා දුර බැහැර ප‍්‍රදේශවල සිට පැමිණ සේවය කරන ඔවුන්ට මේ වනවිට දිස්ත‍්‍රික් දෙකක් අතර පනවා ඇති ගමන් සීමාව නිසාද තම නිවෙස්වලට යාමට හැකියාවක් නැත.

බොහෝ ආයතනවලින් ඔවුන්ට මාසික වැටුප් ගෙවා නැත. එමෙන්ම Man Power ආයතනවල සේවය කරන අයද ඉතාම දුක්ඛදායක තත්වයකට වැටී ඇත. ඔවුන් සමහරු මාර්තු මාසයටම සේවය කර ඇත්තේ දින 5 ක් පමණි.

සමහරු තම කණ කර උගස් කර ජීවත් වෙන තත්වයට පත්ව ඇත. වෙනදාට අසල කඩවලින් ණයට බඩු ගත්තද මේ වනවිට ණයට දීමද අත් හිටුවා ඇත.

මොවුන් මුහුණ දී ඇති දුෂ්කරතා පිළිබඳව සොයාබැලීමට ඊයේ (25) දින මම ඔවුන්ගෙන් පිරිසක් මුණගැසී ඒ පිලිබඳව ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්තුමාද දැනුවත් කිරීමට කටයුතු කලෙමි. තවදුරටත් මෙම ගැටළු සම්බන්ධව කමිකරු අමාත්‍යාංශය මෙන්ම BOI ප‍්‍රධානීන්ද දැනුවත් කර ඇත.

එබැවින් ගරු අගමැතිතුමනි, මෙම සේවක, සේවිකාවන් මුහුණ දී සිටින දැඩි අසීරුතාවයන් පිළිබඳව සොයාබලා කඩිනමින් ඔවුන්ට සහන සැලසීමට කටයුතු කරන මෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු. ඒ සඳහා පහත යෝජනා ඉදිරිපත් කරමු.

  • දින කීපයක සඳහා අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය ලබාදීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් සකස් කිරීම.
  • විශේෂයෙන්ම ගමිපහ දිස්ත‍්‍රික්කය තුල තවදුරටත් ඇඳිරි නීතිය දින නියමයක් නොමැතිව දීර්ඝ වන තත්වයක් තුල අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගනිමින් ඔවුන්ව නිවෙස්වලට පිටත්කර යැවීම සඳහා ප‍්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම. තවද ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබදීමට අප වෘතතීය සමිති මධ්‍යසථානය සූදානම් බවද ප‍්‍රකාශ කරමු.

ස්තූතියි.

මෙයට,

මහින්ද ජයසිංහ

ප‍්‍රධාන ලේකම්

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *