ලොව පළමුවරට ඖෂධීය ආරක්ෂක මුඛ ආවරණයක් නිපදවීමට මෙරට සරසවි සිසුුවෙක්. සමත් වෙයි

ලොව පළමුවරට ඖෂධීය ආරක්ෂක මුඛ ආවරණයක් නිපදවීමට මෙරට සරසවි සිසුුවෙක්. සමත් වෙයි

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ දෙවන වසරේ සිසුවෙකු වන මොහු නමින් ඒ.ඒ.ධම්මික ප්‍රභාත්ය.

නව නිපැයුම් ගණනාවකටම හිමිකම් කියන ධම්මිකගේ නව නිපැයුම වන්නේ ආයුර්වේදීය මුඛ ආවරණයකි. මෙය සාමාන්‍ය මුඛ ආවරණ මෙන් නොව පැය 72 ක පමණ කාලයක් වුවද භාවිතා කිරීමෙන් පසුව සෝදා පවිත්‍ර කොට ඖෂධීය ස්ථර දෙක පමණක් නැවත එක්කොට භාවිතා කළ හැකි එකකි.

වර්තමානයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වන සමයක මෙම මුඛ ආවරණ ගැන කතා කළද ධම්මික පවසනු ලබන්නේ මෙය කලකට පෙර කළ නිර්මාණයක් බවය.

මෙම නව මුඛ ආවරණ ගැන ධම්මික ප්‍රභාත් සිසුවා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

” මෙය මෙරට නිෂ්පාදනය කළ පළමු ඖෂධීය මුඛ ආවරණය ලෙසින් හදුන්වන්නට පුලුවනි. මේ සදහා යොදා ගෙන ඇති සියලුම අමුද්‍රව්‍ය දේශීයව ලබා ගැනෙන ඒවා වන අතර සෑම අමු ද්‍රව්‍යයක්ම දිරාපත් වන දේවල්වීම විශේෂත්වයක්. මෙම මුඛ ආවරණය නිර්මාණය කිරීමට පෙර හෙළ වෛද්‍ය විද්‍යාවේ එන විෂ හරණ විද්‍යාව අධ්‍යනය කරනු ලැබුව. මෙය ප්‍රධාන වශයෙන් ස්ථර තුනක් යොදා නිපදවා ඇති අතර විශේෂ ශාඛසාර ඖෂධ යෙදූ ස්ථර දෙකක් සහ දූවිලි පෙරහණ ස්ථරයකින්ද සමන්විතයි. මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය භාවිතා කිරීම මගින් මිනිස් ශරීරයට කිසිදු අසාත්මිකතාවයක් ඇතිවන්නේ නැහැ. මෙය සියයට සීයක්ම දේශීය අමු ද්‍රව්‍ය යොදා නිපදවා ඇති නිසා ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණයක් ලෙසින් හදුන්වන්නට පුලුවනි.

වෙළඳ පොළේ ඇති සාමාන්‍ය සායනික මුඛ ආවරණයක් උපරිමයෙන් භාවිතා කළ හැකි වන්නේ පැය අටක් වැනි කාලයක් වූවත් මා නිර්මාණය කළ මෙම ආවරණය පැය 72 ක් පමණ කාලයක් භාවිතා කොට සෝදා පවිත්‍ර කිරීමෙන් පසුව ඖෂධීය ස්ථර දෙක පමණක් නැවත එක්කොට භාවිතයට ගත හැකියි.

මට කුඩා කාලයේ සිටම නව නිර්මාණ කිරීමේ ආශාවක් ඇති උනා. ඒ වගේම මට ගායනයට, වාදනයට, රංගනයට වගේම චිත්‍ර ඇදීමටත් හැකියාවක් තිබෙනවා. කණ්ඩායම් සංගීතයේ යෙදෙනව , රිදම් ගිටාර් වාදකයෙකු සහ ගායකයෙකු විදියට. චිත්‍ර කියන්නෙ මම වැඩියෙන්ම කැමති ක්ෂේත්‍රයක්.

ඒ වගේම මම පාරම්පරික වෛද්‍ය විද්‍යාව, ආයුර්වේදය ගැන උනන්දුවක් දක්වනව. ඒ ඔස්සේ කළ නිර්මාණයක් තමයි මේ මුඛ ආවරණය. මගේ ප්‍රධාන අවධානය යොමුව තිබෙන්නෙ සාම්ප්‍රදායික සිංහල ඖෂධ භාවිතා කරමින් ඉතා උසස් තත්ත්වයෙන් යුත් නිශ්පාදන ඉදිරිපත් කිරීමයි.”

ගම්පහ , වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි ධම්මික ප්‍රභාත් සිසුවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අමතරව පොල්හේන විෂවේද රෝහලේ කැඩුම් බිඳුම් හා විෂ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පළමු වසරේ සිසුවෙකි. අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පහ තක්ෂිලා විද්‍යාලයෙනි.

මෙම මුඛ ආවරණය ඉතා අඩු මිලකට අලෙවි කළ හැකි බව පවසන ධම්මික කියා සිටින්නේ නව රැකියා අවස්ථාවන්ද මෙමගින් උත්පාදනය වන බවය.

දැනට සායනික මුඛ ආවරණ වැඩි වශයෙන් චීනය වැනි රටවලින් ආනයනය කරනු ලබන බැවින් මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය මෙරට ප්‍රචලිත කරමින් නිපදවාලීම පිනිස රජයේ අදාල බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *