ආදරයේ සංකේතය දේශපාලනයට ගෙනෙන හදවතේ කථාව

මම ඹබට හදවතින්ම ආදරෙයි. ආදරයේ සංඛේතය වන්නේ ද හදවතයි.හදවත මිනිසාට නැතිවම බැරි අවයවයකි. ඒ නිසාම තම ජීවිතයේ නැතිවම බැරි සමහර දේ වලට හදවත උපමා කර තිබේ. විශේෂයෙන්ම සංවේදී හැඟීම් දැනීම් හා සම්බන්ධ කරුණු කාරණා වල දී සාහිත්‍යධරයින් ඒ හා සම්බන්ධ කරන්නේ මොළය නොවේ, හදවත යි.දරුදුක නිසා හදවත පැලි මිය යයි ආදි කතාන්දර සාමාන්‍ය ජන ජීවිතයේද ජනකතා හා සාහිත කතාවලද සඳහන්වේ.

හෘදය (Heart) යනුවෙන් හැඳන්වෙන්නේ මිනිසුන් සහ වෙනත් සතුන් තුළ දක්නට ලැබෙන පේශීමය අවයවයකි. මෙය සංසරණ පද්ධතියේ රුධිර වාහිනී ඔස්සේ රුධිරය පොම්ප කරයි.රුධිරය මගින් සිරුරට ඔක්සිජන් සහ පෝෂක සැපයීම සිදුකරන අතර, පරිවෘත්තීය අපද්‍රව්‍ය බැහැර කිරීමට ද ආධාර වේ.මෙය  පිහිටා ඇත්තේ උරස් කුහරයේ මධ්‍ය අවකාශය තුළ ය.

මිනිසුන්, සෙසු ක්ෂීරපායීන් සහ පක්ෂීන් තුළ හෘදය කුටීර හතරකට බෙදී පවතියි. ඉහළින් පිහිටි වම් සහ දකුණු කර්ණිකා සහ පහළින් පිහිටි වම් සහ දකුණු කෝෂිකා ලෙස ය. සාමාන්‍යයෙන් දකුණු කර්ණිකාව සහ කෝෂිකාව එක්ව දකුණු හෘදය ලෙසත්, ඔට අනුරූප වම් පෙදෙස වම් හෘදය ලෙසත් හඳුන්වනු ලබයි.මීට සාපේක්ෂව මත්ස්‍යයින්හට ඇත්තේ හෘත් කුටීර දෙකකි. එනම් කර්ණිකාවක් හා කෝෂිකාවක් ලෙස ය. නමුත් උරගයින්ට කුටීර තුනක් ඇත.නිරෝගී හෘදයක් තුළ රුධිරය ගමන් කරන්නේ හෘදය තුළින් එක් දිශාවකට පමණි. මේ සඳහා හෘදයේ හෘත් කපාට පිහිටා ඇත. එමගින් ආපසු ගැලීම වළකියි.හෘදය පෙරිකාඩියම නැමැති ආරක්ෂක පැසක් තුළ පිහිටයි. මෙහි තරලය සුළු වශයෙන් අන්තර්ගත වේ. හෘදයේ බිත්තිය ස්තර තුනකින් සෑදී ඇත. එනම්: එපිකාඩියම, මයෝකාඩියම, සහ එන්ඩොකාඩියම වශයෙනි.

හෘදය සිරුර පුරා රුධිරය පොම්ප කරන පේශිමය අවයවයකි‍. මෙහි රිද්මය ඇති කරන්නේ සයිනො-හෘත්කර්ණික ගැටයේ පිහිටි ගතිකාරක සෛල මගිනි. මෙමගින් ජනනය වන විද්‍යුත් ආවේගය මගින් හෘදයේ ‍සංකෝජනය සිදු වේ. මෙය හෘත් කර්ණික-කෝෂික ගැටය ඔස්සේ හෘදයේ සන්නයන පද්ධතිය තුළින් ගමන් කරයි. සංස්ථානික සංසරණයේ දී හෘදය තුළට ඔක්සිජන් හිග රුධිරය ලැබෙන අතර, මෙය උත්තර සහ අධර මහා ශිරා ඔස්සේ දකුණු කර්ණිකාවට ඇතුළු වේ. අනතුරුව එම රුධිරය දකුණු කෝෂිකාව වෙත ගමන් කරයි. එතැනින් රුධිරය පුප්ඵුසීය සංසරණය ඔස්සේ පෙනහැලි වෙත පොම්ප කෙරේ. එහිදී රුධිරයට ඔක්සිජන් ඇතුළු වන අතර, කාබන් ඩයොක්සයිඩ් ඉවත් වේ. ඔක්සිජනීකෘත රුධිරය අනතුරුව වම් ‍කර්ණිකාව වෙත ඇතුළු වන අතර, වම් කෝෂිකාවෙන් මහා ධමනිය ඔස්සේ යළි සංස්ථානික සංසරණය වෙත පොම්ප කෙරේ. එහිදී ලබාගත් ඔක්සිජන් භාවිතයට ගැනෙන අතර, පරිවෘත්තිය මගින් කාබන් ඩයොක්සයිඩ් බවට බිඳහෙළයි.හෘදය ස්පන්දනය වන්නේ ආසන්න වශයෙන් මිනිත්තුවට ස්පන්දන 72ක ශීඝ්‍රතාවකිනි.ව්‍යායාමවල නිරතවීමෙන් හෘත් ස්පන්දන ශීඝ්‍රතාව තාවකාලිකව වැඩිවේ. එය දිගුකාලීනව අක්‍රීය හෘත් ස්පන්දන ශීඝ්‍රතාව අඩු කරයි. මෙය සෞඛ්‍යයට හිතකර වේ.

දැනට ලෝකයේ හෘද රෝග, හෘදයාබාධ හේතුවෙන් වසරකට පුද්ගලයන් 610,000 ක් පමණ මියයන බව සොයාගෙන ඇත. නැතිනම්,සෑම වසරකම මිලියන 17.9 ක ජීවිත ප්‍රමාණයක් ගතවන හෘද රෝග (සීවීඩී) ගෝලීය වශයෙන් මරණයට හේතුව අංක 1 වේ. සීවීඩී යනු හෘදයේ හා රුධිර නාලවල ආබාධ සමූහයක් වන අතර කිරීටක හෘද රෝග, මස්තිෂ්ක වාහිනී රෝග, රූමැටික් හෘද රෝග සහ වෙනත් තත්වයන් ඇතුළත් වේ. 5CVD මරණ වලින් 4 ක්ම හෘදයාබාධ හා ආ තතිය නිසා සිදුවන අතර, මෙම මරණ වලින් තුනෙන් එකක් අකාලයේ සිදුවන්නේ වයස අවුරුදු 70 ට අඩු පුද්ගලයින් තුළ බව ලෝක සෞඛ්‍ය සේවා සඳහන් කරයි.

මේ අනුව, වඩාත්ම සුලබ මරණ සඳහා හේතුව ලෙස හෘත්සනාල රෝග (CVD) හඳුනාගෙන තිබේ. එය සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් 30%කි.මේ අතුරිනුන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් කිරීටක ධමනි රෝගය සහ ආඝාතය නිසා ඇති වූ ඒවායි.මේ සඳහා බලපාන අවදානම් සාධක අතර දුම්පානය, අධික බර, ව්‍යායාම මඳ වීම, ඉහළ කොලෙස්ටරොල්, අධි රුධිර පීඩනය, සහ දුබල ලෙස පාලනය වූ මධුමේහය වැනි සාධක ප්‍රධාන තැනක් ගනියි. හෘත්සනාල රෝග බොහෝවිට පූර්ව සංකූලතාවන් දක්නට නොලැබෙන අතර, ඇතැම්විට පපුවේ වේදනාව හෝ කෙටි හුස්ම වැනි ලක්ෂණ දැකගත හැක. හෘදය පිළිබඳ රෝග විනිශ්චය සිදුකරනු ලබන්නේ වෛද්‍ය වාර්තා ඉතිහාසය, වෙදනලාවකින් හෘත්-ශබ්දවලට සවන්දීම, ECG, සහ අතිධ්වනි පරිලෝකන මගිනි.හෘද රෝග පිළිබඳ සිය අවධානය යොමු කරන විශේෂඥ වෛද්‍යවරුන් හෘත් වෛද්‍යවේදීන් ලෙස හඳන්වයි. නමුත් ප්‍රතිකාර සඳහා වෙනත් විශේෂඥයින් ද දායක විය හැක.

සත්තකින්ම හදවත කියන්නේ පේෂීමය අවයවයක්. මිනිසාගේ උරස් කුහරයේ වම්පසට වන්නට පිහිටා ඇති මෙහි ප්‍රධානතම කර්තව්‍යය වෙන්නේ මිනිස් සිරුරෙහි සංසරණය විය යුතු රුධිරය සිරුර පුරා පොම්ප කිරීමයි. මේ සඳහා උපන් දා සිට නොනැවතී යන්ත්‍රයක් මෙන් හදවත ක්‍රියාත්මක වෙනවා. ‘ලබ් ඩබ්’  හඬින් යුතුව රිද්මයකට ක්‍රියාත්මක වන මේ හදවත නිරෝගී පුද්ගලයෙකුගේ නම් මිනිත්තුවකට සාමාන්‍යයෙන් 60-80 වාරයක් ගැහෙන බව වෛද්‍යවරුන් පවසයි.මිනිස් හදවතෙහි සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ගැන නම් අප බොහෝ දෙනා දැනුවත්ය. හදවතක් තමා ලග තිබිය දීත් හදවතතේ රස මිහිරිකතා රැසකි. එය හදවතට ගුණදායක නිසා හදවතේ කතාවක් ලෙසද මේ කතාන්දරය සඳහන් කළ හැකිය.

සෑම දිනකම සාමාන්‍ය මානව හදවතක් 100,000 වාරයක් පමණ ගැහෙන බව සදහන්ය. මේ කාල පරාසය තුල දී ශරීරයට හදවත මඟින් රුධිරය ලීටර 7570ක් පමණ පොම්ප කරයි. මෙයට අමතරව,හදවත මගින් ශරීරය පුරා රුධිරය සංසරණය කරවීමට තැනී ඇති රුධිර වාහිනී ප්‍රමාණය අති මහත්ය. සාමාන්‍ය වැඩුණු මිනිසෙකුගේ රුධිර වාහිනී වල මුළු දිගෙහි එකතුව කිලෝමීටර 96 560ක් පමණ වේ.මෙය පෘථිවියේ පරිධිය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි. හදවතෙහි සිදුවන සුළු හෝ අකර්මණ්‍යතාවයක් එහි පොම්ප කිරීමේ කාර්යයක්ෂ්මතාවය හීන වීමට හේතු විය හැකියි. ශරීරයේ රුධිර සංසරණ අවශ්‍යතාවය සැපිරීම සඳහා වැඩි වෙහෙසකින් ක්‍රියාත්මක වීමට හදවතට සිදුවීම හේතුවෙන් හදවත කාලයත් සමඟ දුර්වල වේ.ඒ නිසා ඕනෑම අයෙක් තම හදවතේ මනා ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට දැඩි ලෙස උනන්දු විය යුතුව ඇත.

හදවතට තමන් විසින්ම නිපදවාගන්නා විද්‍යුත් බලයක් ඇත. මිනිස් සිරුරකින් ඉවත් කළ ද නිසියාකාර ඔක්සිජන් සැපයුමක් තිබෙන තුරු හදවතක් ස්ඵන්දනය වන්නේ අන්න ඒ නිසාය.මීට අමතරව මිනිසෙකුගේ ජීවිත කාලය පුරාවටම හදවත ක්‍රියාකාරී වන අතර හදවතේ ක්ෂමතාවය වොට් 1 සිට 5 දක්වා වේ. හදවතක් වොට් 1 ක ක්ෂමතාවයකින් වසර 80ක් ක්‍රියාත්මක වුවහොත් නිපදවෙන ශක්ති ප්‍රමාණය ගිගා ජූල 2.5 ක් වේ.

මිනිස් හදවතක සාමාන්‍ය ප්‍රමාණය මිටි මොලවාගත් අතක් තරම් වේ.මානව හදවතක ප්‍රමාණය එය අයිති මිනිසාගේ ප්‍රමාණය මෙන්ම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අනුවත් වෙනස් වේ. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න හදවතක් එය අයිති තැනැත්තාගේ මිට මොලවා ගත් අතක ප්‍රමාණය තරම් වේ. කෙසේ වෙතත් විවිධ සෞඛ්‍යමය ගැටළු හමුවේ පුද්ගලයෙකුගේ හදවත් ප්‍රසාරණය වීමට ලක් විය හැකිය.

පුරුෂයා හා කාන්තාව ජීව විද්‍යාත්මක වශයෙන් සර්වසම වන්නේ නැහැ. ව්‍යුහයෙන් සමාන වුවත් පුරුෂ හා කාන්තා හදවත් ප්‍රමාණයෙන් හා බරින් වෙනස් වේ.මාන්‍යයෙන් පුරුෂයෙකුගේ හදවතක් ග්‍රෑම් 283ක බරින් යුතු අතර කාන්තා හදවතක් ග්‍රෑම් 226ක පමණ බරින් යුතු වේ. කාන්තා හෘදයාබාධ ලක්ෂණ පුරුෂයෙකුට ඇති වන ඒවායින් වෙනස් විය හැකියි.පුරුෂයෙකුට කා කාන්තාවකට හෘදයාබාධයක් වැළඳී ඇති විට ප්‍රකට කරන රෝග ලක්ෂණ වලත් යම් යම් වෙනස්කම් තිබේ.සාමාන්‍යයෙන් පුරුෂයෙකුට හෘදයාබාධයක් වැළඳීමේ දී බොහෝවිට පපුවේ වේදනාව ප්‍රකටව දැනෙන අතර, කාන්තා පාර්ශවයට පපුවෙහි වේදනාවත් සමඟම ඔක්කාරය, අජීර්ණ තත්ත්වයන්, හා උරහිස් වේදනාව වැනි දේ ද දැනෙන්නට හැකිය.මේ නිසා ස්ත්‍රීයක නම් හෘදයාබාධ ලක්ෂණ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ඒවා පරිවාර රෝග ලක්ෂණ අනුව වෙනත් රෝගයක ලක්ෂණ යැයි වරදවා වටහා ගත හැකි නිසාය.

විවේකීව සිට්න විට යම් රුධිරාණුවකට පෙනහළු කරා ගොස් නැවත පැමිණීමට තත්පර 6ක කාලයක් ගත වන අතර, මොලයට ගොස් නැවත පැමිණීමට තත්පර 8ක් ගත වේ. එලෙසම රුධිරාණුවකට වැඩුණු මිනිසේකුගේ පාද වල ඇඟිලි වලට හෘදයේ සිට පරිවහනය වී නැවත පැමිණීම සඳහා තත්පර 16ක පමණ කාලයක් ගත වේ.

නින්දේ දී හෘද ස්ඵන්දන වේගය අඩු වේ.නිදියන විට මිනිසෙකුගේ හෘද ස්ඵන්දනය සාමාන්‍යයෙන් අවදියෙන් සිටිනවාට වඩා අඩුයි. අවදියෙන් සිටින විට විවේකීව සිටියත් සාමාන්‍ය මිනිසෙකුගේ හෘද ස්ඵන්දන වේගය මිනිත්තුවකට 60 වාරයකට වඩා අඩු වීම බොහෝ අවස්ථාවන් වල දී අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැළකුණත්, නින්දට ගිය විට සමහර සෞඛ්‍යමත් පුද්ගලයින්ගේ හෘද ස්ඵන්දන වේගය මිනිත්තුවකට 50 වාරයකටත් වඩා අඩු වෙන අවස්ථා ද ඇත. මෙසේ සිදු වන්නේ නින්දේ දී අප සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වේගය අඩු වීම නිසා විවිධ අවයව වලට රුධිරය අවශ්‍ය වන සීඝ්‍රතාව අවම වීම නිසාය. මේ නිසා මොළය මඟින් ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය ඔස්සේ හදවතට ආවේගයන් නිකුත් කර එහි ක්‍රියාකාරීත්වය තාවකාලිකව අඩු කිරීම සිදු වේ.

සිනහව හදවතේ පැවැත්මට ඉතා හිතකර බව පර්යේෂණ වලින් ඔප්පු කර තිබේ. විශේෂයෙන් සිරුරම සෙලවෙන පරිදි සිනාසීමක දී සිරුරෙහි රුධිර සංසරණය 20% කින් පමණ ඉහළ යන බවද වෛද්‍යවරු සඳහන් කරයි. මේ නිසා ශාරීරික හා මානසික ආතතිය ද අඩු වන අතර, හාස්‍යෝත්පාදක චිත්‍රපට නරඹන විට සිරුරේ රුධිර සංසරණය හොඳින් සිදුවන බවත් සොයාගෙන තිබේ. පුද්ගලයෙක් සිනාසෙන විට ඔහුගේ හෝ ඇයගේ රුධිර නාල වල බිත්ති ඉහිල් වී ප්‍රසාරණය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර සංසරණය වඩා කාර්යයක්ෂ්ම වේ.

හිඳගෙන සිටීම හා හදවතේ සෞඛ්‍යය .වැඩි වේලාවක් හිඳගෙන සිටීම හෘද සෞඛ්‍යට අහිතකරයි.වර්තමානය වන විට බොහෝ දෙනා වැඩි කාලයක් ගත කරන්නේ හිඳගෙනයි. ඔබ අප කරන රැකියාවේ ස්වභාවය ඊට හේතු වී තිබේ.නමුත් මෙය හෘදයේ සෞඛ්‍යයට නම් එතරම් හිතකර චර්යාවක් නොවෙයි. නවතම පර්යේෂණ වලට අනුව දවසේ වැඩි කාලයක් පුටුවක් මතට වී කල් මැරීම දීර්ඝකාලීන රෝග වලට හේතු විය හැකි බව ඔප්පු වී තිබේ. ඊට හෘද රෝගත් ඇතුලත්ය. මීට අමතරව සුළු හෝ ක්‍රියාකාරී බවක් දිනයේ වැඩි කාලයක දී දක්වන පුද්ගලයින්ගේ ශරීර වල අභ්‍යන්තර පරිසරය වඩා සෞඛ්‍යමත් ලෙස සැකසෙන බවත්, ඔවුන්ගේ රුධිර ග්ලූකෝස් හා කොලෙස්ටරෝල් යාමනය වඩා හොඳින් සිදු වෙන බවත් සොයාගෙන ඇත. මේවායේ ප්‍රතිඵල ලෙස හෘද රෝග වැළඳීමේ අවදානමත් අඩු වේ.

කෙසේ නමුත් මේ වන විට දේශපාලනයටද හදවත පැමිණ ඇත.ජනගත ව ඇති හදවත දේශපාලනයේ දි  ජනගත කරන්නට ඉදිරි මහ මැතිවරනයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙශපාලන කරලියට පැමිණ සිටිති.ආදරයේ සංඛේතය වු හදවත දේශපාලනයේ දි සමාජගත කරන්නට ජනගත කරන්නට හැකි වුවහොත් එයද ලංකාවේ දේශපාලන පෙරලියක් වනු ඇත.කෙසේ නමුත් හදවත් ඇති සියලුම හදවතින්ම සිදුවන්නේ කුමක්ද යන්න බලා සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *