“ඔයා කුඩු බිස්නස් කරනවා කියලා” පාරට රැගෙනවිත් වෙඩි තියලා //අහුන්ගල්ල වෙඩි තැබීම

අහුන්ගල්ල, වැලිවතුගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අය අද (18) අළුයම මියගොස් තිබේ.

මියගිය අය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල, අතිරේක දිසා විනිසුරුතුමා විසින් අද (18) පෙරවරුවේ පවත්වන ලද අතර සාක්ෂි විමසමින් කරන වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය පසුවට කල් තබන ලදී.

පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (18) දහවල් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පීරිස් මහතා විසින් පවත්වන ලදී. මෙම පරීක්ෂණය අවසන් වන විට සවස 5.00 ට පමණ වූ අතර හිස්කබලට හා පපුවට සිදු වූ බලවත් හානි හා අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.

මෙසේ මියගොස් ඇත්තේ අංක 15, වැලිවතුගොඩ, බළපිටිය ලිපිනයේ පදිංචි එදිරිමුණි සුනිල් කුමාර ද සොයිසා (34) නොහොත් බණ්ඩා නැමැති අයයි.

ඊයේ පෙ.ව 6.50 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි. සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ලද හිස් ආවරණ පැලද දෙදෙනකු ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ඝාතකයින් දෙදෙනා පොලීසියෙන් මෙන් මාංචු කූට්ටමක්ද සමග පැමිණ තුවාල කරුගෙන් ‘‘ඔයා කුඩු බිස්නස් කරනවා නේද“ යනුවෙන් අසා මීටර් 20 ක් පමණ ඈතින් වූ පාරට එක්ක ගොස් වෙඩි තබා පලාගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. මෙරට නිශ්පාදනය කරන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර තිබෙන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය එම අවස්ථාවේම බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර තත්ත්වය බරපතල වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල, කරාපිටිය රෝහලට මාරුකර යවා තිබේ. තුවාලකරු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අළුයම මියගොස් තිබේ. ඝාතනයට ලක් වූ අයගේ හිසේ සහ පපුවේ වෙඩි පහර දෙකක් තිබූ බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී එක් පතුරම් කොපුවක්ද අහුන්ගල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ. එය කුමන වර්ගයේ එකක් ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් එය රජයේ රස පරික්සකවරයා වෙත යොමු කරන බවත් අහුන්ගල්ල පොලීසිය කියයි. මෙය මත්දව්‍ය ජාවාරමට සම්බන්ධ දෙපාර්ශවයක් අතර ඇති දිගුකාලීන කෝන්තරයක් හේතුවෙන් සිදු වූවක්ය යන්න යම් තොරතුරක් ලැබි තිබෙන බවත් ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ‘‘ඔයා කුඩු බිස්නස් කරනවා නේද‘‘ යනුවෙන් ඇසූයේ තොරතුරු අනාවරනය වීම වැලැක්වීමට විය හැකි බවත් අහුන්ගල්ල පොලීසියේ එම ප්‍රකාශකයෙක් වැඩිදුරටත් සදහන් කළේය.

මියගිය අය දොහාකටාර් රාජ්‍යෙය් රැකියාවක් කර මෙරටට පැමිණ ඇත්තේ මීට මාස 1 1/2 කට පමණ පෙරදී බවත් ඔහු එක්දරු පියෙකු බවත් අහුන්ගල්ල පොලීසි කියයි. සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කහිපයක්ම යොදා පරීක්ෂණ බවත්වන බවද අහුගල්ල පොලීසිය කියයි. සැකකරුවන් සම්බන්ධයෙන් මේ වන විට යම් තොරතුරක් ලැබී තිබෙන බවද අහුන්ගල්ල පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච් ජයතිලක මහතාගේ මෙහෙවීම මත පොලිස් සැරයන් සුනිල් රංජන් (57880) ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ පොලිස් පරික්ෂක චන්දිමාල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයිග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *